ඒ අය ගැන තීන්දුවක් ගන්න වෙයි!…සුළු පක්‍ෂවලට ආණ්ඩුවෙන් රතු එළියක් – විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ

181

ආණ්ඩුව ඇමරිකාව සමග යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇතිකර ගන්නා ලද ගිවිසුම හේතුවෙන් ආණ්ඩුව තුළ මත ගැටුම් මෙන්ම ඉන් පිටත වැඩ වර්ජන ඇති වී තිබේ. ආණ්ඩුව තුළ සටන් කරන්නේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමැතිවරුන්ය. වැඩ වර්ජනයන් අතර විදුලිබල මණ්ඩලයේ සේවකයන් ද සිටී.

2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වීමෙන් පසුව බලයට පත්වූ යහපාලන ආණ්ඩුවට එරෙහිව වාසු, විමල් සහ
ගම්මන්පිල සමග අත්වැල් බැඳගෙන කටයුතු කළ වත්මන් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගෙන් යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ඇති වී ඇති දේශපාලන පසුබිම පිළිබඳව විමසා සිටියෙමු. ඒ පිළිබඳව ගාමිණී ලොකුගේ ඇමැතිවරයා පළ කළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – යුගදනවි බලාගාරය සම්බන්ධව ඇමරිකාවේ සමාගමක් සමග අත්සන් කරන ලද ගිවිසුමට එරෙහිව දියත් කළ ඒකාබද්ධ වැඩ වර්ජනයට විදුලිබල මණ්ඩලයේ සේවකයනුත් එක් වී තිබුණා. එම වර්ජනය සාර්ථක බව ඔවුන් ප‍්‍රකාශ කරනවා. එම වර්ජනය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – ඔවුන් ප‍්‍රකාශ කළේ වර්ජනය කරනවා කියලා නොවෙයි. ඔවුන් ප‍්‍රකාශ කළා පැය 72 කට විදුලිය නැති කරනවා කියලා. අන්තිමේදී ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය තනි වූවා. මොකද විදුලිබල මණ්ඩලයේ ඉන්නේ යමක් කමක් දන්න උදවිය. අපි ඒ අයට පැහැදිලි කළා ඇත්ත තත්ත්වය කුමක්ද කියන එක පිළිබඳව.

ප‍්‍රශ්නය – යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව සමග ඇතිකර ගන්නා ලද ගිවිසුම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – අපි ඒ පිළිබඳව කරුණු කාරණා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පැහැදිලි කළා. මෙම ගිවිසුම මගින් විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ සමාගමක කොටස් ගැනීමක් පමණයි. අනෙක් අතට යුගදනවි බලාගාරයෙන් අපගේ විදුලි පද්ධතියට සපයන්නේ 1/10 කටත් අඩු සංඛ්‍යාවක් පමණයි. එම නිසා කාටවත් අපගේ විදුලි පද්ධතිය පාලනය කිරීමට බැහැ. ලක්විජය විදුලි බලාගාරය අපගේ විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක් සපයනවා. එම විදුලි බලාගාරයේ තවමත් චීන කාර්මිකයන් සේවය කරනවා. එම බලාගාරය වැසුවොත් අපට අඛණ්ඩව විදුලිය දෙන්න බැරුව යනවා. 90 දශකයේ පැවැති ආණ්ඩුව තීරණය කළා, තාප බලාගාර පුද්ගලික අංශයට දීලා විදුලිය මිලට ගැනීමට. ඒ අනුව ආරම්භ කළ එකක් තමයි ලක්දනවි විදුලි බලාගාරය. එම බලාගාරය සඳහා යොදා ගන්නා ඉන්ධනවලට වැයවෙන මුදල වැඩි නිසා, එම බලාගාරය එල්. එන්. ජී. වලට හරවන්න ඕන කියන එක වසර 2000 සිට සාකච්ඡා කළා. නමුත් එම කටයුත්ත සිද්ධ වූයේ නැහැ. මේ අවස්ථාවේදී ඒ සඳහා ටෙන්ඩර් දෙකක් කැඳවා තිබෙනවා. තෙල් සංස්ථාව එහි නළ පද්ධතිය සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එල්. එන්. ජී. සැපයීම සඳහා. ඒ අතරතුර ඇමරිකානු සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා. එම සමාගමේ කොටස්වලින් 40% ක් මිලදීගෙන ඉතා ලාභදායි ක‍්‍රමයට එල්. එන්. ජී. සැපයීම සඳහා. ඇමරිකානු සමාගම එල්. එන්. ජී. නිෂ්පාදනය කළත්, එම එල්. එන්. ජී. බෙදා හැරීම සිදු කරනු ලබන්නේ ආණ්ඩුව විසින් පිහිටුවනු ලබන සමාගමක් විසින්. එසේ නොමැතිව මෙතන විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය – ඇමරිකානු සමාගම විසින් එල්. එන්. ජී. නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම නිසා ඒකාධිකාරයක් බිහිවන බවට තමයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

පිළිතුර – යුගදනවි බලාගාරය අපගේ විදුලි පද්ධතියට සපයන්නේ 1/10 ක් පමණයි. ඉතින් කොහොමද ඔවුන් ඒකාධිකාරයක් ඇති කරන්නේ.

ප‍්‍රශ්නය – වෘත්තීය සමිති ඔවුන්ගේ සටන ඉදිරියටම ගෙනයන බව ප‍්‍රකාශ කර තිබෙනවා නේද?

පිළිතුර – ජනතා විමුක්ති පෙරමුණේ වුවමනාව මත තමයි ඔය වෘත්තීය සමිති නායකයන් කතා කරන්නේ. නමුත් විදුලිබල මණ්ඩලය කියන්නේ බුද්ධිමත් සේවක පිරිසක් සේවය කරන ස්ථානයක් තමයි. ඔය වැනි පුංචි බලාගාරයක කොටස් ගන්න කියලා විදුලිබල මණ්ඩලයට කිසි බලපෑමක් කරන්න බැහැ. මේ රටේ තිබෙන සියලූම තාප බලාගාර එක්වුවත් එවැනි බලපෑමක් කරන්න බැහැ. විදුලිබල මණ්ඩලය කියන්නේ සියයට සියයක්ම රජයට අයත් ආයතනයක්. එහි කොටස් කාටවත් විකුණා නැහැ. අනාගතයේදී කොටස් විකුණන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයට අයත් එකම සමාගම තමයි ලෙකෝ සමාගම එම සමාගමට විදුලි බල මණ්ඩලය නිෂ්පාදන කරන විදුලිය ලබාගෙන බෙදා හැරීම සිදුකරනවා.

ප‍්‍රශ්නය – ඇමරිකාව සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුමට විරෝධය දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවෙයි. 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් පසුව ඔබත් සමග කටයුතු කළ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුනුත් එම ගිවිසුමට විරෝධය දක්වා තිබෙනවා.

ඔබ ඔවුන් සමග ඒ පිළිබඳව කතා කළේ නැද්ද?

පිළිතුර – කතා කළා. ඔවුන් මහජන සභාව පැවැත්වූ දිනට කලින් දවසේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ අප අරලියගහ මන්දිරයට රැස් වෙලා මේ ගැන සාකච්ඡා කළා. එදා සවස 4.00 සිට රාති‍්‍ර 9.30 දක්වා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා.

කෙරවලපිටිය බලාගාරයට මුවාවෙලා සමහර අය වෙන අරමුණු ඇතිව සටන් කරන බවකුයි පේන්න තිබෙන්නේ. අපට ඒකට කරන්න දෙයක් නැහැ.

අගමැතිතුමා ප‍්‍රකාශ කළා සහෝදර දේශපාලන පක්ෂ කිහිලිකරුවලට, බොරුකකුල්වලට පාවිච්චි නොකළ බව. කිහිලිකරු, බොරුකකුල් ලෙස යොදා ගත්තා නම් අපිට ඒවා නැතිව යන්න බැහැ.

අපි එක අරමුණක් කරා සටන් කළ කණ්ඩායමක්. දැන් ඒ අරමුණට වෙනස්ව කටයුතු කරනවා නම් අපිට අනාගතයේදී තීන්දුවක් ගන්න සිද්ධ වේවි.

ප‍්‍රශ්නය – මෙම කරුණ පදනම් කරගෙන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් මොකද කරන්නේ.

පිළිතුර – ඉවත් වුණයි කියලා ආණ්ඩුවට ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඔවුන් ඉවත් වෙනවා නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. අපි එකට සටනක් කරලා ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු නැති ප‍්‍රශ්නයක් පදනම් කරගෙන ඔවුන් ඉවත් වුවහොත් අපි ඒ ගැන කනගාටු වෙනවා. නමුත් අපේ පක්ෂය විනයක් තිබෙන දේශපාලන පක්ෂයක් නිසා ඔය විදිහට දිගටම හැසිරෙන්න බැහැ.

ප‍්‍රශ්නය – යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය 99 වසරකට චීනයට ලබා දුන්නා. එම අවස්ථාවේදී ඔබගේ පක්ෂයේ නායකයන් තමන් බලයට පත් වූ පසු එම ආයතන යළි පවරා ගන්න බව කිව්වා නේද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම අපි බලයට පත්වීමෙන් පසුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් කරලා තිබෙනවා. අපේ ආරක්ෂක අංශ තමයි දැන් එම වරාය පාලනය කරන්නේ. වරායේ කි‍්‍රයාකාරකම් කරන්නේ චීන සමාගම. චිනයට දීල තිබෙන කොටස 40% ක් 50% ක් දක්වා අඩු කර ගන්න තමයි දැන් සාකච්ඡා කරන්නේ.

ප‍්‍රශ්නය – එසේ වුවත් හම්බන්තොට වරාය චීනයට දෙනකොට විරුද්ධ වෙලා දැන් යුගදනවි බලාගාරය ඇමරිකාවට ලබාදීම ගැන චෝදනා එල්ල වෙනවා නේද?

පිළිතුර – අර්ථයක් ඇතිව විරුද්ධ වෙනවා නම් අපට එක පිළිගන්න පුළුවන්. අර්ථයක් නැතිව විරුද්ධ වෙනවා නම් අපට එක පිළිගන්න බැහැනේ. අපි දැන් සිටින්නේ අපට පාලනය කර ගැනීමට නොහැකි ආර්ථික තත්ත්වයක. මේ අවස්ථාවේදී අපට ඩොලර් ඕනෑ කරනවා. අපේ කොටස් කවුරු හරි මේ අවස්ථවේදී සාධාරණ මිලකට ලබාගන්නවා නම් එය ලබාගැනීම සඳහා අප කොටස් ලබාදිය යුතුයි. ඒ වගේම අපි චීනය සහ ඉන්දියාව සමග කටයුතු කරන බවට හංවඩු ගැහිල තිබුණා. ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පෙළේ ආයෝජකයන් අපේ රටට ආවේ නැහැ. ඇමරිකානු සමාගමක් අපේ රටේ ආයෝජනය කරනවා කියන්නේ අපේ තත්ත්වය ඉහළ යෑමක්. එම නිසා ඉදිරියේදී එබඳු තවත් සමාගම් අපේ රටට ඒවී. එක තමයි අපට අවශ්‍ය කරන්නේ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවට විරෝධය දක්වන අයට කනට ගහල එලවන බව සමහර මන්තී‍්‍රවරුන් ප‍්‍රකාශ කරල තිබෙනවා. ඔබත් සමග මේ ආණ්ඩුව පිහිටුවීම සඳහා පුරෝගාමීව කටයුතු කළ පිරිසකට එලෙස කනට ගහන බව ප‍්‍රකාශ කිරීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – අපි එබඳු ප‍්‍රකාශ අනුමත කරන්නේ නැහැ. නමුත් අපේ පක්ෂයේ විනයක් තිබෙනවා. ඒ විනයට අනුව කටයුතු කළ යුතුයි.

ප‍්‍රශ්නය – ආණ්ඩුව ප‍්‍රකාශ කරනවා ඇමරිකාව සමග ඇතිකර ගන්නා ලද ගිවිසුමට අනුව ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ හැකියාව පවතින බව. මීට දශක කිහිපයකට පෙර වික්ටෝරියා, රන්දෙණිගල වැනි ජලාශ ඉදිකිරිමේදීත් ප‍්‍රකාශ කරල තිබෙනවා, එම ජලාශ ඉදිකිරීමෙන් උපදවන ජල විදුලිය ඉන්දියාවට පවා විකිණීමට හැකි වන බව. මේ වනවිට එම ප‍්‍රකාශ බොරු බවට පත්වී තිබෙනවා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීමෙන් පසු විදුලි බිල අඩු කිරීමත් ඒ වගේ වේවිද?

පිළිතුර – අපේ රට ඉතා වේගයෙන් දියුණු වූ නිසා අතිරික්ත විදුලියක් ඉතිරි වූයේ නැහැ. නමුත් බලාගාර ඉදිකළ සමයේ පැවැති තත්ත්වය අනුව අතිරික්තයක් ඉතිරි වේවි කියා පෙනී යන්න ඇති.එහෙත් දැනුත් අපි සාකච්ඡා කරන්නේ ඉදිරියේදී පුනර්ජනනීය ක‍්‍රම ඔස්සේ විදුලිය නිපදවූ පසු අතිරික්ත විදුලියක් නිෂ්පාදනය කළහොත් ඒවා ඉන්දියාවට හෝ සිංගප්පූරුවට දෙන්න පුළුවන් ද කියන එක පිළිබඳව. ඒ පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment