එස්. ටී. එෆ්. කොළඹට කැඳවයි!

537

කොළඹ නගරය ආශ්‍රිත අද (08දා) සහ හෙට (09 දා) විරෝධතා හා පා ගමන් පැවැත්වීමට සැලසුම් පවතින නිසා රාජකාරි සඳහා නිලධාරීන් යෙදවීමට කටයුතු කරන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයා කලාප අණදෙන නිලධාරීන්ට පෙරේදා (06 දා) දැනුම් දීමක් කර ඇත.

අද (08 දා) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා පා ගමනක් පවත්වා උද්ඝෝෂණයක් පැවැත්වීමට සහ හෙට (09 දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් මහජන සාමය කළමනාකරණය කිරීමට අවශ්‍ය ආරක්‍ෂාව සැපයීමට කටයුතු කරන ලෙසට අණදෙන නිලධාරිවරයා විසින් ෆැක්ස් මගින් ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.

අද (08 දා) විහාර මහා දේවි උද්‍යානය අසලින් පා ගමනක් ආරම්භ කර කොටුව ජනාධිපති මන්දිරය දක්වා පා ගමනක් පවත්වා උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් එම ස්ථානයේ ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැතිවරයාගේ පෞද්ගලික නිවස, පොලිස් මූලස්ථානයේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නිකුත් කර ඇති ලිපිය ගැන දැනුවත් වීමක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත්ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment