ඔබේ බෝධිය ඇත්තේ ඔබේ සිත තුළය

985

අනවශ්‍ය වේලාවක අනවශ්‍ය නාඩගමක් නැටීමට ගොස් ජෙරොම් ප්‍රනාන්දු නමැති පාස්ටර්වරයා ඇනගත් ඇනගැනිල්ල දිවැසිවරුන් ලෙස පෙනී සිටින හතුරෙකුටවත් නොවේවා! පාස්ටර් යන වචනය ක්‍රිස්තියානි මූලයක් සහිත එක්තරා ආගමික කල්ලියකට හැරුණු විට සාමාන්‍ය ජනයාට පුරුදු නැත. සාමාන්‍ය ජනයා දන්නේ ලුවී පාස්චර් ගැන පමණි. ඔහු පැස්චරීකරණය නමැති බැක්ටීරියා නාශක ක්‍රමය හඳුන්වාදුන් විද්වතෙකි. කෙසේ හෝ වේවා මේ රටේ ප්‍රධාන ආගම් කීපයකට නිග්‍රහ කිරීමෙන් පසු රටින් පැනගිය පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු අද (ඉරිදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගැනීමත් පසුව උසාවියට ඉදිරිපත් කර ඇප ලබා ගැනීම හෝ රිමාන්ඩ් එකට යෑම මේ කතන්දරයේ ඉතිරි කොටස් ය. මිනිසෙකුට පහරදෙන විට ඒ මිනිසාගේ ජාතිය, කුලය, ප්‍රේමය සහ ආගම යනාදිය මඟහැර පහරදිය යුතුය. යම් හෙයකින් පහරදීමේදී පෙර කී තැන්වලින් එකකට හෝ වැදුනොත් ඒ මිනිහා තිරිසනකු බවට පත්ව මරාගෙන මැරෙන්නට යයි. බුදු දහම, ක්‍රිස්තියානි දහම, හින්දු දහම, ඉස්ලාම් දහම යනාදිය විවේචනය කිරීමෙන් ජෙරොම් ප්‍රනාන්දු පසුගියදා කළේ උග්‍ර මීහරක් වැඩකි. මේ සම්බන්ධයෙන් ඔහුට කෑමට සිදුවන පරිප්පුව සුළුපටු නොවේ. එහෙත් ජෙරොම් ප්‍රනාන්දු අයත් ආගමික කල්ලිය ඉතා බලසම්පන්නය. ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික කල්ලියේ මූලස්ථානය මීගමුවේ ඉදිකළ අතර ඒ සඳහා රුපියල් මිලියන තුන්දහසක් පමණ වැයකළේය. ඔහු මෙතරම් සල්ලියක් අතගාන්නේ කොහොමද? ඔහු සතුව සල්ලි අච්චුගහන මෝලක් තිබේද? නැත්නම් වෙන රටකින් ඔහුට සල්ලි එන්නේද? අපට තිබෙන තොරතුරුවලට අනුව ජෙරොම් ප්‍රනාන්දුට ඔහුගේ ආගමික නිකායේ මූලස්ථානයෙන් සහ වෙනත් විදේශික පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් ගලා එයි. ඒවා ඩොලර් ය. මෙන්න මෙතැනදී අපට ටිකක් ඇඹරීමට සිදුවෙයි. පිටරටින් එන ඩොලර් කෙරෙහි මේ දිනවල අප තුළ අප්‍රමාණ ගෞරවයක් පවතී. පසුගිය කාලයේදී අප හිටියේ ඩොලර් නැතිව හඬාවැළපෙමිනි. ජෙරොම් ප්‍රනාන්දුගේ මීගමුවේ ආගමික මූලස්ථානය ඉදිකර ඇත්තේ අක්කර 5 ත් – 10 ත් අතර භූමියක බව කියනු ලැබේ. ඒ භූමිය මේ රටේ සිටින ව්‍යාපාරිකයකුට පර්චස් එක රුපියල් 500 බැගින් ආණ්ඩුවෙන් ලැබුණ ඉඩමක් බව ද කියනු ලැබේ. (මේ ආණ්ඩුව නොවේ.) එම ව්‍යාපාරිකයා ජෙරොම් ප්‍රනාන්දුගේ ආගමික නිකායේ සාමාජිකයකු බැවින් මෙකී ඉඩම ජෙරොම් ප්‍රනාන්දුට තෑගි කළේලු. ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මේ දිනවල විශාල නොසන්සුන්තාවක් රටේ පවතින නමුදු ඔහුගේ මයිල්ගහකටවත් කිසිදු හිරිහැරයක් නොවන බව ද අපට විශ්වාසය. අන්තිමට අපට සිදුවන්නේ ඔහුගේ ආගමික නිදහසට බාධා කළ පිරිසක් ලෙස පිටරටවල්වල වැටෙන නඩු සඳහා පෙනී සිටීමටය.

කිසියම් ආගමක් කැඩී යෑම විශාල ආබාධයකි. හින්දු ආගම හැරුණු විට ක්‍රිස්තියානි, ඉස්ලාම්, බුදු දහම යන සියල්ලෙහිම කුඩා කල්ලි ඇත. බුදු දහම හැරුණු විට අනෙක් ආගම් සියල්ලෙහිම තිබෙන කුඩා කල්ලි කියන්නේ තමන් දෙවියන් වහන්සේට ඉතා කිට්ටු බවය. ක්‍රිස්තියානි ආගම තුළ කුඩා කල්ලි දහසක් පමණ ඇත. මේවා අතුරින් යොහෝවාගේ සාක්‍ෂිකරුවෝ, ජීසස් ඉස් එලයිව්, බෝන් එගේන් වැනි කල්ලි ආසියානු කලාපය තුළ ඉතා බලවත් අතර විශාල මෙහෙයුමක් ගෙනයයි. ඔවුන් වෙනත් ආගම්වල සිටින අය තම ආගමට හරවා ගන්නා අතර ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරයි. සාමාන්‍යයෙන් මිනිසුන් ආගම් මාරුකරන අවස්ථා කිහිපයක් තිබේ. පළමු කොට අතේ සතේ නැතිව නන්නත්තාර වී සිටින විට ඔවුහු තමන් එතෙක් ඇදහූ ආගමේ වත්තෘවරයා සමඟ තරහ වී වෙනත් ආගමකට සෙට්වෙයි. ඒ ආගමේ කට්ටිය ඔහුට මුදලින් උදව් කර කරදරවලින් ගොඩ දමයි. එසේම සනීප කිරීමට නොහැකි රෝගියෙක් ගෙදර සිටින විට ඔහු හෝ ඇය සනීප කර දිය හැකි ආගමක් වේ නම් පවුල පිටින්ම ඒ ආගමට බැඳෙති. එසේම සමහරුන්ට නිමක් නැති කරදර තිබෙන විට ද ආගම මාරුකිරීමට සිතේ. ලංකාවේ ක්‍රියාත්මක වන කුඩා ක්‍රිස්තියානි කණ්ඩායම් ඉහත සඳහන් ප්‍රශ්නවලදී කෙළින්ම වළට බැස මුදල් වලින් ඉණිමඟක් හදා වළේ සිටින මිනිහා එගොඩ කරයි. ඉස්ලාම් ආගමේ සිටින මූලධර්මවාදී කල්ලි නිසා ප්‍රධාන ආගමට ඇත්තේ ලොකු හිරිහැරයකි. අල්ලා දෙවියන් වහන්සේ හෝ මහම්මත්තුමා ප්‍රකාශ කර නැති විවිධ බොරු ප්‍රචාරය කරමින් මේ මූලධර්මවාදී ආගම් කල්ලි මිනී මරති. බුදු සසුනේද මෙවැනි ප්‍රශ්න තිබේ. කාලයෙන් කාලයට විවිධ පල්හොරු බුදුදහම ආරක්‍ෂක පලිහක් ලෙස යොදාගෙන හොර වැඩ කරති. පොතුහැර සාදන ලද ව්‍යාජ දළදා මාලිගාව මෙවැනි එක් සිද්ධියකි. එම ව්‍යාජ දළදා මාලිගාවේ භාරකාරයා බුදු දහමින් ලෙඩ සුව කරන බව කියා එතැනට රෝගීන් ගෙන්වා ගනී. මේ ළඟදී එයින් එක් අයෙක් මියගිය අතර ඔහුගේ පුතා පොලිසි ගියේය. මීළඟ ප්‍රශ්නය වන්නේ බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ පොතුහැර පළාතේ උපන් බව කියමින් භික්‍ෂුන් වහන්සේ සහ ගිහියන් පිරිසක් නාඩගමක් නැටීමය. බුද්ධෝත්පත්තිය සිදු වූ ඉන්දියාවේ තිබෙන නේරංජනා ගඟත් අනෝමා ගඟත් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බෝධියත්, උන්වහන්සේ සත්සතිය ගතකළ ස්ථානත් පොතුහැර පැත්තේ තිබෙන බව කියමින් මේ පිස්සු යක්කු යකා නටති. බුද්ධෝත්පත්තිය කොහේ සිදුවුණාම මොකද? අපට අවශ්‍ය උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය පමණි. කට්ටියක් බුදුන් වහන්සේ මෙහි උපන් බව කියන විට තවත් කට්ටියක් එසේ නොවන බව කියමින් නටන්නට පටන් ගනිති. මේ දෙගොල්ල මුහුණට මුහුණ හමු වූ විට ගුටි කෙළියක් ඇරඹේ.

ආගම යනු මහපාරට ගෙනැවිත් පොලුවලින් එකිනෙකා ගහගැනීම සඳහා යොදා ගත යුතු සාධකයක් නොව ආධ්‍යාත්මික වස්තුවකි. ඔබේ බෝධිය ඇත්තේ ඔබේ සිත තුළ ය. ඔබේ ආධ්‍යාත්මය විසින් එම බෝධිය අසලදී ඔබ සසරින් එතෙර කරනු ලැබේ. ඒ ඔබ මූලධර්මවාදී නොවී හරියාකාරව දහම ඇදහුවහොත් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment