ඔබත් මැරෙන අයෙක්ද?

434

මේ ලෝකයෙහි හටගන්නාවූ සියලු සංස්කාර ධර්මයන්හි යථා ස්වභාවය නම් කාලයත් සමගින් විනාශවී යෑමයි. මෙලොව උපන් අප හැම දෙනා ද එලෙස මරණය කරා ගමන් කරන අතර අවසානයෙහි රැගෙන යනු ලබන්නේ ජීවිත කාලය පුරා කරන ලද හොඳ නරක පමණි. මෙකී යථාර්ථය බොහෝ දෙනාට අවබෝධ කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. නොමැරෙන මිනිසුන් සේ දිවි ගෙවීමට පෙළෙඹෙන බහුතරයක් දෙනාට අවසානයෙහි උරුම වනුයේ දුක වේදනාව පමණි. මේ නිසා මිනිසත් බව ලද අප සැම දෙනම මෙකී යථා ස්වභාවය මැනවින් වටහා ගැනීම දෙලොවටම සැපදායක වන අතර ඉතා සුළු කාල පරාසයක් දිවි ගෙවන මිනිසා එකතු කරගත යුත්තේ භෞතික සම්පත් නොව කුසල ධර්මයන්ය. හිස් අතින් මෙලොව එළිය දුටු හැම දෙනා අවසානයෙහි යා යුත්තේ හිස් අතින් නොවන අතර සසර සැපත සැප ගෙන දෙන කුසලතාවන්ගෙන් හෙබි අයෙකු ලෙස බව අද අදම සිහියට ගත යුත්තකි.

උපත හා මරණය යන වචන දෙක අප සැම දෙනාහට පොදු වූවකි. මෙලොව උපන් සියලු දෙනා අවසානයෙහි මරණ ධර්මතාවයට කෙසේ හෝ පත්වෙති. එය තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විවිධ අවස්ථා තුළ විවිධ උපමා මුල්කොටගෙන දේශනාකොට ඇත. ඒ අනුව විටෙක ජල බිඳුව, විදුලි ධාරාව, පෙණපිඬ, මැටි භාජනය වැනි බොහෝ උපමා රූපක මෙකී මරණය සඳහා යොදාගෙන ඇත. එලෙස යොදා ගැනීමට හේතුවී ඇත්තේද ජීවිතයේ යථා ස්වභාවය මැනවින් පෙන්වාදීම උදෙසා බව ත්‍රිපිටකයෙහි ඇතුළත් දේශනා තුළින් මනාව ගම්‍යවේ. මරණය දරා ගැනීමට නොහැකිව බුදුන් වහන්සේ වෙත එළැඹි කිසාගෝතමී වැනි විවිධ අයට උන්වහන්සේ මනසට ගෝචර වන පරිදි මරණයෙහි ස්වභාවය ඉතා කදිමට උගන්වා ඇත. මෙය ලොකු කුඩා බාල පණ්ඩිත යනුවෙන්ද දුප්පත් පොහොසත් ආදී වශයෙන්ද කිසිදු භේදයක් නොමැති ධර්මතාවයකි. කර්මය මූලික කොටගත් එය කෙසේ කොතැනදී සිදුවේ දැයි කිසිවෙකුට නිශ්චිතව කිව නොහැකි ධර්මතාවයකි. බුදුන් වහන්සේ කරුණු හතරක් යටතේ එය මනාව දේශනාකොට ඇත.

  1. ආයුක්‍ඛය – ආයුෂ කෙළවර වී මිය යෑම
  2. කම්මක්‍ඛය – ආයුෂ හා කර්මය කෙළවර වී මිය යෑම
  3. උභයක්‍ඛ්කය – නොසිතූ විටෙක කෙළවර වී මිය යාම
  4. උපච්ඡේදකය – නොසිතූ විටෙක හදිසියේ මිය යෑම

ආදී වශයෙන් මරණයෙහි ස්වරූපය පෙන්වා වදාළ උන්වහන්සේ ‘සංඛාරා’ යන වචනයෙන් පෙන්වා දෙනු ලැබූවේ සියලු සංස්කාර ධර්මයන්ය. එනම් පණ ඇති හා පණ නැති සියල්ල යන්නයි. ‘අනිච්චා’ යනුවෙන් උගන්වා වදාළේ එකී සියල්ල අනිත්‍යතාවය හෙවත් වෙනස්වී නැසෙන සුළු බවයි. ‘වත’ යන නිපාතයේ දැක්වෙන්නේ ඒකාන්තයෙන් නැසෙන බවයි. මේ අනුව උපන් හැම දෙනාටම කාලය සමග වෙනස්වීම ද අවසානයෙහි මරණය ද ඒකාන්තයෙන්ම උරුම පොදු සාධාරණ ධර්මතාවයක් බව මේ අනුව මැනවින් පසක් වනු ඇත.

බෞද්ධ ධර්මයෙහි එලෙස ඉතා පැහැදිළිව ජීවිතයේ යථා ස්වභාවය දැක්වුවද මිනිසුන් එය අවබෝධ කර නොගැනීම අවාසනාවට හේතුවකි. එහි අනිසි ප්‍රතිඵල අද වනවිට සමාජය තුළින්ම මානාව දැක ගැනීමට හැකිය. ධනය, බලය නිසා නොමැරෙන අයුරින් ජීවත්වන බොහෝ දෙනාට මරණයෙහි වේදනාව දැනෙනුයේ අවසානයෙහිය. එවිට බොහෝ සෙයින් ප්‍රමාදවී ඇති ඔවුන් පසු තැවීමට පත්වී මරණයට ගොදුරු වෙති. තමාට හැකි කාලය තුළ ජීවිතයෙහි යථා ස්වභාවය අවබෝධ කර නොගන්නා බහුතරයක් වූ පිරිස දිවි ගෙවනු ලබන්නේ අමරණීය අයුරිනි.

ගිහි – පැවිදි යන අප දෙපක්ෂයම මෙය ගැඹුරින්ම සිතට ගත යුත්තකි. දැඩි තෘෂ්ණාවෙන් ගොඩ ගසා ගැනීම නොව හැකි තරම් අත්හරිමින් සිත සැහැල්ලු කර ගැනීම මෙකී අවබෝධය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.

“පුත්තා මත්ථි ධනං මත්‍ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තානි අත්තනෝ නත්ථී
කුතෝ ‘පුත්තා කුතෝ ධනං”

යන බුද්ධ දේශනාවට අනුව බාලයා හෙවත් මෝඩයා හැම විටම සිතනුයේ දරුවන් ධනය තම යහපත සතුට බවයි. එහෙත් තමාට තමාවත් නැති කල්හි ධනයෙන් හා දරුවන්ගෙන් ඇති ප්‍රයෝජනයක් තිබේද? යන්න බුද්ධිමත්ව අප අවබෝධ කරගත යුත්තකි. ඇතැම් තිරිසන් සතුන්ගේ මරණයෙන් පසු ශරීරයෙහි විවිධ අංග ප්‍රයෝජනයට ගත හැකි වුවද මනුෂ්‍ය ශරීරයෙන් ගත හැක්කේ කුමක් ද යන්න ගැඹුරින්ම සිතට ගත යුතු වටිනාම කරුණකි. මේ නිසා දුර්ලභ මිනිසත් බව ලද අප උපත සමගින් මරණය යන ධර්මතාවයට අනිවාර්යෙන්ම මුහුණදීමට සිදුවන බව දැනගෙන ජීවත්වීම සැහැල්ලු අල්පේච්ඡ දිවි මගකට බෙහෙවින් හේතු වනු ඇත.

“සබ්බං පහාය ගමනීයං’ සියල්ල හැර දමා මෙලොවින් යන අප රැගෙන යන්නේ මොනවා දැයි යන්න තම තමාගේම බුද්ධියෙන් විමසිය යුතු කාලය එළඹ ඇත. එවිට නූතන සමාජයෙහි පවතින බොහෝ ගැටලු සඳහා විසඳුම වන අතරම මරණ ධර්මතාවය ඔස්සේ උඩුගං බලා යෑම හෙවත් නිවන් මඟට බෙහෙවින් හේතු සම්පන්න වන බව මතකෙහි තබා ගන්න.

දර්ශනපති – කනංකේ විජිත නන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment