ඒක මරු… බස් එකේ ෂූටින් යන නිරෝෂන්

336

මිනිස්සු  පක්‍ෂ පාට ඉදිරියේ වහල්ලු වෙලා…
මගේම අධ්‍යක්‍ෂණයකට පිටපතක් ලියනවා

නිරෝෂන් විජේසිංහ කියන්නෙ රංගන ශිල්පියෙක් විතරද?. නැහැ ඔහු කවියෙක්. දෙවැනි කවි පොතත් එළිදක්වන්න සූදානම් වෙන ඔහු රංගනයෙන් දායක වන නාට්‍ය හතක් මේ දිනවල ඔබට රසවිඳින්න අවස්ථාව ලැබෙනව. කාර්යබහුල බව අතරෙ වුණත් නිරෝෂන් මේ විදිහට මීවිත සමග කතාබහකට එකතු වුණා.

ඒක මරු... බස් එකේ ෂූටින් යන නිරෝෂන්

නිරෝෂන් කාර්යබහුල වෙලා?

ඔව් ඒක ඇත්ත. ඉතාම දුෂ්කර කාලෙක වැඩ කරන්න අමාරුම කාලෙක වුණත් මම රංගනයෙන් දායක වන බොනිකර තරු, ඇස්, ගගන පියවර, මීනු, නීල පබළු, අඳුන්ගිර, මාණික්කාවත යන නාට්‍ය හත සතියේ දින හත පුරාවටම විකාශනය වෙනව.

ඒක මරු... බස් එකේ ෂූටින් යන නිරෝෂන්


මේක ඔබට අවාසියක්?

මේ නාට්‍යවලට මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක එහෙම හිතෙන්නෙ නැහැ. පසුගිය කාලය පුරාවට රූගත කළ නාට්‍ය එක ළඟ විකාශනය වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. එකකට එකක් වෙනස් විදිහට මේ නාට්‍ය සියල්ලටම සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියල මම විශ්වාස කරනව.

මගතොටදී ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ළඟදි දවසක ප්‍රේක්‍ෂකයෙක් මගෙන් අහනව දැන් රඟපාන්නෙ නැද්ද කියල. මං හිතන්නෙ ඔහු රූපවාහිනිය නරඹන්නෙ නැතිව ඇති. එවෙලෙ හිත නොරිදෙන විදිහට මම ඇහුව ටීවී බලනව අඩුද කියල. ඇත්තටම ලංකාවේ බොහෝ දෙනෙක් අද ඉන්නෙ නාට්‍යයක් බලන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි. කොහොම වුණත් චරිත වලට සාධාරණයක් කරන බව ඔවුන් දක්වන ප්‍රතිචාරවලින් මම දකිනව. මේ අතර ‘ගගන පියවර. නාට්‍යය වෙනුවෙන් යොමු කරල තියෙන කමෙන්ට් දකිනකොට ඒ තරම් හෙණ ඉල්ලන චරිතයක් මීට කලින් මට ලැබිල නැහැ. හෙණ ගහන්න ඕන කියලමයි කියන්නෙ.

ඉන්ධන ගැටලුවත් එක්ක රූගතකිරීම්වලට සහභාගි වෙන්නෙ කොහොමද?
 

ඇත්තටම ඒක නම් විශාල අර්බුදයක්. මම දැන් බොහෝ විට යන්නෙ බස් එකේ. ගෙදර ඉඳන් ටවුන් එකට මගදි මුණගැහෙන කෙනෙක් එක්ක යනව. මේ වෙලාවෙ අපි නිෂ්පාදන කණ්ඩායමට පුළුවන් හැටියට උදව් කරන්න ඕන. උද්ධමනය කොච්චර වැඩි වුණත් ඒක අපිට ලැබෙන මුදලට එකතු වෙලා නැහැ. නිෂ්පාදකවරුන්ටත් ඒ ප්‍රශ්නයම තියෙනව. විකාශනය වන ටෙලි නාට්‍යයකට නාළිකා වලින් ගෙවන මුදල වැඩිවෙලා නැහැ. ඒ නිසා මේ අර්බුදය ඇතුළෙ නාට්‍යයක් කරනව කියන්නෙ ඉතාම අපහසු දෙයක්.

බස් එකේ ගමන මොන වගේ අත්දැකීමක්ද?
 

ඇත්තටම ඒක මරු. බස් එකේ ගිහිල්ල වගේම පයින් ගිහිල්ලත් මට හොඳට පුරුදුයි. මට ඒකෙ ලොකු වෙනසක් නැහැ. නමුත් බස් එකේදි බොහෝ දෙනෙක් මාව අඳුනගත්තොත් මගෙ නිදහස නැතිවෙනවනෙ. මාස්ක් එකක් එහෙම දාල යන නිසාත් පාන්දරම යන නිසාත් ගොඩක් දෙනකුට මාව අඳුනගන්න බැහැ. ඔය අතර මාව හඳුනාගෙන බොහොම ආදරෙන් කතාකරන අයත් ඉන්නව. ළඟදි දවසක කෙනෙක් කෑම පාර්ල්සල් එකක් පවා ගෙනත් දුන්න. දේශපාලකයො තමයි රට විනාශ කරල අර්බුදයකට ඇදල දාල තියෙන්නෙ. අපි හිතන්න ඕන අපි අතින් වැරදුනේ කොතැනද හදාගන්න ඕන මොනවද කියල. ඇත්තටම අපේ රටේ පොදු ප්‍රවාහන සේවය යහපත් මට්ටමක තිබුණා නම් මේ රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කාරණයකට හැරෙන්න පුද්ගලික වාහන භාවිතා කරන්න ඕන වෙන එකක් නැහැ.

ගෙවීම් ප්‍රමාණවත් ද?
 

ආදායම කියන දේ මේ රටේ සෑම කෙනකුටම බලපාල තියෙන ප්‍රශ්නයක්. අපිටත් එහෙමයි. තියෙන වැඩ කරගන්න විදිහක් නැහැ කල් යනව. කිහිප දෙනකුගේ නාට්‍ය විකාශනය වුණාට බොහෝ දෙනකුට වැඩ නැහැ. වැඩත් නැතිවෙලා ජීවත් වෙන්න විදිහකු-ත් නැතිව ලැබෙන වැඩත් කල් යනකොට මොනවගේ තත්ත්වයක්ද ඇතිවෙන්නෙ. අපෙන් වියදම් වෙන ප්‍රමාණය හැරෙන්න සතපහක්වත් අපිට වැඩිවෙලා නැහැ. මේක අපිට හොඳ අවස්ථාවක්. මෙතෙක් කාලයක් මිනිස්සු පක්‍ෂ පාට ඉස්සරහ හිටගත්තෙ වහල්ලු බවට පත්වෙලා. දැන් අපි ඇත්ත ඉදිරියේ හිටගන්න ඕන. ඇත්ත හොයාගන්න ඕන. ඒ ඇත්ත රජකරවන්න උත්සාහ කරන්න ඕන. එහෙම නොවුණොත් අපිට විතරක් නෙමෙයි” අපේ දරුවන්ටත් රටක් නැතිවෙනව වගේම අපේ වෘත්තියක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් හෙටක් නැතිවෙනව.

ඔබේ වෘත්තිය රංගනයද?

මම රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි කවියෙක්. කවි පොතක් මේ වන විට එළිදක්වා තියෙනව වගේම දෙවැනි පොතේ වැඩකටයුතු මේ දිනවල කරගෙන යනව.

අර්බුදයකදි මුලින්ම පහර වදින්නෙ විනෝදාස්වාදයට?
 

වේදනාවෙන් පණ අදින මනුස්සයෙක් පවා තමන් කැමති සිංදුවක් අහල තෘප්තිමත් වෙනව. විනෝදාස්වාදය කියන්නෙ මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. කෑම බීම කොච්චර තිබුණත් ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. චිත්‍රපටයක් බලන්න ඕන” සිංදුවක් අහන්න ඕන” නාට්‍යයක් බලන්න ඕන. මේ වින්දනය නැතිකම නිසා අද මිනිස්සු නිද්‍රාවට පත්වෙලා. මේක ඉබේ ඇතිවුණ දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගෙ රසවින්දනය නැතිකරල. ඒකට තියෙන අවස්ථාවන් නැතිකරල. මේ මොනව කළත් අදටත් චිත්‍රපටයක් හෝල් එකට දැම්මොත් ඒක බලන්න ප්‍රේක්‍ෂකයො ඉන්නව. නමුත් වේදිකා නාට්‍යයක් නම් කවදා කරන්න වෙයිද කියල කියන්න බැහැ. මේ දේවල් කියාගන්න බැරිව” විඳින්න බැරිව අනිත් අයටත් වඩා සෞන්දර්යවාදීන් තමයි දුක්විඳින්නෙ කියලයි මම නම් හිතන්නෙ.

මොනවද ඉදිරි සැලසුම්?

මගේ තිබුණ එකම බලාපොරොත්තුව තමයි මේ අවුරුද්දෙ කවි පොත එළිදක්වන එක. ඒ අතර චිත්‍රපටයක පිටපතක් ලියාගෙන යනව.

අධ්‍යක්‍ෂණයත් ඔබේම වේවිද?

මම ඒක ලියාගෙන යන්නෙ මගේ අධ්‍යක්‍ෂණයක් විදිහට කරන්න හිතාගෙන තමයි. නමුත් දැන්ම නෙමෙයි. ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන්න මගේ හිතේ ලොකු ආසාවක් තියෙනව. මගේ මේ ගමනෙ අවසාන ඉලක්කය තමයි අධ්‍යක්‍ෂණය. ඊට කලින් රංගන ක්‍ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න තියෙනව කියල මම හිතනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment