ඔබත් ඒරාෂ්ඨක අපලයට බයද?

2099

ග‍්‍රහ අපලයක් යැයි කියූ සැණින් මුලින්ම සිහිවන්නේ තමාගේ ජන්ම පත‍්‍රයයි. තමාගේ ජන්ම පත‍්‍රයට අනුව තම ජීවිත කාලය පුරාම නොයෙකුත් ග‍්‍රහ අපල තත්ත්වයන් ඇතිවන අතර ‘‘ඒරාෂ්ඨක අපල’’ යනු ඕනෑම පුද්ගලයෙකුට තම ජීවිත කාලය තුළ බලපාන භයානක අපල තත්ත්වයකි. ජ්‍යොතිෂය පිළිබඳ අල්ප දැනුමක් හෝ ඇති කෙනෙකු ඒරාෂ්ඨක කියූ සැණින් බිය වෙති. නමුත් තමාට අපල කාලයක් ඇතිවන්නේ කවදාද යන්න පෙරසිට හඳුනාගෙන එයට කළයුතු නිසි පිළිවෙත් සිදුකරන්නේ නම් සහ පස්පවින් වැළකී ධර්මිෂ්ඨව ජීවත් වන්නේ නම් ඒරාෂ්ඨකයට බියවිය යුතු නැත. එනම් ඒරාෂ්ඨකය නිසා ඇතිවන භයානක විපත් තත්ත්වයන් ඒවා සිදුවීමට පෙර වළක්වා ගැනීමේ හැකියාව පවතින බවයි.

කෙසේ නමුත් ඒරාෂ්ඨකය කුමන අවස්ථාවේ උදාවේද? එහි බලපෑම කෙසේද? යන කරුණු ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වේ. ඒරාෂ්ඨකය යනු ශනි ග‍්‍රහයාගේ ගෝචර ගමන පදනම් කරගෙන ඇති වන්නාවූ තත්ත්වයකි. එනම් ශනි ග‍්‍රහයා ලග්න භාවයත් ඉන් දෙවැන්නත්, 12 වැන්නත් යන ස්ථානවල ගෝචර වීමත් (ලග්න ඒරාෂ්ඨකය ) ලග්නයෙන් 8 වන භාවය ගෝචර වීම (ලග්න අෂ්ඨම), උපතේදී සඳු සිටින භාවය ගෝචර වීම (ජන්ම ඒරාෂ්ඨකය) හා උපතේදී සඳු සිටි භාවයෙන් 8 වන භාවය ශනි ගෝචර වීම (ජන්ම අෂ්ටම ඒරාෂ්ඨකය) යන අපල ලෙස හඳුන්වයි.

මෙහිදී භාවයක අංශක 30ක් ඇති හෙයින් එක භාවයක ගමන් කිරීම සඳහා ශනි ග‍්‍රහයාට අවම වශයෙන් වසර 2 1/2ක කාලයක් ගතවේ. මෙහිදී ඒරාෂ්ඨකය තීරණය කිරීම සඳහා ජන්මියාගේ ලග්නය හා චන්ද්‍ර ස්ඵුටකය දැන ගත යුතුවේ. එයට අනුව ඒරාෂ්ඨකයට අදාළ වන භාවයන් තීරණය කළ යුතු අතර එම ස්ථානවලින් ශනිගේ ගෝචරය පදනම් කරගෙන ඒරාෂ්ඨක අපලය ලබන කාලය නිවැරදිව තීරණය කළ යුතුවේ. එනම් සෙනසුරු ග‍්‍රහයා රාශීය මාරුවූ පමණින් ඒරාෂ්ඨකය උදාවීම හෝ අපලය අවසාන වීම සිදුනොවේ. මෙය භාව සංකල්පය වේ.

යම් කෙනෙකුට ඒරාෂ්ඨකයක් ලැබූ විට එම ඒරාෂ්ඨක කාලය තුළ ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලූ ඇතිවීම, හදිසි අනතුරු හා විපත්, අධ්‍යාපනයේ බිඳ වැටීම්, ව්‍යාපාර බුන්වත්වීම, නිකරුණේ නින්දා අපහාස ලැබීම, නොසිතු ලෙඩ රෝග ඇතිවීම, චිත්තපීඩා ඇතිවීම, තම ආර්ථික තත්ත්වය පහත වැටීම, හෝ මරණය පවා ඇතිවිය හැක. එසේම ඒරාෂ්ඨක කාලය තුළදී ධනය ලැබීම විභාගවලින් ජයග‍්‍රහණ ලැබීම, ගේ දොර ඉදිකිරීම් සිදුකිරීම, යාන වාහන මිලදී ගැනීම හෝ විවාහ මංගල කටයුතු පවා සිදුවිය හැක. මෙයට හේතුවන්නේ කේන්ද්‍රයේ සෙනසුරුගේ බල දුබල භාවය, චන්ද්‍රයාගේ බල දුබලතාවය, ඒරාෂ්ඨක කාලය තුළදී ගතකරන මහ දශා අන්තර් දශාවල බලදුබලතාවය, අනෙකුත් ග‍්‍රහයන්ගේ ගෝචර ගමන ආදිය පදනම් කරගෙන ඉහත සඳහන් කළ සිදුවීම් සිදුවිය හැක. මෙහිදී ජ්‍යොතිෂවේදියා විසින් ඉහත සඳහන් කළ සියලූම දේ සම්බන්ධව නිවැරදි ලෙස ගණනය කිරීම සිදුකළ යුතුවේ. උදාහරණයක් ලෙස ජන්ම පත‍්‍රයක චන්ද්‍රයා වෘශ්චික රාශියේ 20 වන අංශකයේ තැන්පත්ව ඇතැයි සිතමු. (චන්ද්‍ර ස්ඵුටකය වෘශ්චිකයේ අංශක 20) එවිට ජන්ම ඒරාෂ්ඨක කාලය වන්නේ ශනි වෘශ්චික රාශියේ අංශක 5 සිට ධනු රාශියේ අංශක 5 දක්වා ගමන් කරන කාලපරිච්ෙඡ්දයයි. මෙහිදී ඒරාෂ්ඨකයේ බලදුබලතාවය තීරණය කර ගැනීමේදී භාවඵලයට පදනම් රාශිඵලය ගලපා ගත යුතුවේ. පිළිවෙළින් ශනි, මේෂ, කටක, වෘශ්චික, සිංහ රාශිවල දුර්වල වේ.

ඉහත සඳහන් කළ ස්ථානයක් (ඒරාෂ්ඨකයට අදාළ භාවයක්) ඉහත රාශියකට සම්බන්ධ වුවහොත් ඒරාෂ්ඨකය බලවත් වේ. එවිට අයහපත් ප‍්‍රතිඵල ගෙනදේ. එසේම ඉහත සඳහන් කළ රාශියක චන්ද්‍රයා පිහිටි විට ඒරාෂ්ඨකය බලවත් වේ. එසේම ඉහත සඳහන් රාශියක රාහු සඳු සමඟ යෝගවීම හෝ ලග්නය, 12 වැන්න, 8 වැන්න, 2 වැන්න (භාවවල) යන ස්ථානවල පිහිටියේද ඒරාෂ්ඨකයේ බලපෑම අයහපත් වේ.

එසේම අමාවක දිනයක හෝ ඊට ආසන්න දිනයක ඉපදීම, එනම් රවි චන්ද්‍ර යෝගවූ අයගේ ජන්ම ඒරාෂ්ඨකය හා ජන්ම අෂ්ඨම ඒරාෂ්ඨකය වඩා අයහපත් වේ. මෙහිදී, මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ට මෙය ප‍්‍රබල යෝගයක් වුවත් (අමාත්‍ය යෝගය, හා ධර්මකර්මාධිපති යෝගය) ඒරාෂ්ඨකය ලැබූ විට ඔවුන්ට කරදර බාධා ඉතා අධික වේ. මීට අමතරව ජන්මියාගේ ශනි ප‍්‍රබල නම් (තුලා, මකර, කුම්භ) රාශියක ශනි ඇතිවිට ඒරාෂ්ඨකයේ බලපෑම අවම වේ.

සෑම ජ්‍යොතිෂ න්‍යායකටම අනුව ඒරාෂ්ඨකය පිළිබඳව යහපතක් ලියවී නොමැති අතර (නාඩි, සම්ප‍්‍රදායික ජ්‍යොතිෂය, ක‍්‍රිෂ්ණමූර්ති, භාව, ජෙමිණි ආදී) ඒරාෂ්ඨකය කාලෙඡ්ද කිරීමේදී නිරෝගිකම, සැප සම්පත් ලබාදෙන, යහපත් කටයුතු සිදුවන කාලසීමාවන් ඇත. එකම සමභාවිතාවට අනුව සෑම පුද්ගලයකුගේම ජීවිත කාලයෙන් හරි අඩක් පමණ ඒරාෂ්ඨක අපල ඇත. එහිදී තදබල අපල ජීවිත කාලයෙන් අඩකට වඩා පවතීද? මරණය සිදුවන්නේ එක් වරකි. නමුත් ලෙඩ රෝග ඇතිවීම කීපවරක් ඇතිවිය හැක. ඒවා දීර්ඝ කාලීනව පවතින ඒවා සහ කෙටි කාලීනව පවතින ඒවා වශයෙන් කොටස් කළ හැක. එහිදී ඒරාෂ්ඨකයෙන්ම මෙවැනි දේ සිදුනොවේ. එවැනි අවස්ථාවක මහදශාව, අන්තර්දශාව, ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම පාදක කරගෙන පලාඵල කථනය සිදුවිය යුතුය. දුර්වල අයහපත් ග‍්‍රහයන්ගේ, ලග්නයට අහිතකර ග‍්‍රහයන්ගේ මහදශා, අන්තර්දශාවල සෙනසුරු, ඒරාෂ්ඨකයක් උදාවුවහොත් ගින්දරට දර දැමූ විට ගින්න විශාල වනවාසේ ජන්මියාට අනතුරු කරදරවල බලපෑම ඉතා අධික වී මරණය පවා ගෙන දිය හැක. ඒරාෂ්ඨක කාලවලදී ධාර්මිෂ්ඨ වුවහොත් එහි අයහපත් බලපෑම අවම කරගත හැකි අතර වත්පිළිවෙත් කිරීම, යන්ත‍්‍ර පැළඳීම මගින් මෙහි බලපෑම අවම කරගත හැක.

කර්ම කාරකයා ලෙස හඳුන්වන, දුකට අධිපති ශනි, යහපත්වූ ජන්මියාට යහපත් ප‍්‍රතිඵල ලබාදෙයි. එනම් ඒරාෂ්ඨකය අවස්ථාවක් කර ගනිමින් අධ්‍යාපනය ලැබීමට, නිවාස ඉදිකිරීමට, විවාහ ජීවිතයට ඇතුළුවන්නට, දරුවන්ගේ කටයුතුවලට කැප වන්නට මෙන්ම විශාල ඉඩම් වගා කිරීම වැනි බොහෝ දුක් විදීමට සිදුවන්නාවූ කටයුතු කිරීම තුළින් ඒරාෂ්ඨකය ආයෝජනයක් කර ගැනීමට ධාර්මිෂ්ඨ පුද්ගලයන්ට හැක. ධාර්මිෂ්ඨ වීම යනු පන්සිල් සුරැකීම, මානසික ඒකාග‍්‍රතාවය රඳවා ගැනීම වේ. එනම් ඒරාෂ්ඨක කාලසීමාව තුළ භාවනා කිරීම ඉතා යහපත් වේ. මීට අමතරව ඒරාෂ්ඨකය අපල සඳහා කරන විශේෂ පිළිවෙත් මගින් මෙම ඒරාෂ්ඨක අපල මගහරවා ගතහැකි අතර ජන්මියාගේ මහදශා, අන්තර්දශා, පාදක කර ඊට අදාළ වත්පිළිවෙත් කිරීම මගින් මෙම ඒරාශ්ඨක අපල මගහරවා ගත හැකිවේ. ඔබගේ ජන්ම පත‍්‍රයට අදාළ වත්පිළිවෙත් සිදුකරන අතරතුර, පහත පිළිවෙත් සිදුකර ඔබගේ ඒරාෂ්ඨක අපල තත්ත්වය මගහරවා ගන්න.

සෙනසුරාදා දිනක එළතල හා කළුතල 50ට බැගින් ගෙන ඒවා එළඟිතෙලෙන් අනන්න. පසුව එම මිශ‍්‍රණය කුඩා පිරිසිදු රෙදි කැබලි 3කට දමා පොට්ටනි 3ක් සාදාගන්න. එම පොට්ටනි 3 ගිනි කබලක දමා එය ගිනිගන්නාවිට ගිනි කබල තම හිස වටා තුන් වරක් කරකවන්න. පසුව එය ගිනිගෙන අවසන් වූ පසු ඉතිරි වූ අළු ටික මහ මුහුදට ගසාගෙන යාමට දැමිය යුතුය. මෙය ඒරාෂ්ඨකය සඳහා කළයුතු ප‍්‍රතිඵලදායි පිළිවෙතකි.

විද්‍යාවේදී, ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
ගෝඨාභය මුදලිගේ
85ත්‍, 1/1, දෙහිවල පාර, බොරගැල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment