ඒ ආණ්ඩුව ෆේල් මොකද වුණේ මොනෝරේල්

225

සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නතර කිරීම නිසා රජයට බිලියන 10ක පාඩුවක්

ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඉක්මවා රුපියල් මිලියන 6,296ක් වැය කරලා

උපදේශන ගාස්තු ලෙස වැයකළ මුදල රුපියල් කෝටි 494කි..

සේවක පඩිනඩි සඳහා කෝටි 19ක් ගෙවලා

අගනගරයේ රථ වාහන තදබදයට විසඳුමක් ලෙස දුම්රිය සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් සැහැල්ලු, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කොට තිබුණි. බස්නාහිර, කලාපීය, මහනගර සැලැස්ම තුළද පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම මෙන්ම රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු මාර්ග ව්‍යාපෘතිය ඇතුළත් කොට තිබුණි. මෙරට සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස මාළබේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලැබීය. එකී ව්‍යාපෘතිය සඳහා 2019 වර්ෂයේ දී ජපන්, ජාත්‍යන්තර සහයෝගිතා, නියෝජිතායතනය සමග රජය විසින් ණය ගිවිසුමකට එළඹ තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සහනදායි කොන්දෙසි යටතේ ලබාදීමට ජපන්, ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟවී තිබුණි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් පැකේජ 07ක් යටතේ සිදුකිරීමට සැලසුම් කරනු ලැබීය. උපදේශන සේවා සැපයීම ඔරියන්ටල්, කන්සල්ටන්ට්ස් ග්ලෝබල්, කම්පැණි ලිමිටඩ් සමාගම ඇතුළු තවත් සමාගම් කිහිපයක් සමග එකාබද්ධව සිදුකරනු ලැබීය. කිලෝමීටර් 16ක දිගින් යුතු සැහැල්ලු දුම්රිය ගමන් මාර්ගයේ නැවතුම් මධ්‍යස්ථාන 16ක් සැලසුම්කර තිබුණි. මාලබේ සිට කොටුව දක්වා ගමන් මාර්ගයට ඉහළින් මෙකී සැහැල්ලු දුම්රිය ගමන් මාර්ගය ඉදිකිරීමට සැලසුම් සකස් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 246,641ක මුදලක් ඇස්තමේන්තු කොට තිබුණි. ඉන් ජපන් යෙන් මිලියන 200,415ක් ජයිකා ණය යටතේද, අනෙකුත් මාර්ගයන්ගෙන් ජපන් යෙන් මිලියන 46,226ක් ලබා ගැනීමට සැලසුම් කරනු ලැබීය. ජපන් යෙන් මිලියන 200,415 ණය මුදලින් ජපන් යෙන් මිලියන 30,040ක් පළමු පැකේජය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබුණි. ජපානය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ණය ලබාදී තිබුණේ සියයට 0.1ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේය. වෙනත් රටවල් මෙන් ගිනි පොලියට මෙරට ව්‍යාපෘති සඳහා ණය ලබාදී නොතිබුණි. මේ සඳහා ජපානය විසින් වසර 12ක සහන කාලයක් ඇතුළත්ව වසර 40ක ණය කාල සීමාවක් සඳහා ණය ලබාදී තිබුණි.

මේ නිසා මෙය ජාතික ආර්ථිකයට වාසිදායක ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබුණි. ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා ණය මුදල අඩු පොලී අනුපාතයක් සහිතව හා දිගුකාලීනව ගෙවිය යුතු ණය මුදලක් හේතුවෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයද මෙකී ණය මුදල ලබා
ගැනීමට නිර්දේශකොට තිබුණි. මෙකී ණය මුදල කොටස් දෙකකින් ගෙවීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබූ අතර වසර 12ක සහන කාලයක් පවතින බැවින් මෙතෙක් කිසිදු ණය වාරික මුදලක් ගෙවා නොතිබුණි. කිසිදු පොලී මුදලක්ද ගෙවා නොතිබූ අතර මාස 06කට වරක් අදාළ පොලී වටිනාකම ලබාගත් ණය මුදලට එකතුකර තිබුණි.

එමෙන්ම මෙකී ව්‍යාපෘතිය යටතේ මගීන් සඳහා නැවතුම් ස්ථාන 16කට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි හා රථ ගාල් ඉදිකිරීමේ පහසුකම් සඳහා යම් සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යව තිබුණි. එහෙත් ඒ සඳහා අවශ්‍යවන ඉඩකඩ ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ නිශ්චිතව සඳහන්ව නොතිබුණි. එකල පැවති මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබූ අතර ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 4381කි. ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය මුදල රුපියල් මිලියන 4,886කි. මෙම ව්‍යාපෘතියට 2019 මාර්තු 25 ආරම්භ කොට තිබූ අතර වර්ෂ 02ක් ඇතුළත ඒකපාර්ශ්වීය මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත තීන්දු කරනු ලැබීය.

ඒ සඳහා හේතු වශයෙන් දක්වා තිබුණේ රටේ පවතින ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතයයි. එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා ජපානය විසින් ණය ලබාදී තිබුණේ වසර 12ක සහන කාලයක් ද ණය ගිවිසුමට ඇතුළත් කරමිනි. මේ නිසා වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය පදනම් කරගෙන ව්‍යාපෘතිය එකපාර්ශ්වීය අවසන් කිරීම තාර්කික නොවන බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි. අනික් කාරණය වන්නේ සහනදායී පොලී අනුපාතයක් යටතේ වසර 40 ක කාලයක් තුළ ගෙවීමට තිබූ මෙම ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීය අවසන් කිරීම නිසා මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට තිබූ අවස්ථාව අහිමිවීමයි.

ඒ වනවිට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකොට තිබූ මුදල රුපියල් මිලියන 5977.64කි. ව්‍යාපෘතිය අතරමග නතර කිරීම නිසා ඒ වනවිට වැයකොට තිබූ මෙම මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව තිබුණි. ඒ විතරක් නොව මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඉක්මවා රුපියල් මිලියන 6,296ක මුදලක් වැයකොට තිබූ බව මේ සම්බන්ධයෙන් කරනු ලැබූ විගණනයකදී අනාවරණය විය. මෙකී ව්‍යාපෘතියේ උපදේශන ගාස්තු ලෙස රුපියල් හාරසිය අනූහතර කෝටි එක්ලක්ෂ හැත්තෑහතර දහස්, තුන්සිය විසිඑකක මුදලක් වැයකොට තිබුණි. (4,940,174,321) සේවක පඩිනඩි වශයෙන් වැයකොට ඇති මුදල් රුපියල් දහනම කෝටි හැටහත් ලක්ෂ තුන්දහස් දෙසීය අනූ එකකි. (196,703,291)

මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් ජයිකා JICA සහ OCGJV‍ යන ආයතනවලට වන්දි ගෙවීම සම්බන්ධව 2022, ජුනි මස 28 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීය නතර කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ ද සාකච්ඡාවට ලක්ව තිබුණි. ඇතැම් ව්‍යාපෘති කිසිදු තර්කානුකූල පදනමකින් තොරව අතරමග නවතා දැමීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී තිබුණි. සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අතරමග නවතා දමන විට රුපියල් බිලියන 5ක මුදලක් වියදම් කොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය අතරමග නතරකිරීම හේතුවෙන් අමතර රුපියල් බිලියන 05ක දඩමුදලත් සමග රුපියල් බිලියන 10ක පාඩුවක් වී ඇති බව කෝපා කමිටුව මගින් ද අනාවරණය කොට තිබුණි.

ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශ්වීය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (කොළඹ සිට මාලබේ) අවසන් කිරීම නිසා එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූ ජපන් උපදේශක සමාගමට සිදුවූ ලාභ අහිමිවීමේ වන්දි ඇතුළු ව්‍යාපෘතිය අවසන් කිරීමේ වියදම් ලෙස රුපියල් මිලියන 5169 ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 31) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණි. මින් රුපියල් බිලියන 4.4ක්ම ඉල්ලා ඇත්තේ ව්‍යාපෘතිය අවසන් කිරීම නිසා උපදේශන සමාගමට සිදුවන අලාභය සඳහාය. එමෙන්ම උපදේශන හිඟ හිට් ඉන්වොයිස් වටිනාකම ලෙස රුපියල් මිලියන 604ක් සහ ව්‍යපෘතිය අවසන් කිරීම ආශ්‍රිත වියදම් ලෙස රුපියල් මිලියන 167ක මුදලක් අදාළ උපදේශක සමාගම විසින් ඉල්ලා ඇත. ඔරියන්ටල්, කන්සල්ටන්ට්ස් ග්ලෝබල්, කම්පැණි ලිමිටඩ් නැමති සමාගම විසින් මෙකී මුදල ඉල්ලා ඇති අතර මෙකී ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 5,978ක වියදමක් දරා තිබුණි.

එමෙන්ම අදාළ සමාගම විසින් මෙකී ඉල්ලා ඇති මුදල හෝ එම ඉල්ලීම වෙනුවෙන් ගෙවනු ලබන මුදල හෝ ඉදිරියේදී ගෙවීමට සිදුවිය හැකි වන්දි ප්‍රමාද පොලී, හෝ වෙනත් ඕනෑම ගෙවීමක් ශ්‍රී ලංකා රජයට නියත ලෙසම සිදුවන අනාර්ථික වියදමක් බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. ශ්‍රී ලංකා රජය විසින් මෙකී ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීය අවසන් කිරීමත් සමග විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ණය ගිවිසුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා කිරීමට කරනු ලැබූ ඉල්ලීම ජයිකා ආයතනය විසින් ප්‍රතික්ෂේපකොට තිබුණි. එමෙන්ම ජයිකා ආයතනය විසින් බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යෑමට තීරණය කළහොත් ඒ වෙනුවෙන් අධික පිරිවැයක් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවීම වැළැක්විය නොහැකි බවද විගණනය මගින් නිර්දේශ කොට ඇත..

මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ගෙවුම් ගාස්තු ලෙස ජපන් යෙන් 60,080,000 මුදලක් ගෙවා තිබුණි. මෙකී මුදලින් සියයට 50ක මුදලක් නියමිත කාලසීමාව තුළදී විසර්ජනය කළ පසු ප්‍රතිපූර්ණය කිරීමට නියමිතව තිබුණි. කෙසේ වුවද ණය මුදල නිසි පරිදි විසර්ජනය නොකිරීම හේතුවෙන් එලෙස ගෙවනු ලැබූ පෙරගෙවුම් ගාස්තුව අනාර්ථික වියදමක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ව්‍යාපෘතිය අවසන් කළ බව රජය විසින් දන්වා තිබුණද ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි. එමෙන්ම මෙකී ව්‍යාපෘතිය නතර කිරීමෙන් පසු මෙම ණය මුදල රජයේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදාගන්නා බවට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ජයිකා ආයතනය වෙත දන්වා තිබුණි. එහෙත් එවැනි ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම හෝ ඒ සම්බන්ධයෙන් ජපානය සමග සාකච්ඡාකර නොතිබුණි.

මෙකී ව්‍යාපෘතියේ පැකේජ 01 සඳහා වෙන්කරනු ලැබූ රුපියල් මිලියන 43,037ක මුළු ණය ප්‍රමාණයෙන් රුපියල් මිලියන 5060.47ක මුදලක් ඉකුත් වර්ෂය (2021) අවසන් වනවිට ව්‍යාපෘතිය සඳහා ලබාගෙන තිබුණි. ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීය අවසන් කිරීම නිසා ණය ගිවිසුම අනුව එකඟව තිබූ සහනදායී කොන්දේසි ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුවද ලබාදෙනු ඇතැයි කිසිදු තහවුරුවක් නැත. සහන කොන්දෙසි හා සහන පොලී ඉවත් වුවහොත් ලබාගෙන ඇති ණය මුදල කඩිනමින් හෝ වැඩි පොලී ප්‍රතිශතයකින් පියවීමේ අවදානමක් ද පවතී. ඒ විතරක් නොව රජය විසින් විදේශීය විශේෂඥයන් මගින් ශක්‍යතා අධ්‍යයන කටයුතු ඇතුළු මූලික කාර්යන් සඳහා විශාල වියදමක් දරා තිබුණි. පාරිසරික, තාක්ෂණික, ආර්ථික හා මූල්‍යමය ලෙස ඵලදායී හා වාසිසහගත ව්‍යාපෘතියක් ලෙස මෙකී ව්‍යාපෘතිය හඳුනාගෙන තිබුණි. එහෙත් විධිමත්, තාර්කික හා පිළිගත හැකි විශ්ලේෂණයකින් තොරව රජය විසින් මෙකී ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීය අවසන් කිරීම නිසා ඉදිරියේ දී මෙවැනි ජාත්‍යන්තර් කටයුතුවලදී ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපා හැකි බව නිරීක්ෂණය වන බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙකී ව්‍යාපෘතිය ඵලදායී හා කාර්යක්ෂම ව්‍යාපෘතියක් බවට ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව හා එවකට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිරීක්ෂණ ඉදිරිපත් කොට තිබුණි. එහෙත් එවකට පැවති යහපාලන රජය වෙනස්වීමත් සමග මුදල් අමාත්‍යාංශයම පසුව මෙකී ව්‍යාපෘතිය අධික පිරිවැය සහිත ඵලදායී නොවන ව්‍යාපෘතියක් ලෙස සලකා අවසන් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශ සඳහා එකඟතාවය පළකොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීය ලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් ජපානය විසින් ශ්‍රී ලංකා රජයට කනගාටුව ප්‍රකාශකොට තිබුණි. මේ නිසා ජපානය වැන සංවර්ධිත රටකින් ලබාගැනීමට තිබූ මූල්‍ය හා තාක්ෂණික සහයෝගය අහිමි වී තිබුණි. ඒ විතරක් නොව ශ්‍රී ලංකාවට හිමිව තිබූ කීර්තිනාමයටත් හානියක් වී තිබුණි. දිගු කාලයක සිට ජපානය ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැඩි මිත්‍රශීලී සම්බන්ධතාවයක් පවත්වාගෙන යන රටකි. මෙරටට විශාල සංවර්ධන ආධාර ලබාදී ඇති රටකි. එහෙත් මෙකී ව්‍යාපෘතිය අවසන් කිරීමේ දී ඒ ගැන සැලකිල්ලක් දක්වා නොතිබුණි.

එමෙන්ම උපදේශක සමාගම විසින් ඉල්ලුම් කරනු ලැබූ හිමිකම් මුදල අඩුකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා කිරීම සඳහා 11 දෙනකුගෙන් යුතු කමිටුවක් පත්කොට තිබුණි. මෙකී නිලධාරීන්ට අමතරව බස්නාහිර ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කළ වෙනත් නිලධාරීන් පිරිසක්ද මේ සඳහා අනුයුක්ත කර තිබුණි. මෙකී අමතර නිලධාරීන් වෙනුවෙන් මාස 06 ක කාලයක් සඳහා වැටුප් හා දීමනා ගෙවීමට රුපියල් මිලියන 08ක මුදලක් වැයකොට තිබුණි. පත්කරනු ලැබූ කමිටුව විසින් වසරකට පමණ පසු අදාළ වාර්තාව ලබා දී තිබූ අතර මෙකී කමිටුවට තාක්ෂණික සහාය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 4.8ක මුදලක් වැයකොට තිබුණි. එහෙත් මෙකී කමිටුවට ලාභ අහිමි වීමේ වන්දිය සම්බන්ධයෙන් අදාළ උපදේශක සමාගම සමග එකඟතාවයකට එළැඹීමට නොහැකිවී තිබුණි.

එමෙන්ම ව්‍යාපෘතියේ කටයුතු සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය වෙත රුපියල් මිලියන 44ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබුණි. එහෙත් එම මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. පසුගිය යහපාලන කාලයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට තිබූ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව ව්‍යාපෘතිය නතර කිරීමට පියවර ගනු ලැබීය. අවසානයේ අශූචි චීන පොහොර නැවට මෙන් මේ සඳහා වන්දි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවටය. ඒ විතරක් නොව මෙම ව්‍යාපෘතිය නතර කිරීම නිසා ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවති හොඳ හිතද පළුදුවී තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment