එළුදෙන පස්සේ ගිය නරියා

283

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයෙහි විශාල වැවක් තිබුණා ගමේ වැවට ඉස්මත්තෙන් වූ කඳු ගැටයෙක මැද වයසේ තනිකඩ නරියෙක් වාසය කළා. ලක්ෂ සංඛ්‍යාත පේ‍්‍රක්ෂක වන ප‍්‍රජාව අමන්දානන්දයට පත්කළ ටෙලිනාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළ මේ නරින්ද්‍ර තෙමේ මෙහෙම හුදෙකලා ජීවිතයක් ගෙවන්නට පටන් ගත්තේ ටෙලි නාට්‍ය ෆීල්ඞ් එක ෂකබ්ලාස් වුණාට පස්සේ !

ඒ දවස්වල ටෙලි නාට්‍යවලට ෆිනෑන්ස් කරපු ප්‍රොඩියුසර් ලා හුඟදෙනෙක් දැන් ෆීල්ඞ් එකෙන් අයින් වෙලා. හේතුව තමයි මේ උදවිය හුඟ දෙනෙක් මහලූයි ! අනිත් එක තමයි ටෙලි නිළියෝ හුඟ දෙනෙක් මහලූ ප්‍රොඩියුසර්ලාට කැමති නැති එක. කොහොම හරි දැන් ටෙලි නාට්‍ය ෆීල්ඞ් එකත් ආණ්ඩුවේ සංස්ථා මණ්ඩල ගාණට වැටිලා !. ඉතිං ඒ දවස්වල පොපියුලර් ඩිරෙක්ටර් හැටියට හිටපු නරින්ද්‍රටත් මෙහෙම වැවක් ඉස්මත්තේ පට්ට අයිසොලේටඞ් ලයිෆ් එකක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ටෙලි නාට්‍ය ෆීල්ඞ් එකේ මේ කඩා වැටීම හින්දා.

ඉතිං දැන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නරින්ද්‍ර උදේට නැගිටිනවා බිලයෙන් එළියට අවිල්ලා ඇඟ මැලි කඩලා වැව් බැම්ම දිගේ ජොගිං යන එවුන් දිහා සූම් එක දාගෙන බලං ඉන්නවා. පුදුම වැඬේ කියන්නේ මේ ජොගිං යන එවුන්ගෙන් වැඩි දෙනෙක් ගෑනු සත්තුනේ ! එළ දෙන්නු, මී දෙන්නු, එළු දෙන්නු, කොටි දෙන්නු, මී මින්නියෝ…

දැන් ඉතිං නරින්ද්‍රයා පුරුද්දක් හැටියට පාන්දරින්ම නැගිටලා සූම් එක දාගෙන වැව් කණ්ඩිය දිහා බලා ගෙන ඉන්නවා ජොගින් යන මේ ගෑනු සත්තු දිහා!. ෂුහ් ! මේක ටෙලි නාට්‍ය හදන්න ගිනි අව්වේ කට්ට කනවාට වඩා මරු සුන්දර ජොබක් නේ !

ටික දවසක ඉඳලා මේ ජොගිං ගැන්සියට අලූත් එළුදෙනෙක් එකතු වෙලා ! සැලෙන ලෙලෙන දලූව විලස නිතඹ නලෝලා ! තාලෙකට ජොගිං යන මේ එළුදෙන දැක්ක ගමන් නරින්ද්‍රයාට හිතුනා ටිකක් පස්සෙන් ගිහිං බලන්න ඕනේ කියලා !

ෂෙහ් ! ටෙලි නාට්‍ය කරන කාලයේ නං මේ වගේ එළු කෑලි කොච්චර නං මගේ පස්සෙන් එන්න ඇතිද? දැන් ටෙලි ෆීල්ඞ් එකට ඩ‍්‍රයි සීසන් එක ! ඔහොම තමා ඒ දවස්වල එහෙමයි. දැන් සබ්බේ සංඛාරා අනිච්චා ! සියලූ සංස්කාරයෝ නැසෙන සුලූය…

බලාගෙන ඉඳලා ඉඳලා ඉවසා ගන්න බැරිම තැන තලතුනා ටෙලි අධ්‍යක්ෂ නරින්ද්‍රයා ඇවිදින කැකිරි ගෙඩියක් වගේ පිරිපුන් එළිච්චිය පස්සේ යන්නට පටන් ගත්තා. හෙහ් ! ඒ කාලේ මං ටෙලි නාට්‍ය කරන කොට මේ වගේ එළු ගැටිස්සියෝ කොච්චර නං මා පස්සෙන් එන්න ඇතිද? අද මං මේ එළු ගැටිස්සිය පස්සෙන් ගියා කියලා කවුරු හරි දැක්කොත් !….. ඔහොම තමා පල ඇති නං තමයි වවුල්ලූ රුකට පොරකන්නේ. ඒ කාලේ එහෙමයි මේ කාලේ මෙහෙමයි ! මෙහෙම හිත හිතා නරින්ද්‍රයා ස්ලිං ගාන කොට ස්පෝට් කිට් එකක් දාගෙන ජොගින් පාක් එකට ඇන්ටර් වෙලා එළිච්චිය පස්සේ යන්න වුණා.

මෙහෙම කාලය ගෙවිලා යනකොට දවසක් එළිච්චිය මරු මුස් මූඞ් එකක් දාලා නරින්ද්‍රයාට ඩයිනමයිට් ටෝක් එකක් දුන්නා.

මොකද මේ හැමදාම මං ජොගිං යනකොට තමුසේ මගේ පස්සෙන් එන්නේ.

නරින්ද්‍රයා තක්බීර් වුණා !

හොම්බ කට වේලූනා ! ජාන විශේෂාංග පහසුකම් තාවකාලිකව ඇණ හිටියා !.

මොකක් වැටෙයි කියල හිතාගෙනද මගේ පස්සෙන් එන්නේ ! ! තමුසෙලාගේ පරම්පරාවේ සීයා කෙනෙක්ද කොහෙද ඒ කාලයේ අපේ ආච්චි කෙනෙක් පස්සෙ මොකක්ද එකක් වැටෙන කං කියලා ඔය විදිහටම ගව් ගානක් ගිය කතාවක් මං අහලා තියෙනවා !! එළිච්චියගේ නයි මිරිස් වගේ සැර ටෝක්ස් එකට නරියා කොර වුණා!

ඒත් ඒ වගක් නොපෙන්වා හරියට සියල්ල දත් ටීවී ප‍්‍රසන්ටර් කෙනෙක් වගේ මෙහෙම උත්තර දුන්නා !

හෙහ් හෙහ් !මෝඩ එළු කෙලේලේ ! මං ටුවෙන්ටි ෆස්ට් සෙන්චරි එකේ පොරක් ! කටුසුප් එකකට ගන්න තරම්වත් වටිනාකමක් නැති උඹ වගේ එළිච්චියක් පස්සෙන් එන්න මං පිස්සු පූසෙක් කියලා හිතුවද? දැන ගනිං මං ටෙලි නාට්‍ය දහයක් දොළහක් හදාපු එක්ස්පීරියන්ස් ඩිරෙක්ටර් පොරක්…… උඹ වගේ වට්ටක්කා ගෙඩියක් පස්සේ එන්නට මග පැදිලා තියෙන්නේ මේ සමාජ ක‍්‍රමය !! මං මේ උඹෙන් තෑගි ගරු සම්මාන ලබා ගන්න පස්සෙන් ආවා නෙමෙයි ! පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න ට‍්‍රයල් එකක් දාලා බැලූවේ….. යකෝ අද කාලේ පස්සේ නොගිහිං කිසි දෙයක් කර ගන්න පුළුවන් සිස්ටම් එකක්ද තියෙන්නේ ! මං මේ පස්සෙන් ආවේ ටෙලි නාට්‍යයක් ටීවි එකේ දාගන්න හැටි පුරුදු වෙන්න ! යකෝ අද කාලේ ටෙලි නාට්‍යක් ටීවී එකේ දාගන්න පුළුවන්ද එක එකා පස්සේ නොගිහිං, යි කිවු අප්සට් ගහපු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නරින්ද්‍රයා පස්සෙන් ගිය ගමනට පුල්ස්ටොප් එක කියලා ආපහු හැරුනා !

ආදර්ශය : ටෙලිනාට්‍යක් ටීවී එකේ ප‍්‍රචාරය කරගන්නට අධ්‍යක්ෂ නරින්ට එක එකා පස්සේ යන්නට සිදුවේ

එළුදෙන පස්සේ ගිය නරියා


* සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment