ඔමික්‍රොන්වලින් බේරෙන්න හොඳම මාස්ක් – ඉන්දීය වෛද්‍යවරු හෙළි කරති

323

ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා භාවිත කළ හැකි ඉහළම ආරක්ෂාවක් සපයන මුහුණු ආවරණ (මාස්ක්) වනුයේ එන් 95, කේ.එන්. 95 හා කේ.එෆ්. 94 යන මුහුණු ආවරණ බව ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් විසින් පවසා තිබේ.

ඉහත කී මුහුණු ආවරණ වර්ග තුනම ඔමික්‍රෝන් වැනි වෛරස් ප‍්‍රභේදයක් ආසාදනය වීමෙන් වැළකීම සඳහා සියයට 95ක ආරක්ෂාවක් සපයන බව ඉන්දීය වෛද්‍යවරුන් වන වෛද්‍ය රවී ශේකර්, වෛද්‍ය ශෂිදරන් හා වෛද්‍ය සන්දීප් පටිල් පවසා තිබේ.

ලොව පිළිගත් ඉහළ ප‍්‍රමිතියකින් යුතු රෙදි විශේෂයක් යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ නිසි ලෙස මුහුණට සවිවීම, උසස් නිමාව හා කුඩා වෛරස් අංශුවක් පවා නාසය හා මුඛය තුළට ඇතුළු වීම වළක්වන ආකාරයෙන් පෙරීමක් සිදු කිරීම යන කරුණු මත ඉහළ ආරක්ෂාවකින් යුතු මුහුණු ආවරණ බවට නිර්දේශ කළ හැකි යැයි එම වෛද්‍යවරු පවසති. එන්.99 වර්ගයේ මුහුණු ආවරණ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදනය වීම වළක්වාගත හැකි හොඳම මුහුණු ආවරණය වුවද එම මුහුණු ආවරණය සඳහා යොදා ගෙන ඇති තුනී රෙදි විශේෂය හා එය දිගු වේලාවක් පැළඳ සිටීම අසීරු වීම යන කරුණු මත එය මෙම දිනවල භාවිත කිරීම සඳහා නිර්දේශ කළ නොහැකි බව ද ඔවුහු පවසති.

බොහෝ දෙනා භාවිත කරන සර්ජිකල් මාස්ක්වලට විශාල වෛරස් අංශු හා ඇතැම් කුඩා අංශුවලට එරෙහිව හොඳ ආරක්ෂාවක් සැපයිය හැකි වුවද එම මුහුණු ආවරණ මුහුණට හොඳින් සවි නොවීම හා ඒවායේ කොන් හරහා නාසයට හා මුඛයට වෛරස් අංශු ඇතුළු වීමේ හැකියාවක් පැවතීම යන කරුණු මත එම ආවරණ භාවිත කළ යුත්තේ තවත් මුහුණු ආවරණයක් (ඩබල් මාස්කින්) සමග බව ඔවුන් සඳහන් කර තිබේ.

යමෙකු මෙම දිනවල රෙදිවලින් තැනූ මුහුණු ආවරණයක් පළඳින්නේ නම් එවැනි මුහුණු ආවරණ දෙකක්වත් පැළඳිය යුතු බව ඉන්දීය වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment