ඔන්ලයින් ක‍්‍රමයට මැණික්  ජාත්‍යන්තර වෙළෙඳපොළට

117

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, තැපැල් දෙපාර්තුමේන්තුව සමග එක්ව මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ මාර්ගගත (Online) ක‍්‍රමවේදයක් මෙරට ඉතිහාසයේ පළමු වරට පෙරේදා (23 වැනිදා) හඳුන්වා දී ඇත.

ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව, නුවර, ත‍්‍රිකුණාමලය, යාපනය සහ ගාල්ල යන තැපැල් ස්ථාන 5ක් ඔස්සේ මැණික් අපනයනය කිරීමේ අවස්ථාව අපනයනකරුවන්ට හිමි වෙයි.

ඩොලර් 3,000ක වටිනාකමක් හෝ ඊට අඩු වටිනාකමකින් යුත් මැණික් සහ ස්වර්ණාභරණ අපනයන සඳහා මෙම ක‍්‍රමවේදය අනුව ඉඩ ලැබෙයි. ඒ මගින් අපනයනකරුවන්ගේ කාලය, ශ‍්‍රමය, ධනය, ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

සුළු හා මධ්‍ය පරිමාණ මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් අපනයන ක්ෂේත‍්‍රයට ආකර්ෂණය කරගැනීමත්, සමාජ මාධ්‍ය සහ මාර්ගගත වෙබ් අඩවි යොදාගෙන මැණික් සහ ස්වර්ණාභරණ අලෙවි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමත් මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීමෙන් අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය.

මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් 2021 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 264.63 ක ආදායමක් උපයා ඇති බවත් මෙම අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩිකර ගැනීම ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මූලික අභිප‍්‍රාය බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

මාර්ගගත සේවාව ආරම්භ කිරීමේ උත්සවය කර්මාන්ත ඇමැති එස්. බී. දිසානායක හා මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් 23 වැනිදා ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment