එළවළු ගිනි ගණන් (හාල්, සීනි, පරිප්පු, ගෑස් ද එසේමය…)

239

මිනිස් ජීවිත 7500 ක් බේරාගැනීමට නම් සැප්තැම්බර් 18 වැනිදා තෙක්ද, මිනිස් ජීවිත 10,000 ක් බේරාගැනීම සඳහා ඔක්තෝබර් මස 03 වැනිදා දක්වාද රට වසා තැබිය යුතු බව ශ‍්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පිළිබඳව වැදගත් විමර්ශන වාර්තා කිහිපයකටම දායක වූ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය. ඇය මෙන්ම වෛද්‍ය විශේෂඥවරු බොහෝ දෙනකුගේද මතය වන්නේ රට ලොක්ඩවුන් කරන අතරම එන්නත්කරණය සම්පූර්ණ කළ යුතු බවය. නමුත් එන්නත්කරණයේ මාත‍්‍රා දෙකම සම්පූර්ණ කිරීම සඳහා අඩුම තරමේ ඔක්තෝබර් අවසානය දක්වාවත් රැඳී සිටින්නට මෙරට ජනතාවට සිදුවන බව විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පසුගියදා සිකුරාදා (27දා) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කොවිඞ් මර්දන විශේෂ කමිටු රැුස්වීමේදී සඳහන් කරනවා අපි දුටිමු. එතෙක් පරිස්සමින් දිවිගෙවන්න යනුවෙන් සෞඛ්‍ය අංශ ජනතාවට කියා සිටිති.

එනම්, ආණ්ඩුවෙන් රට ලොක්ඩවුන් කළත්, නොකළත් ජනතාව ස්වයං ලොක්ඩවුන් වීමක් සිදුකරගත යුතුව ඇත. මේ කොයි ආකාරයේ ලොක්ඩවුන් වීමක් සිදුකළත්, ජනතාවට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය නම්, කීයක් හෝ

උපයාගන්නේ කෙලෙසද යන්න හා සාධාරණ මිලකට එදිනෙදා කන බොන දෑ මිලදී ගන්නේ කෙලෙසද යන්නය.

ගෑස් ප‍්‍රශ්නය ගැන කියලා වැඩක් නැත. මේ දක්වාත් නිල් ගෑස් හෝ කහ ගෑස් මිලදී ගන්නට වෙළෙඳපොළේ තරගයක් දෙන්නට සිදුව ඇති අතර, එම කොම්පැණි කාරයන්ගේ ගෑස් බලන්නට ජනතාවට සිදුව ඇතිවා මිස ගෑස් නම් මිලදී ගන්නට නැත. එසේම, සීනි මිල රුපියල් 230 පමණ දක්වා ඉහළ නැග ඇති බැවින් වෙළෙඳ පොළේ සීනි හිඟයක් ඇතිව තිබේ. සහල් මිල ගැන කතාකර ඇති වැඩක්ම නැත. ආණ්ඩුව බොරුවට මෝල් කාරයන් සමග ඔට්ටුවෙන බව පෙන්නුවාට ජනතාව වෙනුවෙන් සිදුකර ඇති දෙයක් නැත. තවමත් සහල් මිල පවතින්නේ රුපියල් 120-200 අතරය.

මේ සියල්ලටම වඩා ප‍්‍රශ්නය ඇත්තේ එළවළු මිල ගණන්වලය. මේ මාසයේ 24, 25 දින දෙකේදී ආර්ථික මධ්‍යස්ථාන අරින ලද අවස්ථාවේ දඹුල්ලේ එළවළු මිල කුණු කොල්ලයට ගිය නමුත්, (විශේෂයෙන් බස්නාහිර පළාතේ) පාරිභෝගිකයා එළවළු ගත්තේ ගිනි ගණන්වලටය. තවමත් එළවළු මිල අඩුවක් නැත.
සියලූ එළවළු වර්ගවල මිල කිලෝව රුපියල් 100- 120 ඉක්මවා ඇත. පුදුමය නම් දීර්ඝ කාලයක් තිස්සේ පටන් පවතින මේ ප‍්‍රශ්නය සඳහා විසඳුමක් ලබාදෙන්නට බලයට පත්වූ කිසිදු රජයකට නොහැකි වීමය. 27 වැනිදා පැවති කොවිඞ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ‘‘එළවළු ප‍්‍රශ්නය දැන් කොහොමදැයි” ජනාධිපතිවරයා ප‍්‍රශ්න කරන විට පිළිතුරු දුන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘‘දවස් දෙකක් ආර්ථික මධ්‍යස්ථාන 4 ක් ඇරියා. දැන් තියෙන්නේ විකිණෙන්නේ නැති එළවළු ප‍්‍රමාණය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අරන් දෙන්න ඒ අමාත්‍යාංශයට කියන්න කියල” වැනි ලිස්සා යන උත්තරයක් දී ඔහු ජාම බේරාගත් බව පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරයා ඊට දැක්වූ ප‍්‍රතිචාරය හෝ ඒ සඳහා මෙහිදී ගත් යහපත් වැඩපිළිවෙළක් ගැන අපට පැහැදිලි වූයේ නැත.

සැබෑව නම්, රටේ එළවළු (හා තවත් පාරිභෝගික ගැටලූ) ප‍්‍රශ්නය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ ඇෙඟ් තවදුරටත් එල්ලා වැඩක් නැති බවය. අඩුම තරමින් ගොවියාගෙන් එළවළු ලැබෙන ආර්ථික මධ්‍යස්ථාන 24, 25 විවෘත කර පාරිභෝගිකයාට එළවළු පිටමං කරන ආර්ථික මධ්‍යස්ථාන 24, 25 සහ 26 දින තුන හෝ 25, 26 යන දෙදින ලෙස එක දිනයක් ඉදිරියට ගෙනියන්නට තරම්වත් මොළේ කළඳක් ඇති ඇමැතියෙක් මෙවන් තනතුරකට පත්වෙනවානම් රටේ දැවෙන ප‍්‍රශ්න විසඳීම පහසු වනු ඇත. මන්ද, එදා මැනින් වෙළෙඳපොළේ වෙළෙන්දෝ දුක් ගැනවිලි කීවේ එළවළු තොග ලැබී තිබුණත් ඒවා විකුණා ගන්නට කාලයක් නැති බව පවසමිනි.

ජනාධිපතිවරයා පත්කර ගැනීමේදී එළවළු ඇතුළු රටේ දැවෙන ප‍්‍රශ්න සඳහා සාමාන්‍ය දේශපාලන උත්තරවලට එහා ගිය අසාමාන්‍ය විසඳුම් ඔහුගෙන් ලැබෙනු ඇතැයි ජනතාව කල්පනා කළේය. එනම්, එළවළු පිළිබඳ ප‍්‍රශ්නය ගනිමු. එය තවමත් එකතැන පල්වෙන ප‍්‍රශ්නයකි. එසේනම්, කළ යුතුව ඇත්තේ හමුදාව (ට‍්‍රක් රථ වැනි) හෝ යොදවා දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල ගොඩ ගැසෙන එළවළු මැනින් ඇතුළු කොළඹ ප‍්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කර දීමට රජය මගින් විධිමත් වැඩපිළිවෙළක් යෙදීමය.
තඹුත්තේගම සිට නම් දුම්රිය මගින් මේවා කොළඹට ගෙන ආ හැකිය. (නව මැනින් මාර්කට් එකට දුම්රිය අංගනයක් සාදා දෙන්නට බලධාරීන්ට නුවණ පහළ නොවීම වෙනම කතාවකි. එසේම යහපාලන ආණ්ඩුවේ සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරයා විසින් හදමින් සිටි දඹුල්ලේ ‘‘කූල් රූම්” ගබඩා ඇතුළු නවීන ගබඩා සංකල්පය අතහැර දමා තිබීමද මෙවැනිම තවත් කතාවකි.) ඉන්පසු මිල නියාමනය කළ යුතුය. ඒ සඳහා වැඬේ තේරෙන හොඳ කළමනාකරණ යාන්ත‍්‍රණයක් වහා ස්ථාපිත කළ යුතුය. මේ කතාවම සහල් ඇතුළු තවත් බොහෝ දෑ සඳහා අත්හදා බලන ලෙස අපි ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට යෝජනා කරන්නෙමු.

එසේම, රට වසා ඇති මේ කාලයේ නිරෝධායනය වන අයට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නැතිකම තවත් බරපතළ කාරණයකි. නිරෝධායන පුද්ගලයකුට අවශ්‍ය ඖෂධ සඳහා රුපියල් 3500 ක පමණ මිලක් වැයවේ. එනම්, නිවසක සිටින පුද්ගලයන් ගණන අනුව මෙම ගණන ගුණනය වේ. මේවා දරාගන්නට මිනිසුන්ට අද ඉතා අපහසුය. ඒ සඳහා රජය මැදිහත්වී ඔවුන් වෙනුවෙන් සහනයක් ලබා දිය යුතුමය.

මෙවන් තත්ත්වයක් තිබියදී කොරෝනා රෝගය වැළඳී සිටින වෙළෙඳ ඇමැතිවරයාට අපි ඉක්මන් සුවය පතන්නෙමු. පාරිභෝගික කටයුතු ඇමැතිවරයා කියන කතා බොළඳ කමෙනුත් එහා ගිය ඒවාය. කරුණාකර මේ සඳහා සම්මත ක‍්‍රමවේදයෙන් බැහැරව ක‍්‍රියා කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment