එළවළු හිඟ කතාව ඇත්තද?

170

කාබනික වගාවට හුරුවෙන්න ටික කාලයක් යනවා

මිල තීරණය කරන්නේ කළු කඩකාරයෝ

දැන් එළවළු වුවමනා තරම් තියෙනවා

වෙළෙඳපොළේ එළවළු පලතුරු හිඟය, ඒවායේ මිල ගණන් ඉහළ යෑම, ගොවියන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය කෘෂි රසායනික පොහොර හා දියර පොහොර නොමැතිවීම වැනි ගැටලූ සම්බන්ධයෙන් පහුගිය දවස්වල නිතර නිතර කතාබහට ලක් විය. මේ ගැටලූ නිසා මහා පරිමාණ වෙළෙඳුන්, අතරමැදියන්, ගැනුම්කරුවන්, ගොවියන් වගේම මහජනතාවත් දුෂ්කරතා රැසකට මුහුණ දුන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ගොවිතැන් කටයුතුවලට කෘෂි රසායනික පොහොර සහ දියර පොහොර නොමැතිකමත්, කාබනික පොහොර වගාවේ අර්බුද නිසාත් බැට කෑ මිනිස්සුන්ට අවස්ථා කිහිපයකදීම සොබාදහමත් එරෙහි වුණා. මාස කිහිපයක් එක දිගට පැවති තද වාර්ෂාව නිසා වගා බිම් පාලූ වුණි. ගොවියන්ගේ අන්තිම බලාපොරොත්තුවත් වතුරට සේදී ගියේය.

දැන් දරාගත නොහැකි පෑවිල්ලත් ගොවියන්ට හරස් වී ඇත්තා සේය. තවත් ටික දවසකින් පොහොර මෙන්ම වතුරත් ඉල්ලා හඬ නඟන්නට වේ යැයි ගොවි මහත්වරුන් කිහිප දෙනෙක්ම කියා සිටියි.

මේ ගැටලූ නිසා වෙළෙඳපොළට සැපයෙන එළවළු පලතුරු තොග ප‍්‍රමාණයන් ශීඝ‍්‍රයෙන් අඩු විය. ඉල්ලූමට අනුව සැපයීම සිදු නොවෙද්දී, වෙළෙඳපොළේ එළවළු පලතුරුවල මිල ගණන් පාරිභෝගිකයන්ට වගේම වෙළෙන්දන්ටත් දරා ගන්න බැරි විදිහට ඉහළ යන්නට විය.

උඩරට, පහතරට, මැදරට වගාවන් බොහෝමයක් රසායනික පොහොර ගැටලූව නිසා අර්බුදයකට ලක් වීමත් සමඟ ගොවීහු හා රට බසින්නට පටන් ගත්හ. මේ වසරේ මාස කිහිපයක් ගත වෙද්දී එළවළු හිඟයකට මුහුණ දෙන්න සිදු වේ යැයි සියලූම ආර්ථික මධ්‍යස්ථානවලින් ගිය වසරේ අවසානයේදීම අනතුරු අඟවා තිබුණි.

ඉන්ධන මිල ඉහළ යෑම එළවළු පලතුරු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීම හා මිල ගණන් ඉහළ යෑම, වගාවන් හානි වීම වැනි බොහෝ ගැටලූ නිසා මිනිස් පරිභෝජනයට ප‍්‍රමාණවත් තරම් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට එක් නොවීම මේ වන විට පැනනැඟී ඇති තවත් බරපතළ ගැටලූවකි. එළවළු හිඟයට විසඳුමක් ලෙස පිටරටින් ලංකාවට එළවළු ගෙන්වීමට මේ වනවිටත් රජය තීරණයක් ගෙන අවසන් ය. ඒ තීරණයට දේශීය ගොවියන්ගේ ප‍්‍රතිචාරය කුමක් වෙයිද? ඒ පිළිබඳව විමසීමට ‘දිවයින’ අපි උඩරට ගොවියන් සොයාගෙන කඳුකරයට ගියෙමු.

වෙනදා තරම් උද්‍යෝගයකින් කටයුතු නොකළත් ගොවියන් ඔවුන්ගේ වගා බිම් හැර ගොස් නැත. මතක ඇති කාලයේ සිටම එළවළු වගාවෙන් ජීවිතය ගැට ගසා ගත් අපි වෙන මොනවා කරන්නද? උඩරට ගොවියන් බොහෝ දෙනෙක් එලෙස විමසයි.

‘‘මේ සැරේ නම් අපි හැමෝම අසරණයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. පොහොර නෑ කීවා. කාබනික වගාවට හුරු වෙන්න කීවා. අස්වැන්න බාල වුණා. අවසානෙට එළවළුත් රටින් ගෙන්නන්න තීරණයක් අරගෙන. පොහොර ටික ගෙන්නන්න ඩොලර් නැති ආණ්ඩුවට එළවළු ගෙන්නන්න ඩොලර් කොහෙන්ද? හිසේ ඇම්මට කොට්ට මාරු කළාට වැඩක් වෙන්නෙ නෑ.”

චමින්ද කුමාර අවුරුදු දහයකටත් වැඩි කාලයක් එළවළු වගා කිරීම ජීවිකාව කරගත් පුද්ගලයෙකි. පිටරටින් එළවළු ගෙන්වීම පිළිබඳව මෙන්ම තවමත් නොවිසඳුණු පොහොර ප‍්‍රශ්නය ගැන ඔහු කතා කළේ ලොකු වේදනාවකිනි.

‘‘ඉස්සර අපි පොහොර මිටියක් ගත්තේ රුපියල් එක්දහස් පන්සියයකට. දැන් ඒ පොහොර මිටිය රුපියල් දහදාහක් දොළාස්දාහක් වියදම් කරලා ගන්න සිද්ධ වෙලා.

එළවළු හිඟ කතාව ඇත්තද?

කළු කඩ මුදලාලිලාට ඕන විදිහට බිස්නස් සිද්ධ වෙනවා. පොඩි පොඩි බඩු විකුණනවා ගණන් වැඩියි කියලා පාරිභෝගික සේවා එකෙන් අල්ලනවා. මහා පරිමාණ වංචාවන් සිදුවෙනවා දැක දැකත් අදාළ පිරිස් මුණිවත රකිනවා. මේ රටේ දේශපාලනඥයෝ හැමදාම කරන්නේ බොරු කියලා අපිව රවට්ටන එක. අඩුම තරමේ පාඩු ලබන්න හරි වගා කරන්න තියෙන අවස්ථාවත් උපක‍්‍රමශීලීව අපිට අහිමි කරනවා දැක දැකත් අපිට බලන් ඉන්න සිද්ධ වෙලා.” අත්හැර දැමූ කැරට් පාත්ති කිහිපයක් පෙන්වමින් නාලනී මහත්මිය අපත් සමඟ එලෙසින් අදහස් බෙදා ගත්තාය.

තවමත් රසායනික පොහොර සහ දියර පොහොර හිඟයට ස්ථීර විසඳුමක් නොමැති කමෙන් තමන්ගේ වගා බිම් නිසරු වී ඇතැයි උඩරට ගොවියන් නැවත නැවතත් සිහිපත් කරයි.

‘‘පහුගිය කාලේ පුරාවටම උද්ඝෝෂණ කරලා සමස්ත ගොවි ප‍්‍රජාවම ඉල්ලූවේ තමන්ගේ ගොවිබිම රැකගන්න අවශ්‍ය පොහොර සහ දිලීර නාශක ලබා දෙන්න කියලා විතරයි. ඒකට ඇහුම්කන් දෙන්න රජය හිතාගන්නවත් බැරි මුදලකට පිටරට ඉඳලා රසායනික පොහොර ගෙන්නුවා. තියෙන දෙයක් උගස් තියලා හරි ණය වෙලා හරි මිනිස්සු පොහොර ටික අරගෙන වගා කරන්න පටන් ගත්තා. මේ රටේ ගොවියන් බල්ලට දාලා පිටරටෙන් එළවළු ගේන්න පටන් ගත්තා. මේ වෙද්දි පාකිස්ථානයෙන් බීට් රූට් ගෙන්නලා. හෙට අනිද්දට රාබු, කැරට්, ලීක්ස් හැම දෙයක්ම පිටරටින් ගේන්න පටන් ගනියි. එතකොට එළවළු හිඟයට විසඳුමක් ලැබෙනවා කියලා හිතුවට දේශීය වගාවන් අනතුරේ හෙළීම කී දෙනෙක්ට පාඩුවක්ද කියලා කිසිම කෙනෙක් හිතන්නේ නෑ”.

කොතරම් ගැටලූ තිබුණත් වගාවන් අත් නොහැර සිටි බොහෝ ගොවියන් මේ වන විටත් විවිධ රැකියාවලට යොමුවන බවට කිහිප දෙනෙක් තොරතුරු හෙළි කරයි. ගොවිතැන් නතර වීම ගොවියන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ටත් අතරමැදි පාර්ශ්වයන්ටත් සමස්ත ජනතාවටත් සෘජුවම බලපාන ප‍්‍රශ්නයක් නිසා රජය තීරණ ගැනීමේදී මීට වඩා බුද්ධිමත් විය යුතු බවටද ගොවියෝ අවධාරණය කරති.

මේ කතාබහ අතරතුර දී රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර යොදාගෙන අලූතින් වගා කරන්න පටන් ගත්ත කිහිප දෙනකුද අපට හමු විය. රසායනික පොහොර සහනාධාර ක‍්‍රමයත් එක්ක කාබනික පොහොර භාවිතයෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඈත් වුණත්, මීට වසර කීපයකට පෙර පහතරට මැද රට ගොවියන් මෙන්ම උඩරට ගොවියන් බහුතරයක් කාබනික පොහොර ආශ‍්‍රිතව සාර්ථකව වගාවන් සිදුකළ බවට වසර ගණනාවක ගොවිතැන සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පේ‍්‍රමරත්න මහතා කියයි.

‘‘ගොම පොහොර කොම්පෝස්ට් වගේ දේවලින් රසායනික පොහොරවලින් වගේ ඉක්මනින් ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. රසායනික වලටම හුරුවුණු බිම කාබනිකවලට හුරු වෙන්න කාලයක් යනවා. එතකොට අස්වැන්න බාල වෙනවා. ඵලදාව විකෘති වෙනවා. මේ වෙද්දිත් උඩරට ගොවියෝ ඒ වගේ ගැටලූවලට මුහුණ දීලා තියෙනවා. ඒ වුණත් වගාව අත් නොහැර රටට අත්‍යවශ්‍ය පලතුරු සපයපු ගොවියා පයට පෑගෙන දූවිල්ලක් ගාණට දාලා පිටරටින් හැමදේම ගෙන්නන එක විලාසිතාවක් කරගත්ත නායකයෝ මොන තීරණ ගත්තත් මෙච්චර තමයි.”

රසායනික පොහොර භාවිතය නිසා මිනිසාගේ සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම වළක්වා ගැනීමේ මූලික අරමුණින් කාබනික පොහොර භාවිතය පිළිබඳ සංකල්පය ගෙනාවා නම් ඊට පසු රජය සහ බලධාරීන් විසින් කළ යුතු වන්නේ ලංකාව තුළ කාබනික පොහොර භාවිතය ඵලදායීව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණ ගැනීම වුවත් කිසිදු පුද්ගලයකු එවැන්නක් පිළිබඳව සොයා නොබලා ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක තවත් මුදල් නිකරුණේ නාස්ති කරන බවට ගොවියන් එක හඬින් කියයි.

‘‘දැන් කාබනික පොහොරවලින් කිරීමේ සංකල්පය ගෙනාවේ මිනිස්සුන්ට හිතකර තීරණයක් විදිහට පෙන්නන ගමන්. ඊට පස්සේ රසායනික පොහොර ගෙන්නන එක සීමා කළා. තියෙන ඒවා විකිණුවේ ගිනි ගණන්වලට. දැන් පිටරටින් ගේන එළවළු පලතුරු හැම එකක්ම වගා කරන්නේ කාබනික පොහොර යොදා ගෙනද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. ඒවා කල් තියාගන්න කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නෑ කියලා සහතිකය දෙන්නේ කොහොමද?”

මෙරට තුළ රසායනික පොහොර භාවිතය නැවතීමත්, ඒ සමඟම වගාවන් ආශ‍්‍රිතව ගැටලූ පැන නැඟීමත් ඒවාට විසඳුම් ලෙස පිටරටින්ම එළවළු ගෙන්වීමට ගත් තීරණයත් දේශපාලනඥයන්ගේ මිස මහජනතාවගේ වුවමනාවට සිදු නොවන්නක් බව කඳුකර වැසියෝ පවසති.

රටේ පාලකයෝ මේ රටේ ජනතාවට වාසි සැලසෙන විදිහට තීරණ ගන්න ඕන කාලෙක මිනිස්සුන්ගෙ වේදනාව බල්ලට දාලා තීරණ ගන්නෙ මොන වුවමනාවක් හින්දද කියලා අපිට තේරෙන්නෙ නෑ. දැනට මාස තුන හතරකට කලින් දරුණු එළවළු හිඟයක් එනවා කියලා කියපු වෙලාවේ කිසි කෙනෙක් ඒක ගණන් ගත්තෙ නෑ. නත්තලටත් යන්තම් පිරිමහගත්තා. සිංහල අවුරුද්දට කොහොමත් එළවළු හිඟ වෙනවා. පිටරටින් කොච්චර එළවළු ගෙන්නන්න ද? ප‍්‍රමිතියෙන් යුතු හොඳ එළවළු පලතුරු වෙළෙඳපොළට දාන්න ලංකාවේ ගොවියන්ටත් පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ පහසුකම් ටික විතරයි. ඒ පහසුකම් ටික නොදී තාවකාලිකව විකල්පවලට යන එක මුළු රටම අනතුරේ දාන වැඩක්. ‘‘සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණ ශාන්ත මහතා එලෙසින් අදහස් දැක්වීය.

ඔවුන්ගේ කතාබහින් පසුව නුවරඑළියේ ස්ථාන කිහිපයක එළවළු පළතුරු සහ මල් වගාවන් නිරීක්ෂණය කිරීමටත් අපට අවස්ථාව ලැබුණි. වෙනදාට තමන්ගේ ගොවිබිම්වල උද්යෝගයෙන් වැඩ කරන ගොවියන් වගාබිම් දිහා බලාගෙන හූල්ලද්දී ඔවුන්ගේ වේදනාව වචනවලට නැඟිය නොහැකි තරම් ගැඹුරු බව අපටද අවබෝධ විය.

‘‘හැමදාම මාධ්‍යවලින් ඇවිත් ෆොටෝ අරන් යනවා. අපෙන් අදහස් ගන්නවා. අපි නොමිලේ පොහොර ඉල්ලන්නෙ නෑ. පුළුවන්නම් හංගල තියන පොහොර ටික අපිට දෙන්න කියන්න. කළු කඩ මුදලාලිලා පෝසත් කරන්න තරම් සල්ලි අපි ළඟ නෑ. කාබනික වගාවන් කරනවනම් ඒවට අවශ්‍ය දැනුම දෙන්න. පිටරටින් එළවළු ගේන එක විසඳුමක් නෙමෙයි. රට වටේම මුහුද තියාගෙන පිටරටෙන් මාළු ගෙන්නන, ඕන දෙයක් පැලවෙන පොළොවක් තියාගෙන එළවළු ටිකත් පිටරටින් ගෙන්වන මේ රට ගැන කතා කරන එකත් අපරාදෙ.”

හෙට දවස ගැන අවිනිශ්චිතව, එහෙත් බලාපොරොත්තු ගොන්නක් එක්කර ගනිමින් ජීවත්වන මිනිසුන්ගෙන් අසන්නට තවත් බොහෝ දේ ඇත. ඒ සියලූ ප‍්‍රශ්න හිත තුළම රඳවාගෙන දුක්බර පිළිස`දර නිමා කර අපි කඳුකරයට සමු දුන්නෙමු.

අප රැගත් රිය කෙමෙන් ඉදිරියට ඇදෙද්දී, මල් මිටි කිහිපයක් රැගත් කුඩා දැරියක් අප ඉදිරියට පැමිණියේ මල් මිටක් ගන්නට දෙනෙතින් ආයාචනා කරමිනි. වෙනදාට නුවරඑළියෙන් ගන්නා මල් මිටියේ බර සැහැල්ලූ වී ඇතැයි මට සිතුණි.

එළවළු පලතුරු ගොවියන්ට ද මල් ගොවියන්ට ද දැන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. මේ දවස්වල මල් බිස්නස් තියනවාදැයි අප ඇසූ ප‍්‍රශ්නයට උත්තරය ලැබුනේ දැරියගේ මවගෙනි.

‘‘පුරුද්දට මල් මිටි බැන්දට දැන් කවුද සල්ලිවලට මල් ගන්නෙ. පොහොර නැතුව මල් හැදෙන්නෙත් නෑ. හෙට අනිද්දට මඟුල් ගෙදරට මළගෙදරකට ගන්න මල් ටිකත් පිටරටින් ගේන්න සිද්ධ වෙනවා. එදාටත් මොන ප‍්‍රශ්න තිබුණත් මේ රජය මිනිස්සුන්ගේ පැත්ත ගන්න එකක් නෑ.”

නිරෝෂා වාසල
නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment