ඔබට ලැබෙන සහකරුගේ සහකාරියගේ ගතිගුණ මෙන්න

4932

කෙනකු උපදින අවස්ථාවේ පිහිටි ග‍්‍රහයන්ගේ තත්ත්වයත් එම ග‍්‍රහයන් තැන්පත්ව පිහිටි ස්ථානයත්, ඔවුන්ගේ බල දුබලතාවත්, ග‍්‍රහ දෘෂ්ටි හා ග‍්‍රහ සංයෝගත් අනුව තමන්ට හිමිවන සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවයත් ජ්‍යොතිෂයේ විවිධ ආකාරයෙන් සඳහන් කර ඇත. ජ්‍යොතිෂය අනුව විවාහයක් ඉක්මන් කරන්නේ කුජ ග‍්‍රහයාත්, සිකුරු ග‍්‍රහයාත් යන දෙදෙනා ය. විවාහයක් වාසනාවන්ත එකක් කරන්නේ ගුරු ග‍්‍රහයාත් චන්ද්‍රයාත් යන දෙදෙනාය. විවාහයක් ප‍්‍රමාද කරන්නේ ශනි නොහොත් සෙනසුරු ග‍්‍රහයාත්, කේතු ග‍්‍රහයාත්ය. රවි ග‍්‍රහයාත්, රාහු ග‍්‍රහයාත් දෙදෙනා වැඩි බලය ඇති පැත්තට සහායා දක්වයි. බුධ ග‍්‍රහයා මධ්‍යස්ථ භාවයක් දක්වයි. විවාහය පිළිබඳව සලකා බැලීමේදී කේ්න්ද්‍රයේ හත්වැන්නත් හත්වැන්නේ ත‍්‍රිකෝණ ස්ථාන වූ නුන්වැන්නත් එකොළොස්වැන්නත් පරීක්‍ෂා කළ යුතු අතර කේන්ද්‍රයේ දෙවැන්න හා අටවැන්නා ද මේ සඳහා බලපෑමක් කරයි.

යම් අයකුගේ කේන්ද්‍රයේ සත්වැන්නේ ගුරු ග‍්‍රහයා උච්චව බලවත්ව පිහිටියේනම් එම අයගේ විවාහ ජීවිතය ඉතා වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල්, දේපළ හිමි ඇත්තියක් වේ. තම ස්වාමිපුරුෂයාට කීකරුව ඔහුගේ අවශ්‍යතා සොයා බලා අවශ්‍යතාවන් සපුරාලන තැනැත්තියක් වෙයි. පුරුෂයකුනම් තම බිරියට ආදරයෙන්, සෙනෙහසින් සලකන ඇයගේ සියලූ අඩුපාඩුකම් සපුරාලන අයෙක් වෙයි. ගුණයහපත් කමින් ද පිරිපුන් අයෙක් වෙයි. මේ නිසා ඉතා යහපත් යුගජීවිතයකට සාර්ථක විවාහයකට එබඳු ග‍්‍රහ පිහිටීම් වැදගත් වෙයි.

සිකුරු, බුධ, ගුරු ආදී සෞම්‍ය ග‍්‍රහයෝ පළමුවැන්න, හතරවැන්න, හත්වැන්න, දහවැන්න ආදී කේන්ද්‍රස්ථානයක පිහිටි දෙවැන්න හා හත්වැන්න අධිපති ග‍්‍රහයෝ ස්වක්‍ෂේත‍්‍රව පිහිටා ඇති කේන්ද්‍ර හිමියෝ ද ඉතා වාසනාවන්ත යුගදිවි ගත කරන්නෝ වෙති. අන්‍යෝන්‍ය දැඩි බැඳීමෙන් හා දැඩි ආදරයෙන් යුතුව ඔහු හා සැමදා යුගදිවි ගත කරති. මිල මුදල් සේම ගේදොර ඉඩකඩම් ආදියෙන් ද අඩුවක් නැත්තේ වෙයි. යහපත් දූ පුතුන් ද ලැබ සැමදා යුගදිවි සතුටින් ගත කරති.

කේන්ද්‍රයේ සත්වැන්න අධිපති ග‍්‍රහයා පාප ග‍්‍රයන් සමග සංයෝගව දොළොස්වැන්නේ සිටියහොත් එබඳු අය ක්‍ෂණික කෝපයට පත්වන්නෝ වෙති. මෙම අයගේ විවාහ ජීවිතය අවුල්, වියවුල්වලින් ගහන එකක් වෙයි. නැති වැරදි හදාගන්නා ඔවුන් සුළු දෙයකට පවා තදින් කෝප වෙති. කුජ ග‍්‍රහයාත් බුධ ග‍්‍රහයාත් බ‍්‍රහස්පති ග‍්‍රහයාත්, චන්ද්‍රයාත් සංයෝගව යම් කාන්තාවකගේ කේන්ද්‍රයේ හත්වැන්නේ හෝ කටක රාශියේ යෙදී ඇත්නම් එබඳු කේන්ද්‍ර හිමි කාන්තාවන් ඉතා රූමත් අය වෙති. දුටුවන් වශීකරන රූ සපුවකින් යුක්ත වේ.

යම් ස්ත‍්‍රියකගේ හත්වැන්න එක් ග‍්‍රහයකු ගෙන් යුක්තව හෝ එක ශුභයකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ස්වාමියාට පි‍්‍රය වේ. ශුභයන් දෙදෙනකුගෙන් යුක්තව හෝ දෙදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ආචාර සම්පන්න වේ.ශුභයන් තිදෙනකුගෙන් දෘෂ්ටි ලැබ තිබේනම් ඉතා යහපත් උසස් තැනැත්තියක් වෙයි. එක පාපියකුගෙන් යුක්තව හෝ දෘෂ්ටිය ලැබ තිබේනම් අන්පුරුෂයන් දෙස කාමුවකව බලන තැනැත්තියක් වේ. පාපයන් දෙදෙනකුගෙන් යුක්තව හෝ පාපයන් දෙදෙනකුගෙන් දෘෂ්ටි ලැබ තිබේනම් ආචාර සම්පන්න නොවේ. පාපයන් තිදෙනකුගෙන් යුක්තව හෝ තිදෙනෙකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ඉතා අයහපත් වේ යැයි කියා ඇත.

බුධහු උච්චව හත්වැන්නේ සිටියදී උපන් තැනැත්තියගේ ස්වාමිපුරුෂයා ශෝභා සම්පන්නවූ පිනට දහමට ලැදි පොත්පත් කරන්නාවූ කීමෙහි හා ලිවීමෙහි දක්‍ෂ උගත් අයෙක් වෙයි. කා අතරත් ජනපි‍්‍රය පුද්ගලයෙක් වෙයි. සිකුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්තිය නච්චගීතවාදිතාදියට පි‍්‍රයවූ යහපත් පෙනීමෙන් යුත් සියලූ ආභරණ වස්ත‍්‍රාදියෙන් යුත් ස්වාමිපුරුෂයා පී‍්‍රතියෙන් පිනවන තැනැත්තියක් වන්නීය. ස්වාමිපුරුෂයා ද එවැනිම කෙනෙක් වෙයි. ගුරු, සිකුරු දෙදෙනාගෙන් කෙනෙක් ලග්නය දැක සිටියදී බුධහු උච්චව අඟහරු මකරයේත්, සඳු කටකයේත් සිටියදී උපන් තැනැත්තී රූප සම්පන්තියෙන් අනූන ගුණවත්, බලවත් රජ බිසවක් හා සමාන සැප විඳින්නියක් වෙයි. ඉතා උසස් විවාහයක් වෙයි.

කුජ, සඳු දෙදෙනා පමණක් එකට සිටීම ස්තී‍්‍ර කේන්ද්‍රයේ අශුභ යෝගයක් ලෙස ජ්‍යොතිෂයේ පෙන්වා ඇත. විශේෂයෙන් දුෂ්ට ස්ථානයක නම් එම නිවසින් ශි‍්‍රයාව බැහැරවන බව කියා ඇත. පුරුෂ කේන්ද්‍රයක වුවත්, කුජ, චන්ද්‍ර යෝගය පාප කි‍්‍රයා කිරීමටත් ඒ සඳහා මුදල් නාස්ති කිරීමටත් හේතුවේ. රවි හතේ සිටීම ද ස්තී‍්‍ර කේන්ද්‍රයක අශුභ පිහිටීමකි. ස්වාමි භක්තිය අඩුකරන පිහිටීමක් වෙයි. බොහෝවිට දෙදෙනා අතර අසමගියට හේතුවක් වේ.

මේෂ, වෘශ්චික දෙකින් එක ලග්නයම මේෂ, වෘශ්චික දෙකින් එකක චන්ද්‍රයාත් සිටියදී ලග්නයේ උදාවන ති‍්‍රංශාංශකය අඟහරුගේම වූවොත් එකල උපන් තැනැත්තී ඉතා තද පුරුෂ නපුරු ස්ති‍්‍රයක් වෙයි. ශනිගේ ති‍්‍රංශාංශකය වුවහොත් පහත් කි‍්‍රයා කරන්නියක වෙයි. ගුරුගේ ති‍්‍රංශාංශකය වූවොත් යහපත් ස්ති‍්‍රයක් වෙයි. බුධගේ ති‍්‍රංශාංශකය වූවොත් නුවණ මෙහෙයවා කි‍්‍රයා කළ හැකි මායා දන්නියක් වෙයි. සිකුරුගේ ති‍්‍රංශාංශකය වුවහොත් කාම චේතනා අධික තැනැත්තියක් වෙයි. ධනු, මීන දෙකින් එකක් ලග්නයට චන්ද්‍රයාත්, ධනු, මීන දෙකින් එකක සිටියදී ලග්නයේ උදාවන ති‍්‍රංශාංශකය ගුරුගේ නම් ගුණ නුවණින් යුක්ත වූ ඉතා යහපත් තැනැත්තියක් වෙයි. කුජගේ නම් කි‍්‍රයාශූර ඉක්මන් ගතිගුණ ඇති ගුණ නුවණින් යුතු තැනැත්තියක් වෙයි. ශනිගේ නම් නුවණ අඩු අලස තැනැත්තියකි. බුධගේ නම් සියුම් නුවණ ඇත්තාවූ කි‍්‍රයාශූර ඇත්තියක් වන අතර සිකුරුගේ නම් වීර්යාධික වූද කෝමල ගති ඇති යහපත් වූ නුවණ හා ගුණවත් උතුම් භාර්යාවක් වෙයි.

හිඹුටානේ පියතිලක ද අල්විස්
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය.
දු. අංකය 0716 212 020 / 00112 419 574

advertistmentadvertistment
advertistmentadvertistment