ඒ පෑන සහ සිනහව

948

දශක හතකට වැඩි කලක් ජීවත්ව සිටි සුනිල් මාධව පේ‍්‍රමතිලක සිය ජීවිතයේ අවසන් කාලය ගතකළේ මහත් සතුටිනි. මේ ළඟදී ඔහුට සම්මානයක් ලැබිණ. ඒ, මේ රටේ පුවත්පත් කලාවට ඔහු කළ සේවය නිමිතිකොට ගෙනය. මේ සම්මාන ප‍්‍රදානයට ස්වල්ප කලකට පෙර ඔහු සමග දුරකථනයෙන් කතා කිරීමට අපට අවස්ථාව ලැබිණ. එහිදී මීට හතළිස් අවුරුද්දකට පෙර මේ පුවත්පත පටන් ගන්නා අවධියේදී කළ විහිළු ඒ බසින්ම ඒ සිනහවෙන්ම සහ ඒ හඬින්ම කිරීමට ඔහුට පුළුවන් විය. අපට මෙයින් හැඟීගියේ සුනිල් මාධව කයින් වියපත් වුවද ජීවිත පරිකල්පනයෙන් දිරාගොස් නැති බවය. සුනිල්ගේ විහිළු හැම එකකටම කිසියම් තේරුමක් තිබිණ. එක්කෝ ඒවා ශෘංගාරාත්මක විය. නොඑසේ නම් ඒවා තුළ කිසියම් සමාජ විවේචනයක් විය. හැබැයි මේ හැම විහිළුවක්ම ඔහු කළේ ස්වකීය චින්තනයට පර්යායව ය. සුනිල් මාධව ගේ ලේඛන කලාවේ කදිම සලකුණක් විය. ඒ වූකලී තමාට හැර සෙසු සියල්ලන් කෙරෙහිම ඔහු තුළ වූ අනුකම්පාවය. ඔහු සතු වූ භෞතික සලකුණ වූයේ නිරන්තර සිනහවය. මෙය signature සිනහවක් ලෙස හැඳින්වීමට අපි කැමැත්තෙමු. හතළිස් අවුරුද්දක් අප හා බැඳී සිටි අපේ සගයා නික්ම යෑම ගැන අප තුළ ශෝකයක් තිබේ. සුනිල් මාධව පුනර්භවයක් ගැන කිසිදු විශ්වාසයක් නොතැබූ අදේවවාදියකු වුවද මේ මොහොතේදී ගන්දබ්බ කාලයක් ගත කරමින් සිටින්නේ නම් ඔහුගේ මරණය සම්බන්ධයෙන් අප දුක් වන්නේ මොන ම`ගුලකටදැයි සිතමින් සිනහ වෙනවා ඇත.

මේ රටේ පුවත්පත් කලාවේ සරුසාර යුගයේ ප‍්‍රමුඛ නියෝජිතයකු වූ කවිකාර සහ සිංදුකාර මීමන පේ‍්‍රමතිලක ගේ පුත‍්‍රයකු වූ සුනිල් මාධව පේ‍්‍රමතිලක පාසල් ශිෂ්‍යයකුව සිටියදීම ඉතාම ළාබාල වියේදී පුවත්පත් කලාවේදියකු ලෙස ස්වකීය ලේඛක ජීවිතය ආරම්භ කළේය. මේ කියන කාලයේදී මාධ්‍යවේදියා යන යෙදුම හෝ මාධ්‍ය කලාව යන නම හෝ ජන මාධ්‍ය යන විෂය හෝ මානව සන්නිවේදනය නමැති වෙළෙඳ බ‍්‍රෑන්ඞ් එක හෝ තිබුණේ නැත. එකල මේ රටේ සිටියෝ පත්තරකාරයෝත් ගුවන් විදුලි නිවේදකයෝත් පමණි. මේ වනවිට මාක්ස්වාදය සහ එහි byproduct එකක් වූ සමාජවාදය දේශපාලන ලෝකයේ උපරිම තැනක සහ ශුද්ධ වූ තැනක පැවතින. සුනිල් මාධව පේ‍්‍රමතිලක මේ යුගයෙන් උපන් පත්තරකාරයෙකි. සුනිල් මාක්ස්වාදියකු වුවද පොතේගුරුවාදී (dogmatic) මාක්ස්වාදියෙක් නොවේ. ඔහු මානව හිතවාදය, ශ‍්‍රමය සූරාකෑම,

ශෘංගාරය, සෞන්දර්යය යන කාරණා සියල්ල කාල් මාක්ස් ගේ ප‍්‍රාග්ධනය නමැති සංකල්පය සමග මිශ‍්‍රකොට ලිවීය. ඔහු ඉරිදා දිවයිනට ලියූ සත්‍යවාදියකුගේ දිනපොත නමැති ලිපි එකතුවේ පෙරවදනේ මෙසේ සඳහන්ය. ”තවත් දිනෙක පැමිණි පිරිසක් මට මෙසේ චෝදනා කළහ. සහෝදරයා සෞන්දර්ය ගැන ලියනවා වැඩියිනේ. සහෝදරයා කතා කරන්නේ මිනිසුන්ගේ හදවතට. බුද්ධියට නොවෙයි. මිනිසුන්ට මාක්ස්වාදය ගැන අවබෝධයක් ලබා දෙන්න ඕන නේ.’’

‘‘මා පිළිගන්නා මාක්ස්වාදයට සෞන්දර්යය සාධාරණත්වය මනුෂ්‍යත්වය සහ පේ‍්‍රමය ඇතුළත් බවත් පුවත්පතකින් මාක්ස්වාදයේ පාඩම් ඉගැන්වීමට මා අකැමැති බවත් මම ඔවුන්ට කීවෙමි.”

සුනිල් මාධව පේ‍්‍රමතිලක ගේ චින්තනය ඉහත සඳහන් ෙඡ්දයෙන් හෙළිවේ. භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය, ව්‍යවසාය පදනම් කරගත් මාක්ස්වාදය ඉතාම නීරස විෂයකි. විශේෂ දේශපාලන උණක් ඇති කෙනකුට හැර වෙන කෙනකුට මාක්ස්වාදය දරාගෙන සිටීම ඉතා අපහසුය. එහෙත් මේ නීරස න්‍යායාත්මක දේශපාලන මතවාදය පලදරන විට එම රසවත් ඵලය සමස්ත මානවයාට ඉතා රසවත් ලෙස භුක්ති විඳිය හැකිය. ඒ නිසා සුනිල්, මාක්ස්වාදයට පේ‍්‍රමකරන අතරම එය මිනිසුන්ගේ හිතට ඇතුළුවන පරිදි විසිතුරු ලෙස ඉදිරිපත් කිරීමට කැමති විය. ඒ කැමැත්ත ඔහුගේ පාඨක ප‍්‍රජාව අතර ඉතා විශිෂ්ට ලෙස සාර්ථක වූ බව අපගේ විශ්වාසයයි. සුනිල් මාධව යොවුන් වියෙන් තරුණ වියට සම්ප‍්‍රාප්තව දේශපාලන ජීවියකු බවට පත්වන අවස්ථාවේදී සෝවියට් දේශය සිටියේ ලෝකයේ ප‍්‍රමුඛ දේශපාලන බලවතකු ලෙසය. එකල චීනයේ මාවෝ සේතුං සංස්කෘතික විප්ලවය ආරම්භ කර තිබිණ. ෆිදෙල් කස්ත්‍රෝ සහ චේ ගෙවාරා විසින් සමාජවාදී කියුබාව පිහිටුවනු ලැබ තිබිණ. ඉන්පසු චේ ගෙවාරා ජාත්‍යන්තර විප්ලවවාදියකු බවට පත්ව ලෝකය තවදුරටත් සමාජවාදී භූමියක් බවට පත්කිරීම සඳහා තුවක්කුවකුත් රැගෙන මගට බැස සිටියේය. 71 කැරැල්ල මෙකී දේශපාලන ආලෝලනයේ ප‍්‍රතිඵලයකි. එම ආලෝලනයෙන් වැඩියෙන්ම ප‍්‍රමුදිත වූ මේ රටේ හොඳම පුවත්පත් කලාවේදීන් වූවෝ ඇත්ත පත්තරේ කර්තෘ බී. ඒ. සිරිවර්ධන සහ එවකට ලේක් හවුස් ආයතනයේ සේවය කළ සුනිල් මාධවය.

සුනිල් මාධව සිය පත‍්‍රකලා ජීවිතයේ මස්තකප‍්‍රාප්තියට පත්වන්නේ දිනපතා දිවයින පුවත්පතේ අටවැනි පිටුව සංස්කරණය කිරීමෙනි. මේ රටේ වාමාංශික මතවාදී තරුණ තරුණියන්ගේ හෘද විදාරණය නිරූපණය කරන කවි සහ කෙටි රචනා එම පිටුවේ පළ විය. මෙකල ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල මර්දනය කිරීම සඳහා වූ රාජ්‍ය භීෂණය ආරම්භ වී තිබිණ. තත්ත්වය මොනතරම් බරපතළ වී තිබුණේ ද යත් මේ පුවත්පතට වැඩකරන්නට සිදුව තිබුණේද දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයෙන් සහ ප‍්‍රා සංවිධානයෙන් මාරුවෙන් මාරුවට එවූ තුන්ඩු මතය. පත්තරේ අච්චු නොගසන ලෙස දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය තුණ්ඩුවක් එවීය. එවිට පත්තරේ අච්චු ගසන ලෙස ප‍්‍රා සංවිධානය තව තුණ්ඩුවක් එවීය. මේ දෙකෙන් කොයි එක කළත් අනික් පැත්තෙන් මැරුම් කන්නට සිදුවේ. අපට වැඩිම තර්ජනය තිබුණේ ප‍්‍රා සංවිධානයෙනි. දිවයින දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට සුනිල් මාධව ගේ අටවෙනි පිටුව හරහා කත්අදින බව ප‍්‍රා සංවිධානයත් එවකට තිබූ ජේ. ආර්. පේ‍්‍රමදාස ආණ්ඩුවත් ගෙඩිය පිටින්ම කල්පනා කළහ. මෙහිදී දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය බැලන්ස් කරගැනීමට හැකිවුණේ සුනිල් මාධවගේ අටවෙනි පිටුව නිසාය. අපගේ කර්ම ශක්තිය විසින් ප‍්‍රා සංවිධානය බැලන්ස් කරදෙන ලදී. දිවයිනෙන් ඉවත්වූ පසුවද සුනිල් සිය ලියවිල්ල දිගටම කළේය. ඔහු අලූත් පත්තර කිහිපයක් පටන් ගැනීමට දායක විය. ඒවා ස්වකීය ජනතාවාදී අභිමතයෙන් ඉවත්ව ගිය විට සුනිල් ඒවායෙන්ද එළියට බැස්සේය.

සුනිල් අද සිය ජීවිතයෙන්ද එළියට බැස ගොසිනි. ඔහුගේ පෑනත් signature සිනහවත් අපට ඉතිරිය. අද මේ කතුවැකිය පළවන්නේ මේ පුවත්පතේ 08 වැනි පිටුවේය. මේ පිටුව ඔහුගේ පාරම්පරික නිජභූමියකි.

advertistmentadvertistment
advertistmentadvertistment