ඒ කාලේ කරපු දඟ වැඩ

318

මඩ වළකට පැනල වුණ දෙයක්… – රොඞ්නි වර්ණකුල


 මුතුරාජවෙල කියන්නේ හරිම ලස්සන පළාතක්. අපි ඉස්කෝලේ යන කාලේ ඒ පරිසරය අදට වඩා සිය දහස් ගුණයකින් සුන්දරයි.

 මම පුංචිකාලේ ඉඳලම ඒ පරිසරයට ආශා කළා වගේම ආදරේ කළා. ඒ වගේම තමයි ඇළේ දොලේ නාන්න මම හරිම කැමතියි. කොටින්ම කිව්වොත් පුංචි වතුර පාරක් තිබුණොත් මට ඒකට බහිනතුරු සිහියක් නෑ. දවසක් ඉස්කෝලේ ඇරිල එන ගමන් වෙලක් අයිනේ තිබුණ පුංචි දිය පාරක් දැකල මට ඒකට බහින්නම හිතුණා. යාළුවෝ කිව්ව ඕකට බනින්න එපා මඩ තමයි නාන්න වෙන්නෙ කියලා. කියන දේ අහන්නෙ නැතුව මඩ නාල සුදු ඇඳුම්වල මඩ ගාගෙන ගෙදර ගිහින් අම්මගෙන් හොඳටම ගුටි කාලා ආයේ සැරයක් නෑවා.



 මුරණ්ඩුකමට පැය දෙකක් වහල උඩ – චන්දික නානායක්කාර



 මගේ මල්ලී මට වඩා අවුරුදු දෙකයි බාල. ගෙදර එකම කාමරේ තමයි අපි දෙන්නා හිටියෙත්. කොහොමහරි ඉතින් එක්කෙනෙකුට එක්කෙනෙකුගෙ සුළඟක් වදින්න බෑ අපි දෙන්න රණ්ඩු වෙනවා.

 දවසක් ? රණ්ඩුවක් දුරදිග ගිහින් හොඳටම ගහගත්ත. අපේ තාත්ත බොහොම අහිංසක කෙනෙක්. වෘත්තියෙන් විදුහල්පතිවරයෙක්. අපි දෙන්නගෙ ගුටිකෙළිය දැකල තාත්තට කේන්ති ගිහින් අපි දෙන්නටම ගැහුවා. එතෙන්දි මට තාත්ත එක්ක ආපු කේන්තියට ගෙදරින් එළියට දිව්වා. දුවල ගිහින් වහලට හේත්තු කරල තිබුණ ඉනිමග දිගේ උඩට නැඟලා වහළට වෙලා හිටියා. පැය දෙකක් විතර ගියා. අම්මයි තාත්තයි මාව හොයනවා. ඒ මදිවට අම්ම අඬනවා. මුරණ්ඩු කමට වහළට නැග්ගට මට දැන් ඉන්න අමාරුයි. මම දඟලන කොට කොළවල සද්දෙට තාත්තා ටෝච් එක ගහල බලල අනේ පුතේ ආයේ ගහන්නෙ නෑ දැන් බහින්න කිව්වා. තාත්තලත් බයවෙලා හිටියේ මාව වහළෙන් වැටේවි කියල. කොහොම හරි එදායින් පස්සේ තාත්ත අපිට ගැහුවෙත් නෑ. මායි මල්ලියි ගහගත්තෙත් නෑ.


 අච්චාරු නිසා දණගහන්න වෙලා – නිලන්ති ඩයස්


 මම ඉගෙන ගත්තේ බොරැුල්ලේ ඕල් සෙන්ස් බාලිකා විදුහලේ. ඒ කාලේ ඉස්කෝලේ ගාවට වෙරළු” අච්චාරු” ජම්බු වගේ දේවල් අරගෙන ආච්චිල කට්ටියක් එනව. මම ඉතින් අනිවාර්යයෙන්ම ඕව කන්න සල්ලි අරගෙන තමයි යන්නේ. මොකද ඒ කාලේ ඉඳලා මම හරිම ආසයි අච්චාරු කන්න.

 උදේට ඉස්කෝලේ පටන් ගත්තු වෙලාවේ ඉඳලා ඉන්ටර්වල් එකට බෙල් එක ගහනකම් මම බලාගෙන ඉන්නේ කඩචෝරු කන්න දුවන්න. දවසක් මට පන්තියේ වැඩක් කරන්නම හිතුණේ නෑ. ඉන්ටර්වල් එන්න කලින් අච්චාරු කන සිහියමයි තිබුණේ. මම පීරියඞ් එකක් ඉවර වෙලා ඊළඟ ටීචර් පන්තියට එන්න කලින් ක්ලාස් එකෙන් එළියට ගිහින් හොරෙන්ම අච්චාරු අරගන්න තාප්පේ ළඟට ගියා. ගිහින් ගන්නවත් එක්කම ටීචර් කෙනෙකුට අහුවෙලා පි‍්‍රන්සිපල්ට මාව භාරදුන්නා. අන්තිමට ගුටිකාලා හැමෝටම පේන්න මාව ඔෆිස් එක ඉස්සරහ දණ ගස්සලා තිබ්බා.



 කොල්ලො එක්ක ගේමක් – ගේ‍්‍රස් තෙන්නකෝන්



 මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනයි. අයියයි අක්කයි නංගියි මල්ලිල දෙන්නයි අතරින් මම තමයි වැඩියෙන්ම චණ්ඩි වැඩ කළේ. ගස් නඟිනව බයිසිකල් පදිනව ගෑනු ළමයෙක් විදියට සෙල්ලම් කළේම නෑ. හතර වටේට පිරිමි ළමයි එක්ක ටීක් බෝල ගහල හොඳින් හෝ නරකින් මම දිනල ඒ අයගේ වීදුරු බෝල අයිතිකර ගන්නවා. ඔය නිසා හැම තිස්සේම පිරිමි ළමයි එක්ක රණ්ඩු.

 දවසක් ඉස්කෝලේ ඇරිල ඇවිත් යුනිෆෝර්ම් එක මාරු කළා විතරයි පිරිමි ළමයි සෙට් එකක් ආවා රණ්ඩුවට. මොකද මගේ පළුදු වෙච්ච පරණ බෝල (කබ්බො) දාල මම එයාලගේ අලූත් වීදුරු බෝල (ටොයියො) වංචා කර ගන්නවා. ඉතින් ඔය රණ්ඩුව බේරන්න බැරුව මම එකතුකරගෙන හිටපු බෝල පෙට්ටියම අම්ම වත්ත පහළ පාළු ළිඳකට හලල මට හොඳටම ගැහුවා. අන්තිමට නොකා නොබී මුරණ්ඩුකමට අඬල අඬල යට ගවුම සපත්තු දෙක පිටින්ම මට ගෙදර පඩිපෙළ යට නින්ද ගිහින්. ? තාත්ත වැඩ ඇරිලා ඇවිත් තමයි මාව නැගිට්ටුවේ.


 ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment