ඔක්සිජන් අවශ්‍ය කරන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

141

මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක‍්‍රමයෙන් වැඩි වීමත් සමගම රෝහල්ගත කෙරෙන ඔක්සිජන් අවශ්‍ය කරන අසාධ්‍ය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද මේ වන විට ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

මෙම තත්ත්වය දැඩි ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බව පෙන්වා දෙන එම නිලධාරීවරයා සැම දෙනෙකුම සංචරණ කටයුතු සීමා කිරීමේ සිට කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් තරයේ අනුගමනය කිරීමට පියවර නොගතහොත් ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් රෝහල් පද්ධතියට එය දරාගත නොහැකි වනු ඇති බව අවධාරණය කළේය.

දැනට මෙරට පැතිර යනුයේ ශීඝ‍්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය බව කිසිවකු විසින් අමතක නොකළ යුතු අතර එය ඕනෑම අයෙකුට මාරාන්තික විය හැකි බවත් මේ නිසාම සැම විටම කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් තමාත් තම පවුලේ සෙසු සාමාජිකයනුත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම මෙම අවස්ථාවේ සෑම පුරවැසියකුගේම වගකීම මෙන්ම යුතුකම බව ඔහු සඳහන් කළේය. කොරෝනා වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා මෙම දිනවල අනවශ්‍ය ලෙස ඒකරාශි වීමෙන් වැළකීමට ජනතාව කටයුතු කළ යුතු බව එම නිලධාරිවරයා වැඩිදුරටත් කීවේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment