එස්. පවර් සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේදී සමාගම ගෙවිය යුතු බද්දත් ලංවිමෙන් ගෙවලා

124

ලංකා විදුලිබල මණ්ඩලය විසින් එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේදී ඇති කරගත් ගිවිසුම අනුව එම සමාගම විසින් ඉකුත් වසර 05 තුළ රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 1,499ක් වූ බදු මුදල ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම හේතුවෙන් රජයට හිමිවිය යුතු බදු ආදායම අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙහි මුල් ගිවිසුම් කාලය තුළ සමාගම විසින් ගෙවිය යුතු විවිධ බදු වියදම් සඳහා රුපියල් මිලියන 4,784ක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රතිපූර්ණය කරගෙන තිබුණු අතර 2016 වසරේදී විදුලිබල මණ්ඩලය විසින් එස්. පවර් ඇඹිලිපිටිය සමාගම සමග පැවති ගිවිසුමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව වසර 05ක් තුළ මෙම පෞද්ගලික සමාගම විසින් රුපියල් හයසිය අසූඑක් කෝටි, තිස්තුන්ලක්ෂ, හැටදහස් හයසිය පනහක (6,813,360,650) ශුද්ධ ලාභයක් උපයාගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් (2016-2021) ඉකුත් වසර පහ තුළ මෙකී බලාගාරයන් මගින් විදුලිය මිලදී ගැනීම සඳහා ප්‍රමාද පොලියද ඇතුළුව රුපියල් මිලියන 59,454ක් ගෙවා තිබුණි.

මෙම මුල් ගිවිසුම වසර 10කින් අවසන්ව තිබුණි. මෙවැනි කොන්දේසි ඇතුළත් බදු ගිවිසුම යළි දීර්ඝ කිරීමේදී පුද්ගලික සමාගමක් විසින් රජයට ගෙවිය යුතු බදු රජයේ ආයතනයක් විසින්ම ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා එස්. පවර් පුද්ගලික සමාගම අතර ඇති ගිවිසුම අනුව සමාගම විසින් දරණු ලබන බදු වියදම ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රතිපූර්ණය කළ යුතු බව එම ගිවිසුමට ඇතුළත් කොට තිබුණි.

මෙහි මුල් ගිවිසුම 2015 අප්‍රේල් 06 වැනිදා අවසන් වූ පසු එවකට පැවති හදිසි විදුලිබල අවශ්‍යතාව සලකා බලා මෙම විදුලි බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගැනීමට 2016 මාර්තු 23දා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණු අතර එම තීරණය ක්‍රියාත්මක කිරීමෙන් තොරව විදුලිබල පනත අනුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්ට ද පටහැනිව ක්‍රියා කරමින් තවදුරටත් විදුලිය මිලදී ගැනීම සඳහා මූලික ගිවිසුම් කාලය නිම වී වසරකින් පසුව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම දීර්ඝ කිරීමට විදුලිබල මණ්ඩලය මගින් කටයුතු කර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

අවස්ථා 04කදී වසර වසර 05යි මාස 06ක් තුළ (2016 අප්‍රේල් 06 සිට 2022 සැප්තැම්බර් 08) මූලික ගිවිසුම දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි. ගිවිසුමට අනුව මෙකී විදුලි බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය මගින් මිලදී ගෙන රජයට වඩා වාසිදායක ලෙස පවත්වාගෙන යෑමට තිබූ අවස්ථාව අහිමි වූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම සමාගමේ හිමිකරු විසින් සමාගම විකිණීමට කැමැත්ත ප්‍රකාශ කළ මිලට වඩා අඩුවෙන් අගය කර තක්සේරු කිරීම නිසා මෙම මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී තිබුණි. තක්සේරු වටිනාකම රුපියල් මිලියන 2370ක් වූ අතර බලාගාරයේ වර්තමාන හිමිකරු විසින් ලබා දුන් වටිනාකම රුපියල් මිලියන 2446කි. පළමු ගිවිසුම තුළ ප්‍රමාද පොලිය ලෙස රුපියල් මිලියන 580ක් ගෙවා තිබුණි. ගිවිසුම දීර්ඝ කිරීමෙන් පසු වසර 05ක් සඳහා ගෙවා ඇති ප්‍රමාද පොළිය රුපියල් මිලියන 1364කි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ණය ප්‍රාග්ධනය යෙදවීම මගින් හෝ බලාගාරය මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට වඩා වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගැනීමට හැකිව තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

බලපත්‍ර හිමිවූ සමාගම් වෙතින් පමණක් විදුලිය ජනනය හා සැපයීම කළ යුතු වුවත් ජනන බලපත්‍ර ලබාගෙන නොමැති එස්. පවර් ඇඹිලිපිටිය සමාගමෙන් 2016 වර්ෂයේ සිට 2021 දක්වා විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment