ඔබේ සිරුරට ඇතුළුවීමට බලා සිටින අමනුෂ්‍ය බලවේග

888

කෙනකුට යකෙක් ගහල, නැත්නම් ප්‍රේතයෙක් භූතයෙක් වැහිල යැයි අපට සාමානය ව්‍යවහාරයේදී බහුලව අසන්නට ලැබෙන ප්‍රවෘත්තියක්. එය මිනිසාගේ මානසික මෙන්ම ශාරීරික සුවයට දැඩි ලෙස බලපාන බව කව්රුත් ප්‍රසිද්ධියේ නොපිළිගන්නා රහසක්. මෙවැනි අය බොහෝවිට කෝවිල් දේවාල අසලදී ප්‍රලය වනවා නැත්නම් ආවේශ වනවා අපට දැකගන්නට පුළුවන්. ඔවුන්ගේ සිරුරුවල චලනයන් බලා සිටින්නන් විශ්මයට පත් කරන සුළුයි. සමහර විට හිස කරකවන වේගය හිස ගෙලින් වෙන්වේ යැයි අපට සිතේ. දිව දික්වන අන්දම යක්ෂ ස්වරූපයක් ගනී. සමහරු ඔවුන් බොරු කාරයන් යැයි පැවසුවත් ඒ බොරුවක් නම් නොවන බවක් දකින්නාට පැහැදිලි වේ.

මෙහිදී තවත් අවස්ථාවක් වන්නේ ශාස්තර කියන පුද්ගලයන්ට දෙවියන් වැහී ඇතැයි යන මතයයි. කිසිවිටක දෙවියෙක් මනුෂ්‍ය ශරීරයකට ඇතුළු වීමක් සිදුනොවේ. නමුත් දෙවියන් ළඟ ආවතේව කරන යම් ආත්මයන්ට එසේ සිරුරකට ඇතුල්වන්නට හැකියාව තිබේ. මෙවැනි අයට වර්තමානය පිළිබඳව යම්යම් දේ පැවසීමටද හැකියාව තිබෙන නමුත් අනාගතය පිළිබඳ කිසිවක් පැවසීමට හැකියාව නොමැත. එබැවින් ඒ කෙරෙහි අචල විශ්වාසයක් තැබීම නුවණට හුරු නොවේ. ජ්‍යොතිෂය අනුව නම් පාපි ග්‍රහයන්ගේ කාල වකවානු තුළ මෙලෙස ආත්මයන්ට සිරුරකට ඇතුළු විය හැකි බව පැවසේ.

සමහර පුද්ගලයන් පෙළෙන ශාරීරික හෝ මානසික රෝග කිසිම වෛද්‍යවරයකුට හඳුනාගත හැකි නොවේ. වෛද්‍ය වාර්තාවලද කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. මෙවන් අවස්ථාවල අප කවුරුත් වෙන වෙන මංපෙත් සොයා යති. ශාස්තර අසති. පේන බලති. වෙනත් ශක්තීන්වලින් ලෙඩ සුව කරන ස්ථානවලට යති. සමහර අවස්ථාවල එවැනි ස්ථානවලින් සුවයද ලබති.

නොපෙනෙන බලවේග නොහොත් ප්‍රේත භූත මළයක්ෂ ආත්මයන් ගැන අනාදිමත් කාලයක සිට අප අසා තිබේ. ලොව සෑම ආගමකම පාහේ මෙම ආත්මයන් ගැන සඳහන් වේ. බුදුරජාණන්වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේද මෙම ආත්මයන්ගේ ආගමනය පිළිබඳ මනා වැටහීමකින් සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි. ‘බුදු රජාණන්වහන්සේ ගේ සමහර පිරිත් දේශනාවලින් මෙම අමනුෂ්‍ය බලවේගවලට ඇමතීමක් පවා සිදු කර තිබේ. ජේසුස් වහන්සේ ගේ ප්‍රාතිහාර්යන් අතර වඩාත්ම දක්නට ලැබෙන්නේද මෙම අමනුෂ්‍ය බලවේග ඉවත්කිරීමේ ක්‍රියාවලියන්ය. අපේ රටේද දේවස්ථානවල මෙම ආත්මයන් ඉවත් කිරීමේ දේව මෙහෙයන් දක්නට ලැබේ. භෞතිකවාදීන් මේ සියල්ල ප්‍රතික්ෂේප කළද ඒවායේ ආදීනව දන්නේ ඒවායින් පීඩා විඳින පුද්ගලයන් සහ ඒ පවුල්වල අය පමණි.

කෙටියෙන් කිවහොත් මෙහිදී සිදුවන්නේ මියගිය පුද්ගලයෙක්ගේ ආත්මයක් ජීවත්වන පුද්ගලයකුගේ සිරුරට ඇතුළුවී එම පුද්ගලයාගේ මුළු ජීවිතයම නතු කර ගැනීමය. සමහර විට එක සිරුරකට ආත්ම කීපයකට ඇතුල් වන්නට පුළුවන. මෙහි අයහපත් මෙන්ම යහපත් බලපෑම්ද ඇතිවන්නට පුළුවන. සමහර දුෂ්ඨ ආත්මයන් එම නතු කරගත් පුද්ගලයාගේ මුළු ජීවිතයම විනාශ මුඛයට ඇද දමති. සමහර අවස්ථාවල මෙම ආත්ම සිරුරකට පිවිසීම අපට දැනගත නොහැකිය. සමහර ආත්මයන් ඇතුල්වන පුද්ගලයාට යහපත් ප්‍රතිපල ගෙන දෙයි. ආගමට දහමට ඇති භක්තිය විශ්වාශය, ඉහළ අධ්‍යාත්මික තත්ත්වය, මෙම ආත්ම විකර්ශනය කරයි. බොහෝ ආත්මයන් ඇතුළු වන්නේ තමන්ට මොන හෝ සම්බන්ධයක් ඇති අයකුගේ සිරුරටයි. තවද මෙම ආත්මයන් තමන් මියගිය වයස අනුව ස්වභාව ලක්ෂණ පෙන්වයි. මහලු ආත්මයක් නම් එම ස්වරයෙන් අමතන අතර තරුණ ආත්ම තරුණයකු මෙන් හැසිරෙයි. කතා කරයි. මෙලෙස මිනිස් සිරුරට ඇතුල් වන ආත්මයන් පහත සඳහන් ලෙස වර්ග කළ හැක.

වික්ෂිප්ත ආත්මයන් –

හදිසි අනතුරකදී හෝ හදිසි රෝගාබාධයකින් මියගිය අතරමංවූ ආත්මයන් කෙනකුග් සිරුරට ඇතුළු වන්නට පුළුවන. මෙයට හේතුව එම ආත්මයට හදිසියේම මියයෑම නිසා තමන් මියගොස් යන හැඟීම නොමැතිවීමයි. ඔවුන් බොහෝ විට තම ළඟම ඥාතියකුගේ සිරුරට ඇතුළු වෙති. එම ආත්මයන් එතරම් අනතුරුදායක නොවේ.

දුෂ්ට ආත්මයන් –

මෙම ආත්ම නොයෙකුත් හේතුන් නිසා මිනිසුන්ට හිරිහැර කරති. සමහර අවස්ථාවල මනුලොව ජීවත්වන අවදියේ නොයෙකුත් අසාධාරණකම්වලට සහ අපයෝජනයට ලක්වීම නිසා මුළු සමාජය කෙරෙහිම ඇතිවූ වෛරයෙන් පළිගැනීමේ චේතනාවෙන්ම මෙලෙස හැසිරෙති. මොවුන්ට කෙනකු හදිසි අනතුරකට ලක් කිරීම, සොරකම් කරවීම සහ මිනී මැරීමට පවා පෙළඹවීම සිදු කළ හැක. තවත් සමහර විට ප්‍රබල භූතාත්ම වැනි ආත්මයන් කෙනකුගේ සිරුරට ඇතුළුවී ඔහුව රවටා නිදසුනක් වශයෙන් ඔහු රහත් භාවය, බුද්ධත්වය, බෝසත් බව, ලබා තිබෙන බව අඟවා ඔහුගේ ආත්මයම වෙනස් කළ හැකිය. මෙවැනි නිදසුන් අද සමාජයේ බොහෝ විට දක්නට ලැබේ. ඔවුන්ද අසරණය. කිමද ඔවුන් තමන්ට එවැනි ආත්මයක් ඇතුළුවී ඇති බව නොදැනීමයි.

විනෝදකාමී ආත්මයන් –

මොවුන් ඉබාගාතේ සැරිසරන ආත්මයන්ව රාගික ආශ්වාදය සඳහා තරුණ තරුණියන්ගේ සිරුරුවලට ඇතුළුවන්නට පුළුවන. ඔවුන්ගෙන් එතරම් හිරිහැරයක් සිදු නොවන අතර ඔවුන් එයින් කරන්නේ යම් ආශ්වාදයක් ලැබීම පමණි.

මත්ද්‍රව්‍ය සහ සුරාලෝලී ආත්මයන් –

මෙලොව සිටියදී ද සුරාලෝලීන් සහ මත්ලෝලීන්ව සිටි මෙම ආත්මයන් මියයෑමෙන් පසු මත් ලෝලීන් සහ සුරාලෝලී පුද්ගලයන් ආකර්ශනය කරයි. මත්ද්‍රව්‍ය මත්පැන් විකුණන ස්ථානවල මොවුන් අරක්ගෙන සිටින අතර ඒවාට පැමිණෙන පුද්ගලයන් වඩ වඩාත් මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට යොමු කරති. ඒ මගින් තම පිපාසය සංසිඳුවා ගනිති. කිසිදා මත්පැන් පොදක් තොළ නොගෑ පුද්ගලයන් හදිසියේම මත්ලෝලීන් වන්නේ මොවුන්ගේ ක්‍රියාකාරීත්වය නිසාය.

රාගාධික ආත්මයන් –

ජීවත්ව සිටින අවධියේ ඉතා රාගාධික පුද්ගලයන් මියගිය පසු තම රාගාධික හැඟීම් සන්තර්පනය කර ගැනීම සඳහා මෙලෙස තරුණ කාන්තාවන් සහ පිරිමින්ගේ සිරුරවල ඇතුළුවී ඔවුන්ගේ රාගාධික හැඟීම් වර්ධනය කර ඔවුන් වරදට පොළඹවති. විශේෂයෙන්ම අනියම් සබඳතාවලදී වැනි රාගික හැඟීම් උත්සන්න වන අවස්ථාවල සිදුවන සංවාසයේදී මෙම ආත්මයන් ඉතා පහසුවෙන් සිරුරුවලට ඇතුල් වී තම ආශාවන් සංතර්පණය කර ගනිති. සමහර විට ස්ත්‍රී දූෂණයට පවා පොළඹවති. අපේ පැරැන්නන් තරුණියන්ට ඇඳිරි වැටෙන අවස්ථාවල තනිපංගලමේ ඇවිදින්නට නොයන්න යැයි උපදෙස් දී ඇත්තේද මෙම හේතුව නිසාය.

ළදරුවන් අසල සැරිසරන ආත්මයන් –

ළදරුවෙක් ඉපදුන විගස සමහර ආත්මයන් දරුවා අසලට රොක්වෙති. දරුවා මව්කුසේ සිටින අවස්ථාවල පවා මෙය සිදුවිය හැක. අපේ පැරැන්නන් දරුවන් තනිනොකළේ මේ නිසාමය. මෙම ආත්මයන් නිසා දරුවන් රෝගී වන්නට පුළුවන. බොහෝ දරුවන් තනිව සිටින විට හඬන්නේත් මේ නිසාමය. ඔවුන්ට මොවුන්ගේ හැසිරීම දැන ගන්නට හැකියාව ඇත. කිසි විටක ළදරුවෙක් තනිවම කාමරයක නොතැබිය යුතුය.

අමනුෂ්‍ය ආත්මයන් ආකර්ශනය කරන කරුණු

සමහර පුද්ගලයන් අනෙක් අයට වඩා මෙම ආත්ම ආකර්ෂණයට කරති. මෙය එම පුද්ගලයාගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය මත රඳාපවතී. නිරෝගී මනසක් සහ සිරුරක් ඇති පුද්ගලයන්ගේ ශක්ති ශරීරය නොහොත් ඕරාව ශක්තිමත් වේ. එවැනි සිරුරකට මොවුන්ට ඇතුල් විය නොහැක. අපිරිසිදු කම, මානසික ව්‍යාකූලත්වය මෙම ආත්මයන් දැඩි ලෙස ආකර්ෂණය කරයි.

ශක්ති ශරීරය නොහොත් ඕරාවේ සිදුරු ඇතිවීම

අප දැඩි මානසික පීඩනයට, රෝගී තත්ත්වයකට, දරුණු අපයෝජනයකට පත් වූ අවස්ථාවල අපගේ ඕරාවේ කුඩා සිදුරු හටගනී. මේවා තුළින් සිරුරේ ශක්තිය කාන්දු වීමට පටන් ගනී. එවැනි අවස්ථාවල මෙම බලවේගවලට අපේ සිරුරට ඇතුල්වීමට අවකාශ ලැබේ. සාමාන්‍යයෙන් මෙම අමනුෂ්‍යයන් පෝෂණය වන්නේ අපගේ බහිස්ස්‍රාවිය ද්‍රව්‍ය එනම් සෙම්, සොටු, අසූචි, මාස්ශුද්ධියේ පිටවෙන අපිරිසිදු රුධිරය වැනි දේවල්වලිනි. තවත් සමහරු මිනිසුන්ගේ කෝපය, වෛරය, වැනි හැඟීම්වලින් පෝෂණය වෙති. සිරුරට ඇතුල් වන මොවුන් සිරුරේ ඉන්ද්‍රියන්ට ඇලී ඒවා අවහිර කිරීමෙන් රෝගාතුර කරති.

සිරුරට ආත්මයක් ඇතුළුවී ඇති බව පෙන්වන ලක්ෂණ

හදිසියේම සිදුවන කෙනකුගේ වෙනස්වීම, ඉතා පිරිසිදුව ජීවත්වූ අයෙක් හදිසියේ ඉතා අපිරිසිදු ලෙස කටයුතු කිරීම, රුචි අරුචිකම් හදිසියේ වෙනස්වීම නිතරම කලකෝලහාල කිරීම, අඳුරට සහ නින්දට ඉතා ප්‍රිය කිරීම, හඳුනාගත නොහැකි උදරාබාධ, හෘදයාබාධ වැනි රෝග ලක්ෂණ පෙන්වීම. ඉතා අලස බව, ආගමික ස්ථානවලට යෑම ප්‍රතික්ෂේප කිරීම, දේවාලවලදී ප්‍රලය වීම, මත්පැන් පොදක් කට නොගෑ අයෙක් හදිසියේම මත්ලෝලීවීමද මෙවැනි ලක්ෂණයි.

සිරුරකට ඇතුළුවූ ආත්මයන් ඉවත්කිරීම

භූත යක්ෂ හෝ ප්‍රේත ආත්මයක් සිරුරකට ඇතුළුවූ පසු ඉවත්කිරීම එතරම් පහසු කාර්යක් නොවේ. මේ සඳහා විවිධ රටවල් විවිධ ක්‍රම භාවිතා කරති. අපේ රටේ නම් තොවිල් පවිල් කරති. බෝතල්වලට දමා සිරකර ගඟේ මුහුදේ දමති. නමුත් මේ ඉවත්කරන ආත්මයන් කලකදී නැවතත් එම සිරුරට ඇතුළුවීමට ඉඩකඩ තිබේ.

මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය

ආත්මයක් ඉවත්කිරීමේ සාර්ථක මෙන්ම යහපත්ම ක්‍රමය නම් තම මානසික සහ අධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්ත්වයකට පත්වීමයි. මෙහිදී තමන් අදහන ආගම ඉතා භක්තියෙන් විශ්වාශයෙන් ඇදහීම පිරිත්, යන්ත්‍ර, මන්ත්‍ර, බෝධිපූජා වැනි දේවල යෙදීම, පින්දහම්වල නිරත වීම, මගින් තම අධ්‍යාත්මික සිතුවිලි වර්ධනය කිරීම වැනි දේ මගින් මෙම ආත්මයන් සදහටම ඉවත් කිරීමට හැකියාව තිබේ.

අධි මානසිකත්වයක් හෝ උසස් අධ්‍යාත්මික තත්ත්වයක ඇති පුද්ගලයන්

මෙම පුද්ගලයන්ට මෙම ඇතුල්වී තිබෙන ආත්මයන් සමග සංවාදයක් ඇති කරගත හැක. ඒ මගින් එම ආත්මයන්ට අවශ්‍යදේ හඳුනාගෙන ඒවා ලබාදී ඔවුන් තෘප්තිමත් කිරීමෙන් ඉවත් කිරීමට හැකියාව තිබේ.

● ආදරය, කරුණාව, මෛත්‍රිය

ආදරය කරුණාව සහ මෛත්‍රිය යන ලොව පවතින ප්‍රබල සිතුවිලිවලටද මෙම සිරුරට ඇතුල් වන ආත්මයන් ඉවත් කිරීමට හැකියාව තිබේ. ප්‍රබල යාඥා මෙහෙයන් මගින් ද මෙය සිදුකළ හැක. එවිට තවත් යහපත් ආත්මයක් මෙයට මැදිහත්ව අයහපත් ආත්මය ඉවත් කිරීමක් සිදුවේ.

කෙනකුට මෙලෙස යම් අමනුෂ්‍ය ආත්මයක් සිරුරට ඇතුළුවූ විට ඔවුන් උපහාසයට අපහාසයට ලක් නොකර ඔවුන්ගේ මුදල් ගරා නොගෙන ඔවුන් මුදවාලීමට උදව් උපකාර කිරීම මෙන්ම අපේම නෑදෑ හිතවතුන් වන මෙම ආත්මයන් ද පීඩනයට ලක් නොකර කටයුතු කිරීම මහා පුණ්‍යකර්මයකි. මෙම ආත්මයන්ට කෙනකුගේ වත්පොහොසත්කම් බලපුළුවන්කාරකම් වැදගත් නොවේ. අප කාටත් යම් දිනක මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බව මතක තබා ගත යුතුවේ.

(අන්තර්ජාලය ඇසුරිනි)

ප්‍රවීණ අධ්‍යාත්මික ලිපි ග්‍රන්ථ ලේඛිකා
ශ්‍රියානි ද සේරම් විසිනි
දු.ක 0778465025

advertistmentadvertistment
advertistmentadvertistment