ඔක්තෝබරයේ දෙවරක් මැරුණු සිරිමාවෝ

881

තමන්ගේ මරණය සිදුවූ මාසයේදීම ප‍්‍රජා අයිතිය අහිමිවී පාර්ලිමේන්තුවෙන් නෙරපනු ලැබීමේ දෛවෝපගත ඉරණමකට මුහුණ දුන්නේ අපේ රටින් බිහිවූ ලොව ප‍්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එතුමියගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීමට එදා පත් කෙරුණු විශේෂ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළ පසු ඇය මැතිසබයෙන් මන්ත‍්‍රී ධුරයද අහිමි වී ගෙදර ගියේ 1980 ඔක්තෝබර් 16 වැනිදා එනම් ඊයේ වැනි දිනයකදීය.

1977 බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ගත් පියවරක් වූයේ 70-78 කාලයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව විමසා බැලූ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ස්ථාපිත කිරීමය. එදා කොමිසම මගින් ගත් තීරණයට එරෙහිව බණ්ඩාරනායක මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද පිහිට පැතුවාය. ඒ අනුව එම කොමිසමේ සාමාජිකයන්ව සිටි ජේ. ජී. ටී. වීරරත්න (සභාපති) සාමාජිකයන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ ඇස්. ෂර්වානන්ද සහ අභියාචනාධිකරණ විනිසුරු කේ. සී. ඊ. ද අල්විස් යන මහත්වරු වග උත්තකරුවන් ලෙස නම් කර තිබිණි. ඒ අනුව ජනාධිපති කොමිසමේ සාමාජික විනිසුරුවරු තිදෙනාට 1980 ඔක්තෝබර් 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසිද නිකුත් කළ නමුත් ඇයට යුක්තිය ඉටුවූයේ නැත.

ඔක්තෝබරයේ දෙවරක් මැරුණු සිරිමාවෝ

ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශය අනුව බණ්ඩාරනායක මැතිනියව පාර්ලිමේන්තුවෙන් නෙරපනු ලැබීමට අදාළ යෝජනාවන් ඇගේ ප‍්‍රජා අයිතිවාසිකම් හත් අවුරුද්දකට අහෝසි කිරීමත් ඇගේ 70 – 77 රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුව සිටි පිලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රජා අයිතිවාසිකම් හත් අවුරුද්දකට අහිමි කිරීමත් යන යෝජනා 1980 ඔක්තෝබර් 17 වෙනි සිකුරාදා රාත‍්‍රී 11.25 ට පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

යෝජනා දෙකට ඡන්දය විමසීම වෙන වෙනම සිදුවිය. පිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට අදාළ යෝජනාවට ඡන්දය විමසීමේදී පක්‍ෂව ඡන්ද 139 ක්ද විපක්‍ෂව ඡන්ද 19 ක්ද ලැබී වැඩි ඡන්ද 120 කින් සම්මත විය. බණ්ඩාරනායක මැතිනියට අදාළ යෝජනාවට පක්‍ෂව ඡන්ද 139 ක්ද විපක්‍ෂව ඡන්ද 18 ක්ද ලැබී වැඩි ඡන්ද 121 කින් සම්මත විය.

බණ්ඩාරනායක මැතිනිය අදාළ යෝජනාවන් ඉදිරිපත් වෙද්දී ඡන්දය දීමෙන් වැළකීසිටියාය. යෝජනාවට ඡන්දය විමසීමට පෙර රාත‍්‍රි 8.15ට ස්වකීය කතාව ඇරඹූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රාත‍්‍රි 9.15 දක්වාම කරගෙන ගියාය. ප‍්‍රතිසංස්කරණ පනත පාර්ලිමේන්තුවට තම රජය විසින් ගෙන ආවේ තමා සතු ඉඩම් විශාල ප‍්‍රමාණයක් අහිමි වන බවද දැන දැනම බවත් ඒ තුළින් තමා සතුව තිබූ අක්කර 3000 ක ඉඩම් ප‍්‍රමාණයක් අහිමිවීම ගැන කිසිදා දුකක් තමාට නොවී රට වෙනුවෙන් ගත් තීරණයන්ට අනුකූලව තමා කටයුතු කළ බවද වරෙක අවධාරණය කරමින් ඇය තම සමුගැනීමේ කතාවේදී මෙලෙසද සඳහන් කළාය.

බලලෝභී අතළොස්සක් විසින් අද දින සිදුකිරීමට යනුයේ මෙරට හෝ අන් රටක හෝ මෑත කාලයේ හෝ ඈත අතීතයේ හෝ නොවූ විරූ දේශපාලන ඝාතනයකි. මහජන මතය කොයි කවදත් නිසි තැන නිසි ආකාරයෙන් ඉදිරිපත් කර ඇති මා, අප රටේ අහිංසක යුක්ති ගරුක ගිහි පැවිදි ජනතාව වෙනුවෙන් එක අනාවැකියක් දක්වමි. එනම් මේ දෙපැත්ත කැපෙන කඩුවේ එක පැත්තකින් අද මා කැපුණි නම්, අනෙක් පැත්තෙන් හෙට නොවේ නම් නොබෝ කලකින්වත් මෙම ඝාතනයට වගකිව යුත්තන් කැපී යන වගයි.

‘‘මෙම අය අද මෙම ගරු සභාවටත්, අප ජාතියටත්, අප රටටත් දක්වා පෙන්වන්නේ ඔවුන්ම පසුව විඳිය හැකි විපාකයක පූර්වාදර්ශයක්ය.’’

‘‘බණ්ඩාරනායක අගමැතිතුමා මෙලොවින් තුරන් කිරීමෙන් මෙරට අහිංසක පොදු ජනතාව මෙල්ල කිරීමට නොහැකි විය. අද මා දේශපාලනයෙන් පිටුවහල් කිරීමට තැත් කළද එයින් වුවද අප ජනතාව මෙල්ල කළ නොහැකිය. මෙල්ල කිරීමට මා ඉඩ නොතබන බවද පාලකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට ඔබතුමා මගින් මම නිවේදනය කරමි.’’

ඔක්තෝබරයේ දෙවරක් මැරුණු සිරිමාවෝ

මගේ පවුලේ අභිවෘද්ධිය සැලසීමට වඩා, මෙරට ජනතාවට යම් තරමින්වත් මට කළ හැකි දේ කළ යුතු යැයි සිතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාර ගත්තායිද අත්තනගල්ල මන්ත‍්‍රිනී කීවාය. 1960 ජුලි මාසයේ මහා මැතිවරණයෙන් අප පක්‍ෂයට දුන් ඡන්ද වරම මත අගමැති වීමේ භාග්‍ය හා වගකීම මට හිමිවුණා. 1962 දී රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයක් අටවා සාහසික ලෙසින් මා නායකත්වය දැරූ ආණ්ඩුව පෙරළා දැමීමටත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා මා විනාශ කර දැමීමටත් බලවත් ප‍්‍රයත්නයක් දැරූ බව මා නොකීවාට කවුරුත් දන්නා දෙයකි. එම රාජද්‍රෝහී කුමන්ත‍්‍රණයට සම්බන්ධවූ කීප දෙනෙක් අප ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් වරදකරුවන් බවට ඔප්පු වුණා. පසුව රාජාධිකරණයේදී නීති ප‍්‍රශ්නයක් මත ඔවුන් නිදහස් වුණා. කුමන්ත‍්‍රණය ‘‘නීති ප‍්‍රශ්නය මත චූදිතයන් නිදහස් වූද රජය පෙරළා දැමීමට ඇත්ත වශයෙන්ම ඔවුන් කුමන්ත‍්‍රණයක් ගෙන ගිය බව ඔප්පු වී තිබුණි.’’

අද මගේ ප‍්‍රජා අයිතිවාසිකම් නැති කළ යුතුද නැද්ද යන්න මේ ගරු සභාව තීරණය කිරීමට පෙර මම එදා මෙරට මුළු මහත් ජනතාවගේ ප‍්‍රජා අයිතිවාසිකම් ආරක්‍ෂා කළ හැටි අමතක නොවේ යැයි බලාපොරොත්තු වෙමි. 1970 දී පාර්ලිමේන්තුවේ ආසන තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් ලැබුණු ආණ්ඩුවක අගමැතිකම මට පැවරුණා. මෙවැනි ජන වරමින් අප ආණ්ඩුවට ලැබුණත්, අවුරුද්දක් ගත වන්නට පෙර සිදුවූයේ කුමක්ද? 1971 අපේ‍්‍රල් මාසයේදී මේ රටේ ඉතිහාසයේ පළමුවරට මහජන ඡන්දයෙන් පත්වූ රජයකට විරුද්ධව රාජද්‍රෝහී කැරැල්ලක් ඇතිවුණා. මා ගරු සභාවට කියා සිටින්නේ මගේ ප‍්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට අද ඉදිරිපත් කර තිබෙන යෝජනාවද කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් මිස වෙන කිසිවක් නොවන බවයි. මෙය එසේ නොවේද කියා හෘදසාක්‍ෂියෙන් විමසා බලන ලෙස ආණ්ඩුවේ ගරු ඇමැතිවරුන්ගෙනුත් ආණ්ඩුවේ ගරු මන්ත‍්‍රීවරුන්ගෙනුත් මා ඉල්ලා සිටිනවා. මගෙන් ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතිය යටතේ ජනයාට අක්කර 3,000 කට අධික ප‍්‍රමාණයක් අහිමි වන බව දැන දැනම ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත ඉදිරිපත් කරන්නට යෝජනා කළේ මායි. මේ පනත මා යෝජනා කළේ නැත්නම් අදත් මා අක්කර 3000 කට අධික ඉඩම් ප‍්‍රමාණයක හිමිකාරිය නේද? එසේ කළ මට යුතුකම් ඉෂ්ට කිරීමක් වශයෙන් මට ලැබුණු උපදෙස් අනුව අක්කර 32 ක් අන් සතු කළා කියා ජනාධිපති කොමිසමේ හෝ වේවා මේ සභා ගර්භයේ වේවා රටේ හෝ වේවා ඉමක් කොනක් නැතිව පහර

ගැසීම් සාධාරණද? මට එල්ල කර තිබෙන තවත් චෝදනාවක් නම්, 1971 අපේ‍්‍රල් කැරැල්ලෙන් පසු හදිසි තත්ත්වය අනිසි ලෙස දීර්ඝ කිරීමට නිර්දේශ කළා කියයි. මේ ගැන මුලින්ම මා කිව යුත්තේ හදිසි නීතිය පවත්වාගෙන ගියේ ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ ප‍්‍රධානීන් ඇතුළත් වන ආරක්‍ෂක මණ්ඩලයක උපදෙස් අනුව බවයි. තවත් කිවයුත්තක් තිබේ. ජනාධිපති කොමිසමේ මාර්ගයෙන් මට කළ චෝදනා සියල්ල පසුගිය මහ මැතිවරණ කාලයේ ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා හා සෙසු එක්සත් ජාතික පාක්‍ෂකයන් විසින් දේශපාලන වේදිකාවලදී තරයේ එල්ල කළ ඒවාය. අද මේ සභාවෙන් මා ඉවත් කරනු ලැබුවත් මේ රටේ දේශපාලන භූමියෙන් හා පොදු ජනතා අරගලයෙන් මා ඉවත් කිරීමට මගේ හුස්ම තිබෙනතුරු කිසිවකුට ඉඩ ලැබෙන්නේ නැති බව මා මෙහිදී ප‍්‍රකාශ කරන්නේ පොදු ජනතාව කෙරෙහි මා තබා ඇති අචල විශ්වාසය හා දැඩි භක්තිය නිසායි. බණ්ඩාරනායක මැතිනිය මැතිසබයෙන් නෙරපීමේ යෝජනාවේදී එවක විපක්‍ෂ නායකව සිටි ඒ. අමිර්තලිංගම් මහතා කළ කතාවේදී ඓතිහාසික වශයෙන් වැදගත් ප‍්‍රකාශයක්ද කළ බව අපට මතකය. ඔහු විපක්‍ෂ නායකයා ලෙස කළ දීර්ඝ කතාවේදී මෙවැනි ප‍්‍රකාශයක්ද කළේය.

අතීතයට බලපාන අන්දමින් නීති සම්පාදනය කර දඬුවම් කිරීම වැරදියි. කොමිෂන් සභාවක් කළ යුත්තේ කරුණු සොයා බැලීමක් පමණි. පරීක්‍ෂණයකදී වැරදි කර ඇති බව හෙළිවුවහොත් අදාළ අයට චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර නිදහසට කරුණු කියන්නට අවස්ථාව දිය යුතුයි. ඉන්දියාවේ ෂා කොමිසම එලෙස කළා. වරදක් නොවූ වරදක් සම්බන්ධයෙන් වරද සිදුවන බව කියන වකවානුවේ වරදක් ලෙස නොගැනුණු) කරුණක් ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සභාවෙන් නෙරපා නැහැ. වසර දොළහක් ඇය අගමැතිනිය ලෙස කටයුතු කළා. ඇගේ පාලන කාලය තමා ඇතුළු අය විවිධ පීඩාවන්ට මුහුණ දුන්නා. කන්කසන්තුරේ ඡන්දය කල් දැම්මා. ඒවා වෙනම කාරණා. නමුත් ඇගේ සිවිල් අයිතීන් අහිමි කිරීමට යෑමේ පුවත ඇසූ බොහේ තම මිතුරන් කම්පනයට පත්වුණා. රටේ සාමයක් ඇති කළ හැක්කේ අත්තනගල්ල මන්ත‍්‍රීවරිය ගැන එවැනි කි‍්‍රයාමාර්ගයක් නොගැනීමෙන් යැයිද අමිර්තලිංගම් මහතා කීවේය.

පිලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක විෂයෙහි ඉදිරිපත් වූ චෝදනා අතරින් 4කට ඔහු වරදකරුවී තිබෙනවා. බලය අනිසි ලෙස ලෙස හා අයථා ලෙස පාවිච්චි කිරීම විරුද්ධවාදීන් හිරිහැර කරමින් පිලික්ස් ඩයස් ඇමැතිවරයා හා එවක අගමැතිවරිය ක‍්‍රියා කළ අන්දම කොමිසම මැනවින් විග‍්‍රහ කර තිබෙනවා. එම කොමිසම පත් කරන බවට 1977 මහ මැතිවරණයේදී අප පොරොන්දු වුණා. එය අපේ මැතිවරණ ප‍්‍රකාශයට ඇතුළත් වුණා. පිලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයා ඔහුගේ බිරියගේ නමින් පවත්වාගෙන ගිය ගොවිපල තුළින් අවුරුදු පහක කාලය තුළ වෙළෙඳ දෙපාර්තමේන්තුවට සපයන ලද බිත්තරවල වටිනාකම රු. 30,27,597.54ක් බවට කොමිසම ඉදිරියේදි වූ හෙළිදරව්ව හා තවත් චෝදනා ගැනද සභාව දැනුවත් කරනවා… ආදි ලෙස එවක අගමැතිවරයා වූ ආර්.

පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී එම යෝජනාවට පෙර ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් කරන ලද කතාවේදී දීර්ඝ විස්තරයක් කර සිටියේය. හදිසි නීතිය යොදාගෙන බලය අනිසි ලෙස භාවිතා කරමින් විරුද්ධ පාක්‍ෂිකයන්ට කරන ලද පීඩා මෙන්ම විවිධ අක‍්‍රමිකතා දූෂණ රැසක් හෙළිදරව්වූ බව ආණ්ඩු පක්‍ෂයේ සෙසු කථික මන්ත‍්‍රීවරු ස්වකීය කතාවලදී සඳහන් කර සිටියහ. බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපීමේ යෝජනාව ගෙනආ අවස්ථාවේ පාර්ලිමේන්තුව ගාල ගෝට්ටියක් බවට පත්වූ සිද්ධීන්ද වූයේය. කථානායකවරයාගේ අණ නොතකා සභාවේ කටයුතුවලට බාධා වන කටයුතු කළ බව කියමින් එවක කොත්මලේ මන්ත‍්‍රීව සිටි ආනන්ද දසනායක මහතාට සතියකට මැති සබය තහනම් කෙරුණේ කතානායක අණ නොතකා ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් ඔහු සභාවේ හැසිරීම නිසාය. සභාවේ රැඳී සිටි ඔහු ඉවත් කිරීමට වූ යෝජනාව සම්මතවීමෙන් පසු එදින සවස 6.40 ට සභාවෙන් ඉවත් කෙරුණේ පොලිසිය ඔහුව සභාවෙන් ඉවතට ඔසවාගෙන යෑමෙනි.

යෝජනා දෙක සම්මත වී සභාව කල්තබා කථානායකවරයා පිටවී යෑමෙන් පසු බණ්ඩාරනායක මැතිනිය විපක්‍ෂ නායක අමිර්තලංගම් හා නල්ලූර් මන්ත‍්‍රී ඇම්. සිවසිත්තම්පරම්, ආර් සම්බන්දන් මහත්වරුන්ට අතට අතදී ආචාර කළාය. ගාල්ල මන්ත‍්‍රීව සිටි ආචාර්ය විජයානන්ද දහනායක මහතාද එතුමියට අතට අතදී සුබ පැතුවාය. ආණ්ඩු පක්‍ෂයේම සිටි ඇතැම් මන්ත‍්‍රීවරු ඇයට ‘ජයවේවා’ යැයිද කීවිට ‘‘ජයවෙලා තමයි ආපහු එන්නේ’’ ඇය සිනහමුසු මුහුණින් පවසමින් සභාවෙන් නික්ම යද්දී ඇගේ පුත් නුවරඑළිය මස්කෙළිය දෙවැනි මන්ත‍්‍රීව සිටි අනුර බණ්ඩාරනායක මහතාද ඇය සමඟ සිටිනු දක්නා ලදී. පුත් අනුර සමඟ තම මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩිවී මැතිසබයෙන් නික්ම යන දසුන 1980 ඔක්තෝබර් 17 වැනිදා එවක මමද සේවය කළ ටයිම්ස් ආයතනයේ ‘‘ලංකාදීප’’ පුවත් පතේ මුල් පිටුවේ පළවූවේය. එය ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී එස්. චිත‍්‍රානන්ද තම කැමරා කාචයේ සටහන් කර ගත්තේය. දේවප‍්‍රිය චන්ද්‍රසිරි, වයිමන් හෙට්ටිආරච්චි, වින්සන්ට් ප‍්‍රනාන්දු, උලපනේ ගුණසේකර යන මාධ්‍යවේදියෝ ලංකාදීප හා දවස පුවත්පත්වල පාර්ලිමේන්තුවේ එදා සිද්ධීන් වාර්තාකර තිබුණි. බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපනු ලැබීමට අදාළ යෝජනාව ගෙන ආ දිනට දින පහකට පෙර සිටම කොළඹ අවට රැකවල් තර කෙරිණි. පාර්ලිමේන්තුව
රැස්වුවද එවැනි දැඩි ආරක්‍ෂාවක් කොළඹ යොදා තිබුණේය.

සන්නාහ සන්නද්ධ රථ, කැරලි මර්දන පොලිස් බල ඇණිද යෙදවිණි. ඇතැම් තැනෙක කළු කොඩිද ඔසවා තිබෙනු අපි දුටුවෙමු. 1980 ඔක්තෝම්බර් 11 වැනිදා පළවූ පුවත්පතක මුල්පිටුවේ මෙවැනි වාර්තාවක්ද පළවූවේය. පොලිසියට දැන ගන්නට ලැබී ඇති තොරතුරු සළකා බලා ඔක්තෝබර් 13 වැනි බදාදා සිට නැවත දැනුම්දෙනතුරු කොළඹ හා ඒ අවට සියලූම මහජන රැස්වීම් පෙළපාලි හා ඒ හා සමාන කි‍්‍රයා සඳහා අවසර නොදෙන ලෙස පොලිස්පති විසින් රජයට උපදෙස් දී තිබේ. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතුවලට බාධා කිරීමට ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේද මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීමේදී අවහිර කිරීමට උත්සාහ කිරීමට තැත් කළහොත් එවැනි ඕනෑම කි‍්‍රයාවකදී නීතිය තදින්ම කි‍්‍රයාත්මක වෙයි’’ රජයේ නිවේදනය කර තිබිණි. ‘‘රාජකාරිය ඉටුකිරීමේ යෙදී සිටින පොලිසියට තමන්ගේ සම්පූර්ණ සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් හා සියලූම එජාප ශාඛා සමිති සහ පක්‍ෂ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමේ නිවේදනයක්ද එජාප මහලේකම් හර්ෂ අබේවර්ධන මහතා විසින් ඊයේ නිකුත් කෙරිණි.’’

එහි වූ තවත් පුවතකි. මේ අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම 1980 ඔක්තෝබර් 16 වැනිදා පෙරවරුවේ ඇමතූ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කොමිෂන් සභාපති මගින් තමා වැරදි කරනු ලැබුවහොත් පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වී ජනතාවගෙන් සමාව අයැදීමට තමා පසුබට නොවන බව අවධාරණය කර තිබිණි. 1916 අපේ‍්‍රල් 17 වැනිදා බලන්ගොඩ මහවලතැන්නේදී ඡන්ම ලාභය ලැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ස්වකීය ජීවිත ගමන නිමා කළේද 2000 වසරේ ඔක්තෝබර් 10 වැනිදාය. තම ප‍්‍රජා අයිතිය මෙන්ම මන්ත‍්‍රීධුරයද අහිමිවූ ඔක්තෝබර් මාසය ඇගේ ඉරණම් ගමනද තීන්දු විය.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment