එස්.ටී.එෆ්. එකට 38 යි

183

විශේෂ කාර්ය බළකායේ 38 වැනි රණවිරු ගුණ සැමරුම පෙරේදා (01 වැනිදා) මහත් අභිමානයෙන් යුතුව සමරනු ලැබීය.

1984 සැප්තැම්බර් මස 01 වැනි දින යාපනයේ ටික්කම් ප්‍රදේශයේදී නිලධාරීන් සිව්දෙනකු ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් සෑම වසරකම එම දිනය විශේෂ කාර්ය බළකාය රණවිරු ගුණ සැමරුම ලෙස අනුස්මරණය කරනු ලබයි.

දශක තුනක් පුරා පැවති කුරිරු යුද ශාපයෙන් ලක් දෙරණ බේරා ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය අභීත රණවිරුවන් 464 දෙනෙක්ද සුළු කම්කරු මහතුන් 06 දෙනෙකුද මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය හා ශෛරීත්වය වෙනුවෙන් දිවි පිදූ අතර නිලධාරීන් 774 දෙනෙකු ආබාධිත තත්වයේ ඇත.

මෙහි ප්‍රධාන රණවිරු අනුස්මරණ උත්සවය විශේෂ කාර්ය බළකාය කටුකුරුන්ද පුහුණු පාසලේදී පවත්වන ලදී. අප අතුරින් වියෝවූ රණවිරුවන් සහ ආබාධිත වූ රණවිරුවන් අහිමානයෙන් සැමරීමේ උත්සවය සඳහා මියගිය නිලධාරීන්ගේ සහ ආබාධිත නිලධාරීන්ගේ දෙමාපියන් සහ දුවා දරුවන් සමඟ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා සහභාගි වූ අතර මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සමඟ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි විය.

මෙම උත්සවයට සමගාමිව විශේෂ කාර්ය බළකාය අම්පාර කඳවුරේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය අභියස, කතරගම කිරි වෙහෙර පූජා භූමි පරිශ්‍රයේ, අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදීද උත්සව මාලාවන් රාශියක් පැවැත්විණ.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment