ඒඩ්ස්… තවත් සමාජ ව්‍යාධියක පෙරනිමිති

664

මේ වනවිට අපේ රට ව්‍යාධි රැසකින් පෙළෙමින් තිබේ. ප්‍රධාන ව්‍යාධිය ආර්ථික ව්‍යාධියයි. මේ නිසා රටේ ජනතාවට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදා වී ඇත. පාසල් දරුවන් උදය වරුවේ රැස්වීමේ දී ක්ලාන්ත කර වැටෙන තත්ත්වයට එය දරුණු වී තිබේ. ඩොලර් අර්බුදය, රුපියල අවප්‍රමාණවීම ඇතුළු ආර්ථික සාධක නිසා අපේ රට හිඟමනට වැටී හිඟන්නෝත් අපට ආධාර එවන තරමට ම අපි බංකොලොත්ය. මෙම තත්ත්වය දවසකින් දෙකකින් ඇති වූවක් නොවේ. සුද්දාගෙන් පසු අප රට අවුරුදු 74 ක් තිස්සේ පාලනය කළ උන් මීට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. රට හතර ඝාතයෙන් වැටී තිබියදීත් රට වෙනුවෙන් එකතු වී තීරණ ගන්න තරම් අපේ රටේ දේශපාලන පක්‍ෂ අසමත්ව සිටී. සමහර පක්‍ෂවලින් මේ සම්බන්ධයෙන් යම් යම් යහපත් යෝජනා ඉදිරිපත් වුව ද ඒ තුළ තමන්ගේ දේශපාලන ගමන කඩාවැටේ වී යැයි බියෙන් බොහෝ පක්‍ෂ ඊට අනුගත වු බවක් දක්නට නොලැබිණි.

අප ඉහතින් සඳහන් කළේ මේ රටේ මේ මොහොතේ වන ප්‍රධාන ව්‍යාධියයි. මීට අමතරව තවත් අතුරු ව්‍යාධිවලින් ශ්‍රී ලංකා මාතාව වැනසෙමින් සිටින බව පැහැදිලිය. ඒඩ්ස් රෝගය ද එවැන්නකි. ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ඒඩ්ස් පැතිර යමින් පවතින බව ‘දිවයින’ පුවත්පත පසුගිය 24 වැනිදා අනාවරණය කර තිබිණි. ඒඩ්ස් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් අපේ රටේ වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන් අතර ශීඝ්‍රයෙන් ඒඩ්ස් රෝගය පැතිරෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නීය.

භද්‍ර යෞවනය ඒඩ්ස් මාරයාට බිලි දී ජීවිතය නන්නත්තාර කරගැනීම කොයිතරම් අණුවනකමක් දැයි මෙම තරුණ තරුණියන් තේරුම් නොගැනීම ජාතික අපරාධයකි. වැටී ඇති රට ගොඩගැනීමේ උත්තුංග කාර්යයක් තම දෙවුරු මත තිබියදී අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් ඔස්සේ තම තරුණ ජීවිතය පමණක් නොව, රටේ අනාගතය ද අවදානමට ලක්කිරීම ගැන මෙම තරුණ තරුණියෝ ලැජ්ජා විය යුතුය.

මෙම වසරේ ගත වූ මාස නවයක කාලය තුළ මෙරටින් එච්.අයි. වී. ආසාදිතයන් 342ක් සොයාගෙන ඇති අතර ඉන් 50 දෙනකු විශ්වවිiාල ශිෂ්‍යයන් බව ද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන අනාවරණය කරගෙන ඇත. මෙම වසරේ දී සොයාගත් එච්.අයි.වී. ආසාදිතයන් අතර පාසල් දරුවන් හතරක්, චීවරධාරීන් දෙදෙනකු සිටින බව ද වාර්තා වෙයි. මෙම තත්ත්වය තවදුරටත් නොසලකා සිටියහොත් රට බරපතළ අනතුරකට වැටීමට ඉඩ ඇත. විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුන් හා පාසල් සිසුන් ද එච්.අයි.වී. ආසාදිතයන් ලෙස හමුවීමෙන් පෙනී යන්නේ අප රටේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පවතින දුර්වලතාවයයි. එනිසා මේ පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ඊට සම්බන්ධ පාර්ශ්ව මේ පිළිබඳව පුළුල් කථිකාවක් සමාජය තුළ ගොඩනැඟීමට කටයුතු කළ යුතුය. මෙහිලා සියලුම ආගමික නායකයන්ට සුවිසල් මෙහෙවරක් කළ හැකිය. එසේම පාසල් ගුරුවරුන්ට මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මේ සම්බන්ධයෙන් කළ හැකි කාර්යභාරය සුළුපටු නොවන බව අමතක නොකළ යුතුය.

මෙරටින් පළමු එච්.අයි.වී. ආසාදිතයා හමුවන්නේ 1987 වර්ෂයේ දී ය. ඒ අනුව මේ වනවිට එච්.අයි.වී. හෙවත් ඒඩ්ස් රෝගය වැළඳුණු රෝගීන් 4404ක් වාර්තා වී ඇත. ඉන් 1000ක් පමණ මරණයට පත් වී ඇති බව ද 2300ක ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බව ද වාර්තා වෙයි. කෙසේ වුවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දෙන්නේ එච්.අයි.වී. වැළඳුණු 1500 ක පමණ පිරිසක් එච්.අයි.වී. ආසාදිතයන් බව නොදැන සමාජය තුළ සිටින බවයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. මෙම පිරිස මගින් තවදුරටත් ඒඩ්ස් ව්‍යාප්ත වීමේ අවදානම වැඩිය.

පවතින තත්ත්වය හමුවේ අප රටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීම මෙන්ම එය සමාජ උවදුරක් දක්වා ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා වහා වහා පියවර ගත යුතුය. ඒඩ්ස් රෝගය ව්‍යාප්ත කරන ගණිකා මඩම් වැටලීමෙන් ඔබ්බට ගොස් එවැනි සමාජ පසුබිමක් ඇතිවීමට බලපා ඇති සමාජ සාධක ඉවත් කිරීම අත්‍යවශයෙන්ම කළ යුතුය. රටක දරිද්‍රතාවය වැඩිවෙන දිශාවට ගමන් කිරීමේ දී ඊට සාපේක්‍ෂව ගණිකා වෘත්තිය වැඩිවීමේ වැඩි ඉඩකඩක් තිබේ. එනිසා ගණිකා වෘත්තිය මැඬලීම සහ ඒඩ්ස් රෝග වාහකයන් සමාජය තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා කෙටිකාලීනව ඒ සඳහා හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුතුය. එහෙත් මේ සඳහා ගතයුතු දීර්ඝකාලීන විසඳුම වන්නේ අප රට දුප්පත්කමින් මුදා ගැනීම සඳහා පියවර ගැනීමයි. ඊට සාපේක්‍ෂව ලිංගික අධ්‍යාපනය සඳහා වන වපසරිය ද පුළුල් කළ යුතුය. මේ සඳහා බලධාරීන් පියවර නොගතහොත් අප රට විවිධ ව්‍යාධිවනින් පෙළෙන අන්ත අසරණ රටක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment