ඒකක 30 දක්වා අයට 23% කින් ලයිට් බිල අඩුවෙනවා – ඇමැති කංචන

285

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය අනුව ලබන ජුලි මස 01 වැනිදා සිට විදුලි ඒකක 0-30 අතර පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට අවම වශයෙන් සියයට විසිතුනක විදුලි ගාස්තු අඩුවීමක් සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

එම පළමු කාණ්ඩයේ පාරිභෝගිකයන්ගෙන් අය කළ ස්ථාවර ගාස්තුවද රුපියල් 400 සිට රුපියල් 250 ක් දක්වා අඩුවන බව ද ඒ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම ගාස්තු පහළ යෑමට අනුව විදුලි ඒකක 0 සිට 30 දක්වා විදුලි පාවිච්චි කරන කාණ්ඩයෙන් දැනට අය කරන විදුලි ඒකකයක මිල රුපියල් තිහ සිට රුපියල් විසිපහ දක්වා අඩුවන බව ද ඒ මහතා කීය.

ඒ අනුව විදුලි ඒකක 0 – 30 අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට විසිතුනක් අවම වශයෙන් පහළ යන බවත් උපරිම අඩුවීම සියයට 29 ක් බවත් විජේසේකර මහතා කියා සිටියේය.

මීට අමතරව විදුලි ඒකක 31 සිට ඒකක 60 දක්වා පාරිභෝගිකයන්ගේ ගාස්තුව සියයට නවයකින්ද අඩුවන බව කීය. ඒකක 0 සිට 60 දක්වා පාරිභෝගිකයන්ගේ ගාස්තුව සියයට හතකින් අඩුවන බව ද ආගමික සිද්ධස්ථානවල ගාස්තු පහළ යෑමද එම ප්‍රතිශතයෙන් සිදුවෙන බවද ඇමැතිවරයා පැවසීය. විදුලි ඒකක 0 සිට 60 දක්වා පාවිච්චි කරන ආගමික ස්ථාන 15,646 ක් තිබෙන බවත් ජූලි මස සිට ඒ ස්ථානවල විදුලි ගාස්තුව සියයට විසිතුනකින් පහළ යනු ඇති බවත් විජේසේකර මහතා කීය.

මීට අමතරව ඒකක 31 සිට 90 දක්වා භාවිත කරන ආගමික මධ්‍යස්ථාන 10,692 ක් තිබෙන බවත් ඒවායේ විදුලි ගාස්තුව සියයට හතකින් පහළ යන බවත් ඒ මහතා පැවසීය. හොටෙල් ක්‍ෂේත්‍රයද කර්මාන්ත කාණ්ඩයට එක්කර තිබෙන නිසා එම ක්‍ෂේත්‍රයේ විදුලි ගාස්තු සියයට විසිනවයකින් අඩුවන බව ද ඒ මහතා කීය. මෙම සමස්ත විදුලි පාරිභෝගිකයන් ගණන ලක්ෂ පනස් නවයක් බවත් ඔවුන්ගෙන් දාහත් ලක්ෂ හතළිස් හතර දහසකගේ විදුලි ගාස්තු අවම වශයෙන් සියයට විසිතුනකින් පහළ යනු ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment