ඔබේ වැසිකිළියත් වාස්තු  විද්‍යානුකූලද?

1976

වැසිකිළිය වර්ණ ගැන්වීමේ දී  සුදු හෝ ලා රෝස  පැහැයෙන් වර්ණ ගැන්විය යුතු අතර වැසිකිළිය  වර්ණ ගැන්වීම සඳහා රතු  පාට හෝ කළු පාට ඉතා  අශුභය. එබැවින් එම පාට ආලේප කිරීම හෝ එම පාටින් යුතු ටයිල් ඇල්ලීම නොකළ යුතුයි.

 මිනිස් අවශ්‍යතා අතර ප්‍රධානම අවශ්‍යතාවක් ලෙස සැලකෙන වැසිකිළිය ජනයා සෞඛ්‍ය සම්පන්නව තැබීමට බෙහෙවින් උපකාරී වේ. නිවසක් තැනීමට පෙර වැසිකිළිය තැනීම සාමාන්‍ය සිරිතයි. එහිදී ඒ සඳහා සුදුසු ස්ථානය වාස්තු දෝෂ නොමැතිවන සේ ලකුණු කර ගත යුතුයි. වැසිකිළි වර්ග කිහිපයකි. බාල්දි වැසිකිළි, වළ වැසිකිළි, ජල මුද්‍රිත වැසිකිළි හා කොමෝඩ් වැසිකිළි ඉන් ප්‍රධාන තැනක් ගනී. වැසිකිළිය සෑම නිවසකම තිබෙන අතර එය ඉඩමේ ප්‍රේත පාදයේ නිර්මාණය කිරීම බොහෝ වටී. දිශා සැලකීමේදී වැසිකිළියක් සඳහා නිරිත හා දකුණු දිශාව අතර සෑදෙන කෝණය නිර්දේශිත කර ඇත. කිසිවිටකත් උතුර හා ඊසාන අතර කෝණයේ, ඊසාන හා නැගෙනහිර අතර කෝණයේ, නැගෙනහිර හා ගිනිකොන අතර කෝණයේ, ගිනිකොන හා දකුණ අතර කෝණයේ, නිරිත හා බටහිර අතර කෝණයේ, බටහිර හා වයඹ අතර කෝණයේ හෝ වයඹ හා උතුර අතර කෝණයේ, වැසිකිළිය නොසෑදිය යුතුයි. වැසිකිළියක් උතුර, දකුණ, බටහිර හා නැගෙනහිර යන ප්‍රධාන දිශාවලද නොසෑදිය යුතුයි. උතුරට වැසිකිළිය සෑදීම තුළින් අඹු සැමියන් අතර භේද ඇති වන අතර දකුණු දිශාවේ වැසිකිළිය සෑදීම තුළින් නිතර සතුරු කරදර ගෙහිමියන්ට ඇති වේ. බටහිර දිශාවේ වැසිකිළිය සෑදීම තුළින් නිතර ලෙඩ දුක් කරදර ඇති වන අතර නැගෙනහිර දිශාවේ වැසිකිළිය සෑදීම තුළින් තම දුවා දරුවන්ට හානි පැමිණේ.

 වැසිකිළිය නිර්මාණයේදී දිශාවට අමතරව තවත් සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් ඇත. වැසිකිළිය මුළුතැන් ගෙයින් ඈත්ව පිහිටිය යුතුයි. වැසිකිළිය ළිඳේ සිට අඩි 50 කට වඩා වැඩි දුරකින් පිහිටිය යුතුයි. නිවසේ හරි මැදට කෙළින් ද වැසිකිළිය නොසෑදිය යුතුයි. වැසිකිළියක බිත්ති 4 ම තිබිය යුතු අතර බිත්ති 3ක් තිබීම අශුභ වන අතර නිවැසියන් පටන් ගන්නා කිසිදු කටයුත්තක් අංග සම්පූර්ණව ඉවරයක් දැකිය නොහැක. තවදුරටත් සැලකීමේදී පීතෘ බිත්තියකට යාකර වැසිකිළියක් සෑදීම ඉතා අශුභය. එමෙන්ම නන්දා, ඡයා වැනි ශුභ පාදයක වැසිකිළිය නොසෑදීමට වගබලා ගත යුතුය. වැසිකිළිය මුළුතැන් ගෙයි උඩ සෑදීම හෝ නිදන කාමරයේ උඩ සෑදීම ඉතා අශුභය. වැසිකිළිය මුදුන් යටලීයට හසු වීම ද අශුභය. එමෙන්ම වැසිකිළියේ හරි මැදට හුරුපාවක් වැටීම, නිවසේ මුල්ගල තැබූ බිත්තියට සම්බන්ධ වන සේ වැසිකිළිය තැනීම ඉතා අශුභය. වැසිකිළියට හොඳ වාතාශ්‍රයක් ලැබිය යුතු අතර හිරු එළිය ද වැසිකිළිය තුළට වැටීම ඉතා වටී. එහිදී විෂබීජ විනාශ වීම සිදු වේ.

 වැසිකිළියත් නිවසට බද්ද කර සාදන්නේ නම් නිවසේ අත්තිවාරමට පහළින් මෙන්ම අත්තිවාරමට අඟල් කිහිපයක් පිටතින් බිත්ති 4ක් සිටින ලෙස සාදා ගැනීමයි. වැසිකිළිය නිවසට පිටින් වේ නම් නිවසේ අත්තිවාරම වැසිකිළියේ අත්තිවාරමට කොන් නොවැටිය යුතුයි. වැසිකිළිය ඉඩමේ මුළු වල නොසෑදිය යුතු අතර මර්මස්ථාන රේඛාවලට ද හසු නොවිය යුතුයි.

 නිවසක සාදන වැසිකිළිය පමණක් නොව වැසිකිළි වළ ද වාස්තු විද්‍යානුකූල විය යුතු බව සෘෂි මතයයි. අඩි 6ක් පමණ ගැඹුරු වැසිකිළි වළ කොටස් දෙකකි. ඒ ප්‍රතිත හා ගවර ලෙසය. ප්‍රතිත ටැංකිය කපරාදු කරන අතර ගවර වළ කපරාදු නොකරයි. වැසිකිළි වළ ඝනකම කොන්ක්‍රීට් පියනකින් ආවරණය කළ යුතු අතර වැසිකිළි වළ ද ඉඩමේ ප්‍රේත පාදයේම සෑදිය යුතුයි. ප්‍රතිත වළට හා ගවර වළට වාත නලයක් සවිකළ යුතුයි. එවිට විෂ වායු රැස්වීම වලකී. වැසිකිළිය මෙන්ම වැසිකිළි වළ ද නිවසට කොන් නොවැටිය යුතු අතර බ්‍රහ්ම පාදයේ හෝ දේව පාදයේ ඉඳි නොවිය යුතුයි. එමෙන්ම ඉඩමේ මර්මස්ථාන රේඛාවලට ද වැසිකිළි වළ හසු නොවිය යුතුයි. තවද වැසිකිළි වළ නිවසේ යටලීවලට දොර ජනෙල් මැදට වැටීම ඉතා අශුභය. වැරදීමකින් හෝ වැසිකිළි වළ ඉඩමේ මනුෂ්‍ය පාදයේ කැපුවහොත් අදාළ නිවැසියන්ට නිවස ඵලදීම අඩු වේ. ටික කලකින් නිවස හැරදමා යෑම දැකිය හැක. ඉඩමේ බ්‍රහ්ම පාදය තුළ වැසිකිළිය තැනීම තුළින් නිවැසියන් අතර නිතර අඩදබර, අමනාපකම් ඇති වන අතර නිවසේ සාමය මුළුමනින්ම බිදී යනු ඇත. එමෙන්ම ඉඩමේ අටකොන මුල්කර ගෙන විහිදෙන මර්මස්ථාන රේඛාවලට වැසිකිළි වළ අසුවුවහොත් නිවැසියන්ට මාරක අපල, ලෙඩ දුක් නිතර ගෙනදෙනු ඇත.

 වැසිකිළි වළ නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකුට එකවර පෙනේ නම් එය ද වාස්තු දෝෂයක් ලෙස පුරාණ පොත පතේ සඳහන් වේ. එසේම වැසිකිළි වළ උතුරු දිශාවේ සිට පිළිවෙළින් නිරිත දිශාව දක්වා ඉදිකිරීම සුදුසු නැත.

 වැසිකිළිය වර්ණ ගැන්වීමේ දී සුදු හෝ ලා රෝස පැහැයෙන් වර්ණ ගැන්විය යුතු අතර වැසිකිළිය වර්ණ ගැන්වීම සඳහා රතු පාට හෝ කළු පාට ඉතා අශුභය. එබැවින් එම පාට ආලේප කිරීම හෝ එම පාටින් යුතු ටයිල් ඇල්ලීම නොකළ යුතුයි. වැසිකිළියේ කොමෝඩ් එක මුල්ලක සවි නොකළ යුතු අතර එය ඉතා පිරිසිදුව තබාගත යුතුයි.

 පුද්ගලයන්ගේ සනීපාරක්ෂාව සඳහා මහෝපකාරී වන වැසිකිළිය ඉදිකිරීමේදී උක්ත කරුණු සියල්ල සැලකීමට ගෙන ඉදිකළ යුතුයි. එවිට ඔබේ දිවියට මෙන්ම ඔබෙන් යැපෙන්නන්ගේ එනම් අනෙක් නිවැසියන්ගේ ජීවිත ද සරුසාර වී මුළු පවුලම සෞභාග්‍යයෙන් යුතු ජීවිතයක් ගෙවනු නොඅනුමානය.

ඔබේ වැසිකිළියත් වාස්තු  විද්‍යානුකූලද?

 ජ්‍යොතිෂවේදීනි, දේශබන්දු,
 ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී,
 පල්ලේබැද්ද, පානදුර.
 දු.අංකය – 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment