ඔක්කොමලා තනතුරු ගන්න ගියොත් ආයෙත් එන්නේ පරණ ආණ්ඩුවමයි! – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම

151

එන්න කියලත් මම ගියෙ නෑ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුර කීපයක වගකීම භාරගත් පාලිත තෙවරප්පෙරුම (එ.ජා.ප.) කලක් මෙරට තුළ පුවත් මවන්නකු බවට පත්විය. එ.ජා. පක්‍ෂ ප්‍රබලයන් සිය පක්‍ෂය හැර යද්දී තම ප්‍රතිපත්තිය වෙනස් නොකළ ඔහු ඉකුත් මහ මැතිවරණය පිණිස කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජයට පත්විය. පාලිත තෙවරප්පෙරුම යනු මාධ්‍යයට අමතකව ගිය චරිතයක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය.

තම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව නොබියව ප්‍රකාශ කළ පාලිත තෙවරප්පෙරුම තවමත් පසුවන්නේ එම ස්ථාවරයේය. රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධුරයට පත්ව ඇති දේශපාලන වටපිටාවක ඒ පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සමග සිදු කරන ලද සංවාදයක් පහත පළවේ.

● මේ වනවිට ගාලුමුවදොර ජනතා අරගලය නිමාවට පත්වී තිබෙනව. අරගලකාරී ඉතිහාසයක් සහිත පුද්ගලයකු ලෙස අරගලයට සහභාගි විය යුතුයි කියන අදහසක් ඔබ තුළ ඇති වුණේ නැද්ද?

● නැහැනේ. මම පසුගිය යහපාලන ආණ්ඩුව කාලෙ නියෝජ්‍ය ඇමැතිකම් තුනක් දරපු පුද්ගලයෙක්. ඊට අමතරව මම එදත් අදත් හෙටත් එ.ජා.ප. පාක්ෂිකයෙක්. ගෝල්ෆේස් එකේ මාස 04ක් තිස්සෙ තිබුණෙ නිර්පාක්‍ෂික අරගලයක්. එහෙම එකේ මම මොකටද එතනට ගිහින් මුක්කුවක් වෙන්නෙ. නමුත් මුලින් මුලින් අරගලයේ හොඳ දේට මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණ. තරුණ කොල්ලො කෙල්ලෝ ඒ හරහා යම් යම් ජයග්‍රහණ අත්කර ගත්ත. නමුත් පස්සෙ පහුවෙද්දී අරගලයක තිබිය යුතු ජීවමය ගුණය නැතිවෙන්න ගත්ත.

● ඔබ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවෙයි. නමුත් ඔබේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති යම් වගකීමක් භාර ගන්න කියල එතුමගෙන් ආරාධනාවක් ලැබුණෙ නැද්ද?

● මම කවදාවත් තනතුරු ඉල්ලගෙන ගිය මිනිහෙක් නොවෙයි. ඒක නායකතුමා දන්නව. මගේ හිතමිතුරන්ට අර සභාපතිකම දෙන්න. මේක දෙන්න කියල ඉල්ලුවෙත් නෑ. මට ඉන්නෙ එක පුතයි. ඒකටවත් මම පාර්ලිමේන්තුවෙ ඉන්න කාලෙ රස්සාවක් අරන් දුන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තය ජනාධිපති වුණාට පස්සෙ වජිර අබේවර්ධන මහත්තය මට කතා කරල කිව්ව ‘පාලිත… නායකතුමා කිව්ව ඇවිත් එතුමව මුණගැහෙන්න කියල.’ නමුත් මම ගියේ නැහැ. මට එහෙම යන්න හිතෙන්නෙත් නෑ. මොකද එතුම භාර ගත්තෙ බිමටම කඩාවැටුන රටක්. ඒ විතරක් නොවෙයි රට භාර ගන්න ඔය නායකයො කියල කියන කිසිකෙනකුට කොන්ද පන තිබුණෙ නෑ.

එහෙම තත්ත්වයක තමයි අපේ නායකතුමා මේ රට භාර ගන්නෙ. ඕනෑම අභියෝගයක් භාර ගැනීමේ ශක්තිය එතුම ළඟ තිබෙනව. ඒ වගේම දරාගැනීමේ ශක්තිය අතින් අංක එකේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය. නමුත් එතුමට මෙතෙක් කලක් වැඩක් කරල පෙන්වන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. අන්න ඒ අවස්ථාව තමයි දැන් උදාවෙලා තියෙන්නෙ. එහෙම වෙලාවක පුළුවන් තරම් එතුමට ශක්තියක් වෙනව මිසක් තනතුරු ඉල්ලගෙන පස්සෙන් යන එක නොවෙයි කරන්න ඕන. රට ගැන හිතන මිනිස්සු ඉන්නවනම් අරක දෙන්න මේක දෙන්න කිය කිය අඬා වැටෙන්නෙ නැතිව මේ වෙලාවෙ රට හදන්න එතුමට සහයෝගය දිය යුතුයි. මට එන්න කියලත් මම ගියේ නෑ. මම එහෙම කරද්දි තවත් පිරිසක් දැනටමත් එතුමගෙ පස්සෙන් යනව. සංස්ථා සභාපතිකම් ආණ්ඩුකාර තනතුරු අරන් වැජඹෙන්න බලා ඉන්න අය තමයි ගිය ආණ්ඩුව නැති කරන තැනට වැඩ සිද්ධ කළේ. දැන් ඒ අයම නැවතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගාව තනතුරු හිඟාකනව. ඒ වගේ පනහක් හැටක් නැවත පත්වුණොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙයි මොකා ආවත් මේ රට හදන්න බැරි වෙනව. ඇත්තටම මේ වෙලාවෙ ජනාධිපතිතුමාට හිතවත්කමක් තියෙනවනම් රට හදන එක එතුමට කරන්න දීල අපි පැත්තකට වෙලා ඒකට සහයෝගය දෙන්න ඕන.

● මේ වනවිට මෙරට සම්බන්ධව ජාත්‍යන්තර අතපෙවීම් වැඩිවීමක් දකින්නට ලැබෙනව. ඒ තත්ත්වයන් කළමනාකරණය කරගන්න ජනාධිපතිවරයා සමත් වෙයිද?

● කාලයක් මංගල සමරවීර කිව්ව රනිල්ට බෑ කියල. ඒ මතය මුළු රට පුරාම ගියා. ඊළඟට තවත් පිරිසක් රනිල්ට ප්‍රභාකරන්ගෙ මුහුණ දාල ෆොටෝ ගැහුව. ඒ හරහා කොටි හිතවාදියෙක් කියල හංවඩු ගහන්න ගත්ත. ඊයෙ පෙරේද එතුමගෙ නිවස ගිනි තිබ්බ. සත පහකට ගණන් ගත්තෙ නෑ. අරගලයක් ඇතිවෙල ජනාධිපතිව, අගමැතිව පන්නනකොට ගෙවල් දොරවල් ගිනි තියන කොට එහෙම රටක් තමයි නායකතුමා භාර ගත්තෙ. හරි නම් ඒ වෙලාවෙ මේ වගකීම ගන්න ඕන විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස. නමුත් ඔහුට දැක්මක් ආත්ම විශ්වාසයක් තිබුණෙ නෑ. තනි පුද්ගලයෙක් වශයෙන් පාර්ලිමේන්තුවෙ හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තය බය නැතුව ඒ අභියෝගය භාර ගත්ත. අද මොකද වෙලා තියෙන්නෙ. රනිල් මහත්තයව පට්ට ගහපු අයත් ඔය දැන් එතුම ළඟට ඇවිත් ඉන්නෙ. ඒ විතරක් නොවෙයි විදේශ රාජ්‍ය නායකයන් රැසක් එතුමට සහයෝගය දෙන්න දැනටමත් කැමැත්ත පළ කරල තියෙනව. ඒ හින්ද ජාත්‍යන්තරය දිනා ගන්න එක එතුමට ලොකු දෙයක් නෙවෙයි. රනිල් කියන්නෙ කොහොමත් ජාත්‍යන්තරවාදියෙක්.

● රට වෙනුවෙන් යමක් කළා කියන හැඟීම ඔබ තුළ පවතිනව.

● අපි කරපු වැඩ වලින් වැඩක් නැහැනෙ. හොර, බොරු, වංචාව පැත්තකින් තියල හරි දේ මම කළා. නමුත් ඊට පස්සෙ ඒ තැන්වලට ආව අය අර මම නවත්තපු හොරකම වංචාව එදාටත් වැඩිය හොඳින් කරනව. මේ හොරකම කරන්නෙ රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහයත් සහිතවයි. ඒ හින්ද මම කරපු දේවල් පිළිබඳ මට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ කියන්නෙ මම විතරක් නොවෙයි මහජන නියෝජිතයන් ලෙස කිසි කෙනෙක් කිසි දෙයක් හරියට කරල නෑ. මෙතෙක් කල් හිටියෙ බහුතරයක් හොරු. රනිල් වික්‍රමසිංහ මහත්තය බලයේ ඉන්නෙ මාසෙ ද අවුරුද්ද ද අවුරුදු දෙක ද ඒ කාලය ඇතුළත කරන දේ හරියට කරල පෙන්වන්න ඕන. එතකොට ඊට පස්සෙ එන නායකයන්ට බොරුවෙන් රට රවටන්න බැරි වෙනව. රටේ නීතියක් තියෙනව. ඒ අනුව රට කරන්න වත්මන් ජනාධිපතිතුමා තීරණයක් ගත්තොත් මේ රට මීට වඩා හොඳ තැනකට ගෙනියන්න එතුමට පුළුවන් වෙනව.

● ඔබ කියන්නෙ රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියලද?

● ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දෙනා අතරෙ කොමිස්කාරයෝ හොරු, මහජන මුදල් නිකරුනේ නාස්ති කරන කී දෙනෙක් ඉන්නවද කෝ ඒ අයට විරුද්ධව කවුද නීතිය ක්‍රියාත්මක කළේ. ඒ වගේම තමයි මේ රටේ රාජ්‍ය නිලධාරීන් කොච්චර ඉන්නවද අල්ලසට වරදාන වරප්‍රසාදවලට තමන්ගේ වෘත්තිය ගරුත්වය පාවා දුන්න. විශේෂයෙන්ම පොලිසිය ගත්තොත් 95% ක් ඉන්නෙ දූෂිත නිලධාරීන්. අද මුළු රටම මත්ද්‍රව්‍ය සුනාමියකට යටවෙලා ඉවරයි. ඒව මහා පරිමාණයෙන් සිදුවෙද්දී පොලිසිය ඇස්කන් පියාගෙන ඉන්නව. වත්මන් ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනව. ඒ තමයි අපේ රටේ අනාගත දරු පරපුර බේරගන්න පෙරමුණ ගන්න කියල. පොලිසිය භාර ඇමැතිවරයගෙන් වාර්තාවක් ඉල්ලගෙන බැලුවනම් ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ජනාධිපතිතුමා ඔය ධුරයෙ ඉන්නෙ කොච්චර කලක් ද ඒ අතරතුර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරනව වගේම මේ මත්ද්‍රව්‍ය වසංගතයත් නැති කළොත් ඒක තමයි මේ රටේ මිනිස්සු එතුමගෙන් බලාපොරොත්තුවන ලොකුම මෙහෙවර බවට පත් වෙන්නෙ.

● ඔබේ දේශපාලන ගමන ප්‍රතිපත්තිමය කරුණු මත පදනම් වුවක්ද?

● 2002 වර්ෂයේ එ.ජා. පක්‍ෂයෙන් තරග කරල මම මතුගම ප්‍රාදේශීය සභාවෙ සභාපතිවරයා බවට පත්වෙනව. එතනින් තමයි මගේ දේශපාලන ගමන ආරම්භ වෙන්නෙ. එතැන් සිට 2022 දක්වා වසර 20ක් ප්‍රාදේශීය සභාපතිවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරල තිබෙනව. ඔය කාලවකවානුව තුළ එ.ජා.ප. ය දේශපාලන සුනාමි කීපයකටම හසු වෙනව. අන්තිමට එහිම ප්‍රතිඵලයක් ලෙස අවසානයේ අපේ පක්‍ෂය එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පමණක් සීමා වෙනව. පක්‍ෂය නියෝජනය කළ මහජන නියෝජිතයන් එ.ජා.ප. හැර යනව. විවිධ සංධාන ගොඩනගනව. නමුත් මා ඇතුළු කීපදෙනෙක් රනිල් වික්‍රමසිංහ නිවැරැදියි කියන මතය දරමින් එතුමත් එක්ක ඉන්නව. පක්‍ෂය වෙනුවෙන් පෙනී ඉන්නව. ගෙම්බො වගේ එහෙට මෙහෙට පනින දේශපාලනයක් තුළ වසර 20ක් එකම මතයක මම ඉන්නව. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment