එහෙ බහිනකොට මෙහෙ නගින තෙල් මිලේ නස්පැත්තිය

80

ලෝක තෙල් මිල සහ අපේ මිල

ජනවහරේ එන පරිදි නම් අප අසා ඇත්තේ කන්දක් විළි ලා කෙන්දක් වැදූ කතාවකි. එහෙත් හොඳින්ම පෙනෙන්නට ඇති පරිදි නම් දැන් වත්මන් ආණ්ඩුව කරමින් සිටින්නේ එහි අනෙක් පැත්තය. ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඇතුළු සියලූ දෙනා එක්වී කෙන්දක් විළිලන්නාහ.

අවසානයේ ඔවුහු කන්දක් වදන්නාහ. ඒ කන්ද නිරන්තරයෙන් පතිත වන්නේ අද එදාවේල වෙනුවෙන් වෙහෙසී හෙම්බත්ව සිටින රටේ ජනතාවගේ හිස මතටය. ජනතාව එසේ විඳවද්දී ඒ දෙස බලා ජනතාවට කෝචොක් දමන පරිද්දෙන් ආණ්ඩුව කියන කතාද බොහෝය.

  • හැටනව ලක්‍ෂයේ සමහරු අද ඉන්න තැන

ඒ කිසිවක් තුළ කිසිදු තර්කානුකූල බවක් යථාර්ථවාදී බවක් ඇත්තේම නැත. අද ඒ සියල්ල තිබෙන්නේ ‘ආ`ඩි හත්දෙනාගේ කැඳ’ සංකල්පයේ ය. පසුගිය කාලයේ රට තුළ මතුවූ පොහොර, ගෑස්, කිරිපිටි, සීනි, හාල්, ආදී වශයෙන් වූ සෑම ගැටලූවකදීම අවසානයේ සිදු වූයේ එසේ ජනතාවගේ හිස මතට සියල්ල පැටවීමය.

ආණ්ඩුවේ මේ හැසිරීම දෙස බලන රටේ මිනිස්සු උපන් තේකට මේ වගේ පිස්සු කෙළින ආණ්ඩුවක් නොදුටු බව කියන්නාහ. මෙහිදී කවුරුත් මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුණු හැටනව ලක්‍ෂයක් දෙනා අතරින් බහුතරයක් දැන් සිටින්නේද එතැන යන්නය.

ආණ්ඩුවේ මෙකී ආටක නාටක අතරට එකතු වූ අලූත්ම කතාව බවට දැන් පත්ව තිබෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමය. වත්මන් රජය බලයට පැමිණෙද්දී ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉතාම අඩු අගයක පැවතිණි. එහෙත් එහිදී එම වාසිය රටේ ජනතාවට දෙන්නට රජය එදා කටයුතු නොකළේය.

ඒ වෙනුවට නවතම සංකල්පයක් රටට හඳුන්වා දුන් රජය කියන්නට වූයේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමේදී ඒ බර අදාළ අරමුදල මගින් දරා ගනිමින් රටේ ජනතාවට ස්ථාවර මිලකට ඉන්ධන ලබා දීමට කටයුතු කරන්නේ යැයි යන්නය.

එම ප‍්‍රකාශය රටට කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රාජ්‍ය නායකයා වූ ආණ්ඩුව නිසා අති බහුතරක් මිනිස්සු ඒ වැඩපිළිවෙළ කෙරෙහි උපරිම විශ්වාසය තැබූහ. එකී ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලේ කතාවද තවත් එක් දේශපාලන සුරංගනා කතාවක් නොවනු ඇතැයි ඔවුහු සිතූහ.

  • රටට රහසක් වූ ඉන්ධන අරමුදල

එහෙත් අවසානයේ සිදු වූයේ කුමක්ද? මේ ආණ්ඩුවද සුපුරුදු පරිදිම තමන්ව ඇන්දුවේ යැයි ජනතාවට තහවුරු කෙරෙමින් ඉකුත් ජුනි මාසයේදී ඉන්ධන මිල හිටි හැටියේම ඉහළ දැමීමට කටයුතු කෙරිණි. පෙර කී අරමුදලට වෙච්ච දෙයක්වත් දැන ගැනීමට නොමැති විය. පැහැදිලිවම කිවහොත් එවන් අරමුදලක් ඇතිකර තිබුණේදැයි යන්නද රටට රහසක් විය. ජුනි මාසයේදී ද එසේ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කරනු ලැබුවේ කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි වන පරිදිය.

එවර ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් විස්සකින්ද, 95 ලීටරයක් රුපියල් 23 කින් ද ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 7 කින් ද සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 12 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දැමීමට කටයුතු කෙරිණි.

එකී මිල ඉහළ දැමීමත් සමඟ එතෙක් රුපියල් 137 ට පැවති ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 157 දක්වාත්, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 161 සිට 184 දක්වාත්, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 104 සිට 111 දක්වාත්, සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 185 සිට 177 දක්වා සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 70 සිට 77 දක්වාත් ඉහළ ගියේය.

මෙසේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් සුපිරි කිරි එරිල්ලක් එරුණේ ශී‍්‍ර ලකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම්ටය.

වහා ඉදිරියට පැමිණි හේ හඬා වැටෙමින් කියන්නට වූයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා මොහොතක් නොරැඳී ඇමැති ධුරයෙන් ඉවත් යුතුයැයි යන්නය. අවසානයේ එසේ ඇමැති උදය ගම්මන්පිල ගැන කතා කරන්නට ගිය හේ සියල්ල අනාගෙන නිහඬා වූ අකාරය මේ රටේ ජනතාවට මතකය.

ඉන්ධන මිල ඇඟට නොදැනීම වැඩිවිය. සාගර කාරියවසම් ඇතුළු ඇතැම් පිරිස් මෙසේ ඊට එරෙහිව හඬා නගද්දී අවසානයට සිදුවූයේ ඉහළ ගිය තෙල් මිල සමඟ බැසිල් රාජපක්‍ෂ මහතාට යළි පාර්ලිමේන්තුවට ඒමේ මාවතද විවිර කෙරෙමින් කතාව නිමාවට පත්වීමය.

  • ජනතාව හිතන්නේ මෙහෙමයි
එහෙ බහිනකොට මෙහෙ නගින තෙල් මිලේ නස්පැත්තිය

ආණ්ඩුවේ වාසනාවට ප‍්‍රබල විපක්‍ෂයක් රට තුළ නොමැති වීම සහ ආණ්ඩුව පිළිබඳ තීරණයක් ගැනීමට තවත් වසර තුනක කාලයක් තිබීම නිසා ජනතාවට සිදුවූයේ ඒ දෙස ඔහේ බලා සිටින්නටය. හැබැයි ඉතිං එසේ බලාගෙන සිටි මිනිස්සු මුවින් කී දේ නම් බොහෝය. සමහරු නම් කියන්නේ රටට නිදහස දිනා දුන් මහින්ද රාජපක්‍ෂයන් හේතුවෙන් හිනිපෙත්තටම ගිය රාජපක්‍ෂ දේශපාලනයේ අවසානය සටහන් වෙමින් තිබෙන බවය. එසේ ඉන්ධන මිල ඉහළ දැමීමේදීත් රජය පුන පුනා කීවේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ කොරෝනා හමුවේ ආර්ථිකය කඩා වැටී තිබීම හේතුවෙන් වෙනත් විකල්පයක් නොමැති නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ බවකි.

මේ අන්දමට මිල ස්ථායිකරණ අරමුදලක් පිළිබඳ සඳහන් කරමින් ඇරඹී ඉදිරියට ඇදී ගිය ගෝඨාභය රාජපක්‍ෂ රජයේ ඉන්ධන පිළිබඳ කතාවේ අලූත්ම පරිච්ෙඡ්දය ආරම්භ වූයේ මීට මාස දෙකකට පමණ ඉහතදී ය.

එක්වරම මාධ්‍ය ඉදිරියට පැමිණි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ පොදුජන පෙරමුණේ හිටපු වෘත්තීය සමිති ලේකම් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපති සුමිත් විජේසිංහ මහතා විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී තෙල් සංස්ථාව පාඩු ලබන්නේ යැයි කියන්නට වීමත් සමඟ ඒ ආරම්භය සිදුවිය.

  • තෙල් සංස්ථාවේ පාඩුව

එහිදී සභාපතිවරයාත් ඇමැතිවරයාත් සඳහන් කර සිටියේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් පවතින බැවින් මහා භාණ්ඩාගාරයෙන් සහනයක් අත් නොවන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවකි. ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඒවන විට ඩොලර් 90 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද එහිදී සඳහන් කළ ඔවුහු ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව විශාල පාඩුවක් ලබමින් සිටින බවද සඳහන් කළහ. ඔවුන් දෙදෙනා එසේ ප‍්‍රකාශ කිරීමත් සමඟ රටතුළ ඉන්ධන හිඟයක් ඇති වන බවට ප‍්‍රචාරයක් දියත් වූ අතර විපක්‍ෂය මගින් සිදු කළේ යැයි හැඟෙන පරිදි සිදුවූ එම ප‍්‍රචාරය හමුවේ ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇතැයි සිතූ රටේ මිනිස්සු ඉන්ධන හල් අසල පොරකමින් ඉන්ධන ලබා ගන්නටද වූහ.

ඒ අතරේ මෙරට ඉන්ධන සැපයුමේ කොටසක බලය අත්පත්කරගෙන සිටින ඉන්දීය ඔයිල් සමගම කළේ කාටත් නොදැනීම පෙට‍්‍රල් සහ ඞීසල් මිල ඉහළ දැමිමය. එහෙත් අෘණ්ඩුවේ කිසිවකුත් ඒ පිළිබඳව මීක් කීවේද නැත. කෙසේ වෙතත් උදය ගම්මන්පිල ඇමැතිවරයා සහ සංස්ථා සභාපතිවරයා එසේ ඉන්ධන මිල ඉහළ දැමීමක් පිළිබඳ කතා කරනු ලැබුවද එය කඩිනමින් කි‍්‍රයාත්මක කිරීමට රජය මැලිවිය.

රජයේ තීන්දු තීරණ හේතුවෙන් ජනතාවට තදින්ම දැනෙන පරිදි ගෙවී ගිය දෙවසර පුරා මතුකරන ලද ගැටලූ හමුවේ ඇතිවී තිබූ (දැනුදු පවතින) ප‍්‍රබල ජනතා අප‍්‍රසාදය එකී පසුබැසීමට හේතු වූවාද විය හැකිය. එහෙත් එහිදී රජය කීවේ ජනතාවගේ පැත්තෙන් සිතා මේ අසීරු මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීම වැනි තීරණයක් නොගන්නා බවකි. එහෙත් ඒ අන්දමට ගෙවී ගියේ මාස දෙකක් වැනි කාලයකි. එක්වරම ඉකුත් සතියේදී යළි මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කළේය. එකී මිල ඉහළ දැමීමද ඉකුත් ජුනි මාසයේ සිදු කළාටත් වඩා ජනතාවට දරාගත නොහැකි අන්දමට සිදු කිරීමටද රජය කටයුතු කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 20 (සියයට 12.7) කින් ඔක්ටේන් 95 රුපියල් 23 (සියයට 12.5) කින්, ඔටෝ ඞීසල් රුපියල් 10 (සියයට 9) කින්, සුපර් ඞීසල් රුපියල් 15 (සියයට 10.4) කින් සහ භූමිතෙල් රුපියල් 10 (සියයට 13) කින් ඒ ඉහළ දැමීම සිදු විය.

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාත් සංස්ථා සභාපතිවරයාත් මුලදී සඳහන් කරනු ලැබුවේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බැවින් ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවකි. කතාව එසේ වුවද මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමේදී දක්නට ලැබුණු විශේෂිතම කරුණ වූයේ ඇමැතිවරයා සහ සභාපතිවරයා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ගණන් පිළිබඳ කතා කළ දිනවලට වඩා එම ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහළ වැටී තිබීම විය.

එදා ඇමැතිවරයා තෙල් සංස්ථාවට පාඩු යැයි කියමින් සඳහන් කළේ ලෝක වෙළඳ පොළේ ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90 ක ආසන්නයේ පවතින බවය. එහෙත් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමන අවස්ථාව වන විට ලෝක වෙළෙඳ පොළේ වූයේ පෙට‍්‍රල් බැරලයක මිල ඩොලර් 91.85 සිට 79.10 දක්වා පහත වැටීය. සිංගප්පූරු වෙළෙඳ පොළට අනුව ඞීසල් බැරලයක මිල ඩොලර් 98.44 සිට 90.39 දක්වා සහ භූමිතෙල් බැරලයක මිලද 98.35 සිට 91.78 දක්වා පහළ බැස තිබිණි. මේ අනුව උදය ගම්මන්පිල ඇමැතිවරයා සහ සභාපතිවරයා මුලදී කී කතාවත් ආණ්ඩුවේ තෙල් මිල ඉහළ දැමීමත් අතර වූයේ පැහැදිලි අපබ‍්‍රංශයකි. එක් අතකට බලන කල ගෙවී ගිය දෙවසර පුරා වත්මන් රජය වරින් වර සිදු කළ අපබ‍්‍රංශ දෙස බලන කල තවත් එකක් අවුලක් නැහැ කියනු හැර මෙහිදී අපට වෙන කියන්නට දෙයක්ද නැත.

කෙසේ වෙතත් ආණ්ඩුවේ ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ එසේ ගැටලූ මතු වෙද්දී ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණ කතා කරන්නට වූයේ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාය.

ඉකුත් සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීමේ රජයේ තීරණයට බලපෑ එක් ප‍්‍රබලම කාරණයක් වූයේ විදේශ සංචිත හෙවත් ඩොලර් රැක ගැනීම බවය.

මිල වැඩි කිරීම තුළින් ඉන්ධනවලට ඇති ඉල්ලූම පහත දමා ඩොලර් සංචිත රැක ගැනීම මෙහිදී ආණ්ඩුවේ සුපිරි උපක‍්‍රමය වී තිබී ඇත.

  • කේවට්ටයන් මැද බොල්වන සංකල්ප

එක් අතකට බලන කල ඒකත් නරකම නැත. එකී උපක‍්‍රමය දින දෙක තුනකට නම් හොඳටෝම ප‍්‍රමාණවත්ය. ගැසට් රිවස් ආදී ආණ්ඩුවේ ක්‍ෂණික වැඩ දෙස බලන කල මෙසේ සිදු වීමේ අරුමයක්ද නැත.

දවස් දෙක තුනක් අරපිරිමැස්මෙන් වාහන භාවිත කරන අපේ මිනිස්සු හතරවැනි දවසේ සිට යළි සුපුරුදු රිද්මයට පැමිණීම වැළැක්විය නොහැක්කකි. මේ අනුව ඩොලර් වෙනුවෙන් රටේ ඉන්ධන මිල ඉහළ දැමූ ආණ්ඩුව එහිදී ඩොලර් රැක ගැනීම සඳහා ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමටද බැරි නැත. රටේ මිනිස්සුන්ට තිබෙන්නේ එවන් දේ ගැන වැඩිය කල්පනා නොකර සිදුවන මේ මළ ජංජාල දෙස නිහඬාව බලා සිටින්නටය.

කොතරම් හොඳ සංකල්පයක් වුවද කේවට්ටයන් නිසා ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කි‍්‍රයාත්මක කිරීමට ගොස් අද රටේ ගොවි බිම්වලට බල්ලෝ පනින තැනට වැඩ සිද්ධ වී තිබෙන ආකාරය අනුව ඉතිරි අවුරුදු තුනත් ඔහොම යං කියමින් එසේ බලා සිටිනවා හැර ජනතාවට වෙන කරන්නට දෙයක්ද නැත.

ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉකුත් සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී තවත් සුවිශේෂී ප‍්‍රකාශයක්ද කළේය. රට තුළ ඇති වී තිබෙන අර්බුද හමුවේ පක්‍ෂ විපක්‍ෂ බේදයකින් තොරව දේශපාලනඥයන් සහ ජනතාව ඇතුළු සියලූ පාර්ශ්ව එක්ට එක්ව ක‍්‍රියාත්මක විය යුතු මොහොත දැන් උදා වී තිබෙන බව ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

ඇමැතිවරයා කියන පරිදි ඒ සාමූහික බවේ පාඩම මුලින්ම ඉගැන්විය යුත්තේ මේ රටේ කාටද? එය පළමුව කියා දියයුතුව ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ කට්ටියටය.

ඔවුන් යන්නේ කෙළින් නම් ඒ මඟ යන්නට කිසිදිනක මේ රටේ මිනිස්සු මැලි වන්නේ නැත. එහෙත් අවාසනාවට හැමදාමත් සිදුවූයේ දේශපාලනඥයා ජනතාවට කොකා පෙන්වමින් හරහට යෑමය.

ආණ්ඩුව මෙවර ඉන්ධන මිල ඉහළ දැමුවේ ඩොලර් සංචිත රැක ගැනීමට නම් එකී තීන්දුව ගැනීමට පෙර කළයුතු බොහෝ දේ නොතිබුණේද? අටුවා ටීකා අවශ්‍ය නැත. විශාල වශයෙන් ඉන්ධන දහනය වන සුපිරි රථ අතහැර දේශපාලනඥයන්ට තමා වටකරගෙන යන ආරක්‍ෂිත රථ ටිකද ඉවත් කරගෙන එඩිතරව මහමඟ යෑමට හැකිවූයේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව තවදුරටත් ප‍්‍රමාද කිරීමට ආණ්ඩුවට නොහැකි වන්නේද?

  • දේශපාලන වින්දනය තුළ විඳවන මිනිස්සු

කවුරුත් උජාරුවෙන් කියන්නේ රට තුළ ජාතික ආරක්‍ෂාව සුපිරියි යන්නය. එහෙත් රටේ සිටින මැති ඇමැතින්ට ආරක්‍ෂක රථ පිරිවරා නොගෙන අදටත් මහමඟ යෑමට නොහැකිය. සියල්ලෝ එතරම්ම නිවටයෝය. එහෙත් රටේ ජනතාවට සිදුව ඇත්තේ ඔවුන් නිසා විඳවන්නටය. මේ රටේ මිනිස්සු ඒ විඳවීම තව කොතෙක් කලක් කළ යුතුද?

දේශපාලනඥයා එසේ නිවැරදි වීම වැනි දේ මේ රටට අකැපය. වර්තමානයේ දේශපාලනය යන කරුණු තුළ සිරවී බිරිඳට, අක්කට, අයියට, මල්ලිට, නැන්දම්මාට, මාමණ්ඩිට, නෑනට, මස්සිනාට ආදී වශයෙන් එකී, මෙකී, නොකී ලෙස මහමඟට එන රජයේ සුපිරි වාහන කන්දරාව එක් මාසයකට නතර කෙරුණේ නම් ඒ ඩොලර් රැකිල්ල සියල්ලට වඩා ප‍්‍රබල නොවන්නේද?

එසේම මේ මොහොත වන විට අවුරුදු නිවාඩුව ගත කිරීමට විදේශගතව සිටින හැටහුටාමාරක් මැති ඇමැතීන්ගේ ඒ ගමන නවතන්නට ආණ්ඩුව කටයුතු කළේ නම් රටට විශාල ඩොලර් ප‍්‍රමාණයක් ඉතිරිකර ගැනීමට ඉඩක් නොතිබුණේද, ඔවුන් විදේශයන්හිදී පවුල්පිටින් ගොස් ගනුදෙනු කරන්නේ රුපියල්වලින් යැයි කල්පනා කිරිම නිසා එවන් දේ කිරිමට ආණ්ඩුවට නොහැකි වුණේද, එහෙත් එවන් දේ මේ රටට සදාකාලික සිහිනය. එනිසා ඒ පිළිබඳව කතා කිරීමද පළක් නැත. මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමඟ මේ වන විට රට තුළ ප්ලේන්ටියේ, ආප්පයේ, පාන් ගෙඩියේ සිට අන් සියල්ලේ මිල ඉහළ ගොස් අවසන්ය. සුපිරි ධනවතුන් හැරෙන්නට අනිකුත් සියලූම දෙනා අද කියන්නේ එකී තත්ත්වය තුළ ජීවත් වීම අසීරු වී ඇති බවකි. ඇතැමුන් ඒ බව කියනුයේ ආණ්ඩුව කෙරෙහි වූ දැඩි කෝපයකින් යුතුවය. තවත් සමහරුන්ගේ දෙනෙතේ කඳුළැලිය. මිනිස්සු පාලකයන්ට ශාප කරන්නාහ. එදාවේල උපයාගෙන ජීවත් වූ මිනිසුන් කරකියාගත හැකි දෙයක් නොමැතිව ළතැවෙන්නාහ.

මේ රටේ දුගී බවේ පතුලට ආසන්නයේ ජීවත් වූ ගම්බද මෙන්ම නාගරික දුප්පත් ජනතාවගේ නිවසේ ළිප් දැල්වුණේ භූමිතෙල් යෙදීමෙනි. අද ඒ අහිංසකයන්ටද සිදුව ඇත්තේ එසේ ළිප දල්වාගෙන කුසගින්න වෙනුවෙන් යමක් පිසගැනීම සඳහා භූමිතෙල් ටික ගන්නට ගිනි කූඨක අව්වේ ඉන්ධනහල් ඉදිරිපිට වේලෙන්නටය. ඇත්තටම මේ රටේ හැටනව ලක්‍ෂයක ජනතාවක් වත්මන් ආණ්ඩුවට ඡන්දය දී බලයට ගෙන එනු ලැබුවේ එසේ විඳවනු සඳහාද?

ආණ්ඩුවේ මහත්වරුනි, මේ මොහොතේ මුළු රටටම ඇති එකම ප‍්‍රශ්නය බවට එය පත්ව තිබෙන බව ඔය කවුරුහරි කෙනෙක් නිකමටවත් දන්නවාද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment