ඔක්තෝබර් ලංවිම කෝටි 600ක් ලාබයි: යළිත් විදුලි බිල වැඩි කළොත් උසාවි යනවා

216

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

යළිත් වරක් විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.

ලක්ෂ 65ක් වන විදුලි පාරිභෝගිකයන් සෙල්ලමකට ගන්න එපා යැයි ඇමැතිවරයාට පවසන්නේ යැයි ද හෙතෙම කීවේය.

නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවට බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු මෙසේ ද කීවේය.

ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලය කෝටි හයසියයක් ලාභ ලැබුවා. ඒ මාසේ එක ඩීසල් ලීටරයක්වත් පාවිච්චි නොකර ජල විදුලියෙන් හා ගල් අඟුරුවලින් තමයි විදුලි නිපදවූවේ. රුපියල් හතරයි පනහක් වැනි මිලකට විදුලි ඒකකයක් නිපදවා එම ඒකකයක් රුපියල් තිස් දෙකක් වැනි මිලකට තමයි ජනතාවට දුන්නේ. එහෙම කර කර තමයි දැන් පාඩු වෙනවා කියන්නේ. අනික විදුලිබල ඇමැති ට බලතල නෑ විදුලි බිල වැඩි කරන්න. එය කළ යුත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. වත්මන් විදුලිබල ඇමැති කංචන විජේසේකර මහජන උපයෝගීතා කොමිසම අවශ්‍ය නෑ කියලා කියනවා අපට මතකයි. ඔහුට වුවමනා කොමිෂන් සභා අහෝසි කර හිතූ හිතූ වෙලාවට විදුලි බිල වැඩි කරන්නයි. ඒවාට අපි ඉඩ දෙන්නෙ නෑ. මාස හයෙන් හයට විදුලිබිල සංශෝධනය කරන්න ඔහු කැබිනට් අනුමැතියක් ඉල්ලූ බව ආරංචියි. ඉන්ධන වගේ විදුලි බිලත් වරින්වර සංශෝධනය කරන්නයි ඔහුට ඕනෙ. ඇමැතිකම කරන්න බැරිනම් දාලා යන්න කියලා අපි ඔහුට කියනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment