ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

328

“ඒ සමනලුන් මියගියේ මා නමින් නම්” ගගන ලක්සර වර්ණකුලසූරියගේ කුළුඳුල් මුද්‍රිත කාව්‍ය සංග්‍රහයයි. වත්මන් සිංහල කවියන් අතරේ නව යොවුන් පරපුර නියෝජනය කරන ගගනගේ කවියේ ඇති තත්කාලීන සමාජ සංවේදිතාව විමසීම මේ කෙටි සටහනේ අරමුණ වෙයි.

පොලොරිස් හෙවත් උතුරු තරුව නම් ධ්‍රැව තාරකාව දුර අතීතයේ සිට ම මිනිසා විසින් තමා නැවතී සිටින ස්ථානය පිළිබඳ අවබෝධ කරගන්නට උපයෝගී කර ගත් රාත්‍රී ආකාශ වස්තුවකි. ගගන පොලොරිස් තරුව සිය කවියට කැඳවන්නේ අන්ධකාරයේ අතරමං වී සිටින අප සමාජය මේ මොහොතේ සිටින තැන පිළිබඳව අවබෝධයක් ලබා දීමට මෙනි.

පෘථිවියේ ඇලය
අංශක විසිතුනාමාරකින් ලකුණු කළ
අක්ෂය මත හිඳගෙන සිටිමි මම
පොලොරිස්
ශතවර්ෂ ගණනක් ඉපැරණි බැල්මෙන්
බලා සිටියි – (පි.39)

මහත් වෙහෙසින් යුතුව පොලොරිස්, කැරකැවෙන පොළොව දෙස නෙත් යොමා හිඳියි. ඇල වූ පොළවේ අක්ෂය මත පොලොරිස්ට පහළින් සිටින කවියාට ද දර්ශනය වන්නේ පොලොරිස්ට දක්නට ලැබෙන දේ ම ය. එබැවින් ය කවියාට හැකි වන්නේ “ධ්‍රැව තාරකාවේ වෙහෙස” විඳින්න

තත්කාලීන සමාජ සංවේදිතාවේ අනු නාදයෙන් උපන් කවි කියවීමට කෙරෙන ආරාධනයක් ලෙස උක්ත කවිය දැක්වීමට හැකි ය.

වචනයක උච්චාරණ වෙනස ජීවිතයක ඉරණම විසඳූ තිරස්චීන අතීතයක් පසු කර අප ආ බව කෙසේ සඟවන්න ද?

කෝණේෂ්වරම වැනි පුද බිමක තොටිලි එල්ලා පතන කිරි සිහිනයක් අභියස දෙමළ සිංහල වෙනුවෙන් කඩ ඉම් අඳින්නෝ කවුරු ද?

කිරි සිහින අවැසි නම්
මේ පැත්තෙන් එන්න.
කෝණේෂ්වරම් දෙවොල පා වැඳ
තොටිලි එල්ලා
ඔය පාරෙන් එන්න
හිස නමා හඬ නඟා
“වාල්දිය” කියන්න (වාල්දිය පි. 22)

“මේක මං උපන් ගේ බොලව්” යන මැයෙන් හමුවන කවියේ ඇත්තේ රටක් ජාතියක් ලෙස සාමූහික පැවැත්මක් ගැන වැටහීමක් නැති මහ ජාතියේ මහ කතාය. කවිය පටන් ගන්නේ ම මහ ජාතියේ ටෝකක් (ඕකන) දෙමිනි.

“කූඹියනි
ලෑස්ති වෙයල්ලා විඳවන්ඩ
සුළු ජාතික වීමේ වරදට” (පි. 69)

සුළු ජාතීන් සමඟ සංනිවේදනය මහ ජාතික සමාජයේදී අඩාල වන්නේ, අනෙකාව තේරුම් ගැනීමට දක්වන අලස බවයි. එම කාරණය ම වෙනත් මානයකින් ගෙන එන කවියකි “අවුකන නැවතුම පහු වුණා විතර යි” නම් කවිය. භාෂා විපරිතය හේතුවෙන් අනෙකාගේ භාෂාව වටහා ගන්නට ඇති නො හැකියාව ම යෞවන ප්‍රේමයකට මේඝ ගර්ජනයක් වූ බවක් ලංකාවෙන් පිට වෙනත් සමාජ සංස්කෘතියකට අප කෙසේ පහදා දෙන්නද?

එකෙනෙහි ම
ඔබ යමක් අසයි
නුහුරු බසකින් යළිත්
යළි යළිත් ඔබ යමක් අසයි

මේඝ ගර්ජනය හඬක්
අප අතර හරි මැදින් දිවෙයි
දෙකඩ වූ මැදිරියක
කෙළවරක් මා සමඟ
පොළෝ කුහරය
තුළට ගිලෙයි (පි. 40)

එම කවිය ආරම්භයේදී කවියා යොදා ගන්නා නැවුම් කාව්‍යෝක්තීන් අපගේ සිත් බැඳ ගනී.

“උදය දේවී දුම්රියේ අසුනක
මඩකලපු හිනාවක්
කඩින් කඩ මා දිහා බලයි”

සමහර නිර්මාණ පවතින සමාජ දේශපාලන මඩ ගොහොරුවෙන් සියපත් ඉල්ලා සිටිනු වෙනුවට ඒ කෙරෙහි තම ප්‍රතිරෝධය කවියෙන් ඉදිරිපත් කරන බවක් දක්නට ලැබේ. ඒ ප්‍රතිරෝධයන් රසිකයාට ආරාධනා කරන්නේ තත්කාලීන සමාජ ගැටලු සඳහා බුද්ධිමය අවකාශයකට ආමන්ත්‍රණය කරන ලෙස ය.

දැඩි ණය පඹ ගාලක පැටලී සිටින රටක වසන දුගී ජනයා ඔවුනගේ ණය ගාලෙන් මිදෙන්නේ කෙසේද? ණය ගෙවා ගැනීමට නො හැකි වූ පවුලක් ම දිවි තොර කරගන්නට ගත් වෑයමක් අත්දැකීම කරගත් “මේ රට අයිති කාටද විමලේසවරී” (පි.37) කවිය හා

“ජොගින් ට්‍රැක් හුඟක් ලස්සන බව ඇත්ත” (පි. 63) යන කවිය ඒ දේශපාලන ප්‍රතිරෝධයේ මතක ශේෂයන් ය. එම කවියේ අත්දැකීම වන්නේ කින්නියා ප්‍රදේශයේ දී පාරුවක් පෙරළී පාසල් සිසුන් හයදෙනකු මරණයට පත් වීමයි.

කිවුල් පෑ සිනා
රැඳි කලපුව
පැත්ත නො බලනු
ඒ දිහා අමු කළුවර
තිත්ත වරා මල් නෙවෙයි
වැඩිහැඩ ඇති
ඉත්ත
ජොගින් ට්‍රැක් හුඟක් ලස්සන බව ඇත්ත (පි.63)

වත්මන් සමාජය කෙරෙහි දක්වන විරෝධය ඝෝෂාකාරී බවින් මිදී, කාව්‍ය සංචරතාවෙන් හික්මීමක් ලැබූ ප්‍රවීණ කවියක ලකුණු අපට පෙනෙන අවස්ථා මෙම කාව්‍ය සංග්‍රහය තුළ බහුලව දක්නට ලැබේ.

නිරෝෂ ප්‍රනාන්දු
හැමිල්ටන්, බර්මියුඩාව
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment