ඔක්සිජන් අවශ්‍ය රෝගීහු වැඩිවෙති – අයිඩීඑච්හි ආසාදිතයින් 50 කින් ඉහළට

190

මෙරට ඇති වෙමින් තිබෙන ඔමික්‍රෝන් වසංගත රැල්ල නිසා මේ වන විට රජයේ හා පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

කොළඹ ජාතික, බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා, හෝමාගම හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර ඔක්සිජන් අවශ්‍ය කරන අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාවේ ද වැඩිවීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය හේරත් මහතා කීවේය.

මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් රෝහල්වල රෝගී තදබදයක් හටගත හැකි නිසා මහජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි සේ පිළිපැදිය යුතු බව ද, එසේ නොකළහොත් ඉදිරි සතිවලදී රටට බරපතළ ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ජනතාව පසුගිය කාලයේ අනවශ්‍ය ලෙස ඒකරාශීවීම, විනෝද චාරිකා යාම, ආයතනවල, ආපනශාලවල මෙන්ම විවාහ මංගල උත්සවවලදී එක ළඟ හිඳගෙන ආහාර ගැනීම වැනි කොරෝනා වෛරසය පැතිරීමට අනුබල දෙන ක‍්‍රියාකාරකම්වල නිරත වීම වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි සෞඛ්‍ය අංශ මුල සිටම අනතුරු අඟවා සිටියා. මේ වන විට ලොව පුරා ඔමික්‍රෝන් වසංගත රැුල්ලක් හටගෙන තිබීම නිසා අපටත් මෙය බලපාන බව අමතක නොකළ යුතුයි. මහජනතාව අත්‍යවශ්‍ය කරුණකට එළිමහනට යෑමේදී මෙන්ම දෛනික ක‍්‍රියාකාරකම්වල නිරත වීමේදී නිතරම නාසය හා මුඛය හොඳින් ආවරණය වන පරිදි මාස්ක් පැළඳීම, එකිනෙකා අතර මීටරයක පරතරයක් තබා ගැනීම මෙන්ම නිතර සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදාගෙන දෑත් පිරිසිදු කරගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් තරයේ පිළිපැදීමට දැන් සිටවත් වගබලාගත යුතු යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර රජයේ රෝහල් සහ ආයුර්වේද රෝහල්වල බාහිර රෝගී අංශවලට පැමිණෙන සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස හා උණ වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් මෙම දිනවල දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති. එම වෛද්‍යවරුන්ට අනුව ජනතාව සිය හැසිරීම් රටාව පාලනය කර නොගතහොත් කොරෝනා එන්නත් මාත‍්‍රාවන් දෙක නොව බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබා ගත්තද ඔමික්‍රෝන් වැනි ශීඝ‍්‍රයෙන් පැතිරෙන වෛරස් ප‍්‍රභේදයකට ගොදුරු වීමෙන් වැළකී සිටීම අසීරු වේ.

ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන්ගෙන් බහුතරය රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද වෙනත් බෝ නොවන රෝගාබාධයකින් පෙළෙන්නේ නම් එවැනි අයට මෙම වෛරස් ප‍්‍රභේදය නිසා දරුණු සංකුලතා මතුවීම මෙන්ම මරණයට පත්වීම ද සිදු විය හැකි බව වෛද්‍ය මතය වී තිබේ.

මේ වන විට රෝහල්වල රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හා බෙහෙත් වර්ගවල හිඟයක් නොපවතින අතර කොරෝනා වසංගත රැුල්ල පැතිරීමත් සමගම ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බව රෝහල් බලධාරීහු පවසති.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔමික්‍රෝන් මේ වන විට ලොව පුරා පැතිර යන ප‍්‍රබලම කොරෝනා වෛරස් ප‍්‍රභේදය වුවද ඩෙල්ටා ප‍්‍රභේදය ද සෑම රටකම පැතිර ගොස් තිබීම නිසා එම වෛරස් ප‍්‍රභේද දෙකම එක් වී කොරෝනා සුනාමියක් ඇති වීමේ දැඩි අවදානමක් පැන නැගී ඇති බවයි.

ඒමන්ති මාරඹේ, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment