ඔබගේ විවාහය ප්‍රමාද ද? අසාර්ථකද? මෙන්න විසඳුම් – 2 කොටස

2788

කෙසේ නමුත් තමන්ගේ ජන්ම පත්‍රයේ තිබෙන්නේ විවාහයට කවර ලෙස බලපාන ග්‍රහ පිහිටීම්ද යන්න කල්තියා දැන ගැනීම තුළ ඊට අදාළ මහ දශා අන්තර් දශා තුළ නිසි වත්පිළිවෙත් සිදුකර යම් සහනයක් අනිවාර්යයෙන්ම ලබාගත හැක. බොහෝ ජන්ම පත්‍රවල සඳහන් විවාහ ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම් රැසකි. ඒ අතුරින් සුලබව දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම් මෙසේය.

  1. ශනි සිකුරු සංයෝගය හෝ දෘෂ්ටිය.
  2. ශනි චන්ද්‍ර සංයෝගය හෝ දෘෂ්ටිය
  3. ශනි ගුරු සංයෝගය හෝ දෘෂ්ටිය
  4. 7 අධිපති සමග ශනි සංයෝග වීම හෝ 7 අධිපතිට ශනි දෘෂ්ටි දීම
  5. ශනි 7 වැන්නේ සිටීම හෝ 7 වැන්නට දෘෂ්ටි දීම
  6. ගුරු 7 වැන්නේ සිටීම හෝ 7 වැන්නට දෘෂ්ටි දීම
  7. ශනිගෙන් 2 වැන්නේ හෝ 12 වැන්නේ සිකුරුවීම
  8. සිකුරු ශනිගේ රාශියක වීම
  9. සිකුරු හෝ චන්ද්‍රයා හෝ 7 වැන්නාධිපති හෝ නීචය භංග නොවන ලෙස නීච වීම
  10. චන්ද්‍ර ලග්නයෙන් කේන්ද්‍රගතව (1, 4, 7, 10) හෝ චන්ද්‍ර ලග්නයෙන් 11 වැන්නේ ශනි පිහිටීම
  11. ශනි සිකුරු පරිවර්තනය වී සිටීම
  12. කාලසර්පයෝගය පිහිටා තිබීම
  13. ශනි 7 අධිපති සමග සංයෝග වීම
  14. 7 අධිපති හෝ සිකුරු අස්ථ වීම
  15. රවි හා සඳු ශනිට සප්තම වීම
  16. 7 අධිපති කුජ 8 වැන්නේ වීම
  17. ලග්නයෙන් සිකුරුගෙන් සඳුගෙන් 7 වැන්නේ පාපීන්වීම
  18. භෞම දෝෂය, ශනි මංගල දෝෂය පිහිටා තිබීම
  19. ශනි ග්‍රහයා උච්ච වීම
  20. රවි, රාහු 7 වැන්නේ සිටීම
  21. 7 වැන්නේ සර්ව අෂ්ඨක ප්‍රමාණය 20 හෝ ඊට ආසන්නව වැඩි වීම
  22. 7 වැන්නාධිපති සිටින රාශියේ සර්ව අෂ්ඨක ප්‍රමාණය අඩුවීම (20-30) අතර වීම
  23. විවාහකාරක සිකුරු කුජ වැනි ග්‍රහයන් 7 වැන්නේ ලබා ඇති භින්නාෂ්ඨක ප්‍රමාණය අඩුවීම
  24. ලග්නාධිපති සමග රවි 8 වැන්නේ වීම
  25. 7 අධිපති 12 වැන්නේ ද රාහු හා සිකුරු ලග්නයේද වීම

ඉහත සඳහන් විවාහ ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම්වලට අතිරේක තවත් විවාහ පමා කරන ග්‍රහ පිහිටීම් රැසකි. එහෙත් ඒ සියල්ල මේ කෙටි ලිපියට කැටි කළ නොහැක. සාමාන්‍යයෙන් විවාහය ගැනත් එය සිදුවන කාලය ගැනත් ජන්ම පත්‍රයක 7 වැන්න පරීක්‍ෂාවෙන් දැනගත හැක. විවාහයක් සිදුවන කාලය බොහෝ විට 7 වැන්නේ තැන්පත් ග්‍රහයකුගේ මහ දශාවකදී හෝ අතුරු දශාවකදී සිදුවේ. එසේම කේන්ද්‍රයේ සඳු සිටි ස්ථානයෙන් 7 වැන්නේ සිටින ග්‍රහයා කාලයේද බොහෝ විට විවාහය සිදුවේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විවාහය සිදුවන කාල නිර්ණයේදී ගුරු ග්‍රහයාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ විවාහය සිදුවන කාලය තුළ ගෝචරයෙන් ගුරු බලවත් විය යුතු බැවිනි. කෙසේ වෙතත් ගුරුගේ මහ දශා අතුරු දශා කාලවල මෙන්ම ගෝචර ගුරු 7 වැන්නට දෘෂ්ටි දෙන විටද බොහෝ විට විවාහය සිදුවේ. එසේම 7 වැන්නාධිපති සිටින ස්ථානය හරහා ගුරු ගෝචර වන විටද විවාහය සිදුවිය හැක. මීට අතිරේකව කුජ සිටින ස්ථානය මතින් ගුරු ගෝචර වන විටද කුජ සිටින ස්ථානයෙන් 7 වැන්නේ ගුරු ගෝචරය වන විටද විවාහ කාරක සිකුරු වැනි ග්‍රහයකුගේ දශාවක් තුළ ද ලග්නයේ 3, 4 සිටින ග්‍රහයන්ගේ දෘෂ්ටිය ගෝචරයෙන් 7 වැන්නට වැටෙන විටද විවාහයක් සිදුවේ යැයි අනුමාන කළ හැක.

විශේෂයෙන් චන්ද්‍ර, කුජ, ගුරු හා සිකුරු විවාහය ඉක්මන් කිරීමට බලපායි. විවාහ ඉක්මන් කරන යෝග ද රැසකි. ඒ අතරින් කිහිපයක් මෙසේය.

  1. 7 අධිපති හා සිකුරු සංයෝගය.
  2. සිකුරු කේන්ද්‍රගතවී ශනි සිකුරුගෙන් සප්තම වීම
  3. කුජගේ රාශියක හෝ නවාංශකයක සිකුරු වීම
  4. කුජ හෝ සිකුරු කටක රාශිගතවීම
  5. සිකුරුගේ රාශියක හෝ නවාංශකයක කුජ වීම
  6. සිකුරු 7 වැන්නේ හෝ 11 වැන්නේ වීම
  7. ශනි කුජ දෘෂ්ටිය
  8. 2, 11 අධිපතියන් 10 වැන්නේ වීම
  9. ලග්නාධිපති 10යේද 2 වැන්නාධිපති 11 හේද වීම

ඉක්මන් විවාහ ඇතැමුන්ට ගැටලුවක් වනවාටත් වඩා විවාහ ප්‍රමාද වීම නම් සැමටම සැබවින්ම ගැටලුවකි. ඊට හේතු කාරණා ක්‍රමයෙන් වියැකී යෑමයි. මෙනිසා විවාහ ප්‍රමාදය මගහරවනු වස් කළ හැකි වත්පිළිවෙත් මෙන්ම ශාන්ති කර්ම ද ගණනාවකි. ඒවා ඉතා සැකවින් මෙසේය.

  1. විවාහයට අදාළ දුර්වල භාව අධිපතීන් රත්න මුදු ප්‍රතිකාරය තුළින් බලවත් කිරීම.
  2. තමන්ගේ ඉෂ්ට දේවතාවා හැඳින නිසි පුද පූජා පැවැත්වීම.
  3. අශුභ භාව අධිපතීන් උදෙසා ග්‍රහ දාන, ග්‍රහ පූජා, බෝධිපූජා තැබීම විශේෂයෙන් බෝධි පූජා තැබීමේදී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, කැලණි, බෙල්ලන්විල, නවගමු, කන්දෙ විහාර, කළුතර බෝධීන් වහන්සේ වැනි මහා බලසම්පන්න බෝධීන් වහන්සේ නමකට විධිමත් ලෙස නිවැරැදිව භක්තිමත්ව බෝධි පූජා පවත්වා විවාහය ඉක්මන් කර දෙන ලෙස ප්‍රාර්ථනය කිරීම.
  4. නවගමුවේ පත්තිනි දේවාලයේ වැඩසිටින පත්තිනි මෑණියන්ට විධිමත්ව පූජා පවත්වා බාරහාර වීම.
  5. විෂ්ණු දේවාලයකට ගොස් විෂ්ණු දෙවියන්ට විධිමත්ව පූජා පවත්වා බාරහාර වීම
  6. දිනපතා පාන්දර තෙරුවන් නැමද විවාහය ඉක්මන් වන ලෙස අධිෂ්ඨාන කිරීම.
  7. කතරගම දේවාලයකට ගොස් කතරගම දෙවියන්ට විධිමත්ව පූජා පවත්වා බාරහාර වීම.
  8. පුර පසළොස්වක පොහොය දිනක පුර හඳ දෙස පිරිසිදු සිතින් යුතුව විනාඩියක් පමණ බලා සිට විවාහය ඉක්මන් වන ලෙස අධිෂ්ඨාන කිරීම.
  9. ඉරිදා දිනක ඉර උදාවන විට ඉර දෙස තුන් වරක් බලා විවාහය ඉක්මන් වන ලෙස අධිෂ්ඨාන කිරීම.
  10. සූර්යයා බැස යන වේලාවේ සූර්යයා නොපෙනී යනවාත් සමගම ලේන්සුවේ ගැටයක් ගසා විවාහය ඉක්මන් වන ලෙස අධිෂ්ඨාන කිරීම.
  11. විවාහ වන යුවළකට අවශ්‍ය දෑ තමාට හැකි පමණින් මිලට රැගෙන පරිත්‍යාග කිරීම.
  12. අඟහරුවාදා හෝ සිකුරාදා දිනක රාහු කාලයේ දුර්ගා මෑණියන්ට දෙහි ලෙලිවල එලඟිතෙල් වත්කොට පහන් 7ක් දින 7ක් දැල්වීම මෙය රාත්‍රි කාලයේ සිදුකිරීම වඩා ප්‍රතිඵලදායකය.

ඉහත විවාහ ප්‍රමාදයට පිළියම් ලෙස සඳහන් කළ වත්පිළිවෙත් තමාට හැකි උපරිමයෙන් භක්තිමත්ව ඉෂ්ට සිද්ධ කර සාර්ථක ප්‍රතිඵල ලබාගන්න. ඔබට ජය සතුට

ජ්‍යොතිෂ්‍යවේදී, දේශබන්දු
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
පානදුර
දු.අංකය 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment