ඔබ සොරකම දුටුවාද? (මම නුදුටිමි – මම නුදුටිමි)

1160

දූෂණය පිටු දැකීම සඳහා කිසිදු කාරණයක් නොකළ රටවල් අතර ශ‍්‍රී ලංකාව තවදුරටත් ඉදිරියෙන් සිටින බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නමැති ආයතනය නිකුත්කර තිබෙන ජාත්‍යන්තර දූෂණ දර්ශකය නමැති ලියවිල්ල මගින් ප‍්‍රකාශ කර ඇත. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යනු ජාත්‍යන්තර මට්ටමේ තිබෙන රාජ්‍ය නොවන සංවිධානයකි. පිට රටවලින් ලැබෙන ආධාර යොදාගෙන මේ සංවිධානය තුන්වේල කයි. මේ සංවිධානයට ශ‍්‍රී ලංකා ශාඛාවක්ද තිබේ. බටහිර රටවලින් මෙහි පැමිණ එදා වේල උපයාගෙන කන රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ඇත. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය හිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් එම අයිතිවාසිකම් සුරැුකීම සහ එම අයිතිවාසිකම් පරීක්ෂා කිරීම සඳහා පිට රටින් ලැබෙන සල්ලිවලින් තම තමන්ට පඩි ගෙවාගෙන ජීවිත ගැට ගසා ගනී. ලංකාවේ තිබෙන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ජීවත් වන්නේද මේ ආකාරයටමය. මීට අමතරව අහල පහල රටවල අර්බුදවලට මැදහත්වීමේ සංවිධානය, අල්ලපු ඉඩමේ හතර මායිම ගැන සොයන සංවිධානය, එහා ගෙදර මිනිහා කවර ගෙදරක කාන්තාව සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේද සෙවීමේ සංවිධානය යනාදී වශයෙන් සංවිධාන ගණනාවක් මේ රටේත්, ආසියාවේ සහ අප‍්‍රිකාවේ දුප්පත් රටවල් බොහොමයකත් ඇනබාගෙන සිටිති. එහෙත් මේ රටේ මිනිහා තුන්වේලෙන් අවම වශයෙන් දෙවේලක්වත් බඩට කෑවේද යන්න සොයාබලන සංවිධානයක් තවමත් මේ රටට පැමිණ නැත.

කුසගිනි නිවීමේ ජාතික ව්‍යාපාරය, ජාතිය ගිනි තැබීමේ කුසගිනි ව්‍යාපාරය යනාදී වශයෙන් වූ ව්‍යාපාර ද මේ රටේ තිබෙන්නට පුළුවන. ඒවායින් බොහෝවිට සිදුවන්නේ කුසගිනි නිවීම වෙනුවට ජාතිය ගිනි තැබීමය. කෙසේ හෝ වේවා, පිට රටින් මෙහි පැමිණ ඇනබාගෙන සිටින එන් ජී ඕ එකක් වුවද ශ‍්‍රී ලංකාවේ දූෂණ සම්බන්ධයෙන් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියන කතාවට එකඟවීමට අපට සිදුවෙයි. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එසේ නොකීවත් දූෂණ පිටුදැකීම සඳහා ශ‍්‍රී ලංකාව කවදාවත් කිසිදෙයක් කර නැත. වෙන දූෂණ තබා මේ රට ස්ත‍්‍රී දූෂණයක්වත් පිටු නොදකී. ස්ත‍්‍රී දූෂකයන් ගලවා ගැනීම සඳහා ලෝයර්ලා රොතු බුරුතු පිටින් උසාවි දුවනු අපි දැක ඇත්තෙමු. ඇතැම් විට වින්දිත දැරිය හෝ කාන්තාව වෙනුවෙන් අඩු මුදලකට හෝ නොමිලේ කතා කිරීම සඳහා එකම නීතිඥයෙක්වත් ඉදිරිපත් නොවන අවස්ථා තිබේ.

දූෂණයක් පිටු නොදැකීම යනු දූෂණයක් දැක දැක නොදැක්කා සේ සිටීමකි. නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකාව ඉතා වේගයෙන් අල්ලස් සංස්කෘතිය වෙත ඇදී ගියේය. අල්ලස් පනතට යටත් වන්නේ රජයේ සේවයයි. මේ නිසා අපට මූලිකවම කතා කිරීමට සිදුවන්නේ රාජ්‍ය දූෂණය පිළිබඳවයි. භයානක සොරුන් සහ මංකොල්ලකාරයන් දඬුවම් කාලය අවසන් වී හෝ වෙනත් හේතූන් මත නිදහස්ව සමාජයට අවතීර්ණ වී සිටින නිසා ප‍්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ඉල්ලමින් මහජනතාව වෙත නියෝගයක් නිකුත් කිරීමට බස්නාහිර පළාතේ පොලිසියක් පසුගියදා පියවර ගත්තේය. සාමාන්‍යයෙන් මෙවැනි රතු නිවේදන නිකුත් කරන්නේ අංක එකේ මත්ද්‍රව්‍ය රටක් වන කොලොම්බියාව, හොරුන්ගේ තිප්පළක් වන බ‍්‍රසීලය, මුහුදු කොල්ලකරුවන්ගේ රාජධානියක් වන සෝමාලියාව ඇතුළු රටවල් ස්වල්පයක පොලිසි පමණි. එසේ තිබියදී ශ‍්‍රී ලංකාවේ පොලිසියද එකී ලැයිස්තුවට ඇතුළත් වී සිටීම සාමාන්‍ය ජනතාවගේ රෝමෝද්ගමනය කරන්නකි. හොරකම, දූෂණය, වංචාව යන කාරණා අහස උසට නැගෙන ගිනි ජාලාවක් මෙන් වැඩි වෙමින් පවතී.

අගමැති මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමේ තිබූ කෝටි 4 ට විදින ලද්දේ ඔහුට බොහෝ ඈතින් සිටින සාමාන්‍ය ජනතාව නොව ළඟින්ම සිටි ලේකම් කෙනෙකි. පොඩි මිනිහකු රාජපක්ෂ ගෙදරින් පොල් ගෙඩියක් හෝ තැඹිලි ගෙඩියක් සොරකම් කළේ නම් කවර තත්ත්වයක් හටගැනීමට ඉඩ තිබුණේද? එය ඇමරිකන් කුමන්ත‍්‍රණයක් දැයි බැලීමට චීන රහස් පරීක්ෂකයන් මෙහි එනවා ඇත. චීන කුමන්ත‍්‍රණයක් දැයි බැලීමට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මෙහි එනවා ඇත. එහෙත් බැංකු ගිණුමට විද්දේ තම ඔඩොක්කුවේ සිටි එකකුම බැවින් ඔහුට ඉතා ඉක්මනින් සමාව ලැබෙනවා ඇත. 2015 ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවෙන් හොරකම් කර පලවා හරින ලද හැම හොරෙක්ම නැවතත් ආණ්ඩුවේ තුරුලට පැමිණ සිටිති. මීට අවුරුදු බොහෝ ගණනකට පෙර පැවති ආණ්ඩු වලින් වැඩක් කර ගැනීමට දිය යුතුව තිබූ පගාව අදටත් ඒ ආකාරයෙන්ම දිය යුතුව තිබේ.

ආණ්ඩුව වසංගත බිය, ආර්ථික බිය සහ දේශපාලන බිය නමැති අන්තරායෙහි පැටලී සිටී. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මූලික අරමුණු සියල්ල වෙනස් වී ඇත. හොරු ඇල්ලීම වෙනුවට පෙර කී තුන් බිය ජය ගැනීම සඳහා ප‍්‍රමුඛත්වය ලබා දීමට ඔහුට සිදුවී තිබේ. මේ වන විට හොරකමක් දැක්කත් කවුරුත් පැමිණිලි කරන්නේ නැත. එයට හේතුව හොරකම් පරීක්ෂා කිරීම සඳහා සිටින බලධාරීන් උකටලී සහ නියාලූ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ඇමැති කෙනෙක්, ආණ්ඩුවේ ලොක්කෙක් හෝ වෙනත් රාජ්‍ය ප‍්‍රධානියෙක් කරන හොරකමක් ගැන කම්ප්ලේන් කිරීමට ගොස් කෙලවා ගැනීමට කවුරුත් කැමති නැත. මේ නිසා සියල්ලෝම තම තමන්ගේ වැඩ බලාගෙන සිටිති. ඒ නිසා ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයට ලබන අවුරුද්දේදී කීමට සිදුවන්නේත් වංචාව සහ දූෂණය පිටුදැකීමට කිසිවක් නොකළ රාජ්‍ය අතර ප‍්‍රමුඛස්ථානයෙහි ශ‍්‍රී ලංකාව තවදුරටත් සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment