ඒකක 180 ට වැඩි අය සූර්ය බලයට ගියොත් විදුලිබිල වැඩි වෙන්නෙ නෑ

318

තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති

විදුලි ඒකක 180 ට වැඩියෙන් පාවිච්චි කරන ලක්‍ෂ තුනක පිරිසට සූර්යබල ව්‍යාපෘතියක් හඳුන්වා දෙනු ලැබුවහොත් විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලීය තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගෙන ලක්‍ෂ තුනක පිරිසට සහන පොලියක් යටතේ එම මුදල් ලබාදී මාස දෙකකින් පමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් එහි දීර්ඝ වාසියක් පවතින බවද ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලය විසින් මේ වසරේ ගිගාවොට් 15,000ක් භාවිත කර ලබන වසරට ගිගාවොට් 17,100ක් පාවිච්චි කරන බවට උපකල්පනය කළත් රටේ ආර්ථික අර්බුද, විදුලි බල ඉහළ යෑම, කර්මාන්ත ශාලා වැසී යෑම වැනි නොයෙක් හේතුනිසා විදුලි පරිභෝජනය ඉහළ යා හැකිය යන්න විශ්වාස කිරීමට අපහසු බවද ඒ මහතා කීය. මෙම ලක්‍ෂ තුන අතර කර්මාන්ත ශාලා 1000ක් පමණ පවතින බවත් ඒවා කෙරෙහි ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බවත් නිශාන්ත මහතා කීය.

මීට අමතරව 2017 වර්ෂයේ අවසන් කිරීමට නියමිතව තිබූ මෙගාවොට් 120ක් ලබාගත හැකි උමාඔය ව්‍යාපෘති ඇතුළු ජල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මැලිකමක් දක්වන බවත් එවැනි ව්‍යාපෘති මගින් විදුලිය අඩුම මිලකට නිපදවා ගතහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment