ඔබ ප්‍රතිපත්තියක් තුළ ජීවත් විය යුතුයි – කොළඹ අගරදගුරු මැල්කන් රංජිත් කාදිනල්තුමා

102

“අනාගතය භාර ගන්නා ඔබ මුදල් හා බලය ප්‍රතිපත්තිය කර නොගෙන සාරධර්ම හා වටිනාකම් පදනම් කරගත් ප්‍රතිපත්තියක් තුළ ජීවත් විය යුතු” යැයි කොළම අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කොළඹ සාන්ත ජෝශප් විදුහලේ 125 වන ජුබිලි සැමරුම් උළෙල අමතමින් සිසු දරුවන්ට අවධාරණය කර සිටියි.

එදින විශේෂ ජුබිලි සැමරුම් දේව මෙහෙයෙන් අනතුරුව පැවැති උත්සව සභාවේදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශේෂ ජුබිලි සැමරුම් මුද්දරයක් නිකුත් කෙරුණු අතර එය එම විදුහලේම ‘ලක්රුවන් පොන්සේකා’ සිසු දරුවා විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

කතෝලික පාසලක අවශ්‍යතාවය හඳුනාගෙන මෙම විදුහල ගොඩනැංවීමට පුරෝගාමී වූ එවකට කොළඹ අගරදගුරු අතිඋතුම් ක්‍රිස්ටෝපර් බෙන්ජීන් හිමිපාණන්ගේ, ආරම්භක විදුහල් අදියුරු චාර්ලිස් කොලින් (නි. මනි.) සහ දෙව්මැඳුර නිර්මාණය කළ හතරවන විදුහල් අදියුරු, මොරිස් ජේ. ලෙගොක්

(නි. ම. නි.) යන පියවරුන්ගේ උඩුකය ප්‍රතිමා තුනක් ද කාදිනල් හිමිපාණන් අතින් විවෘත කෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ, අනාගත පුරවැසියන් වන වත්මන් සිසු පරපුර කිසිදා මවුරට අතහැර නොයා යුතු බවත්, උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුවත් නැවත ආපසු පැමිණ වැටෙමින් පවතින අපේ මවුබිම ගොඩනැංවීමේ භාරධූර කාර්යභාරයට උරදිය යුතු බවත් පෙන්වා දුන්හ.

එමෙන්ම විදේශගත වීම හරහා වැඩි මුදල්, විවිධ සම්පත් හා සුපිරි පහසුකම් ලැබිය හැකි වුවත් අපේ මවුබිම වැඩි දියුණු කිරීමේ යුතුකම හා වගකීම කිසිදා අමතක නොකළ යුතු බවත් වැඩිදුරටත් කාදිනල් හිමියෝ අවධාරණය කර සිටිති.

එම අවස්ථාවට කොළඹ අගරදගුරු පදවියේ අතිඋතුම් මැක්ස්වල් සිල්වා සහ අතිඋතුම් ඇන්ටන් රංජිත් යන සහායක රදගුරු හිමිවරුන් ප්‍රමුඛ හිටපු අදියුරුවරුන් වන ආචාර්ය වික්ටර් සිල්වා, ආචාර්ය සිල්වෙස්ටර් රණසිංහ, ට්‍රැවිස් ග්‍රේබියෙල් යන පියවරුන් වත්මන් හා ආදි සිසුන්, ගිහි පැවිදි රැසක් සහභාගි වූහ.

වත්මන් විදුහල් අදියුරු, රංජිත් අන්ද්‍රාදි පියතුමාගේ උපදෙස් පරිදි චාම් එහෙත් අර්ථාන්විතව ජුබිලි සැමරුම් උළෙල සංවිධානය කර තිබිණ.

හැඳල – පී. ජේ. ස්ටැනිස්ලස්
ඡායාරූප-සුනිල් ටී. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment