ඔමික්‍රොන් පැතිරුණොත් රට වහන්න වෙයි ද?

272

මේ වනවිට දිනපතා ශ‍්‍රී ලංකාවෙන් හමුවන නව කොවිඞ් ආසාදිතයන් ගණන අට සියය ඉක්මවා ගොස් ඇත. ඒ අනුව සතියකට හමුවන කොවිඞ් ආසාදිතයන් ගණන පන්දහස ඉක්මවයි. සුව වී රෝහල්වලින් පිටව යන කොවිඞ් රෝගීන් ගණන දිනකට වාර්තා වන්නේ දෙසීයක් පමණ වූ පිරිසකි. දිනපතා වාර්තාවන කොවිඞ් මරණ සංඛ්‍යාව ද විස්සට අඩු ගණනක්ව පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිනපතා ප‍්‍රකාශයට පත් කරන කොවිඞ් රෝගී තොරතුරු පදනම් කරගෙන අප මෙම තොරතුරු හෙළි කරන බව සටහන් කළ යුතුය.

කොවිඞ් 19 වෛරසය රෝගය මර්දනය සඳහා අනුමත එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර පසුගිය 29 වැනිදාට වසරක් සපිරුණි. මේ වනවිට එන්නත් ලැබිය යුතු පිරිසෙන් එන්නත් මාත‍්‍රා දෙකම ලබා ඇති පිරිස සියයට 90ක් පමණ වේ. එන්නත් මාත‍්‍රා ලැබිය යුතු පිරිස ලෙස දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි පිරිසය.

එහි දී තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා ඇති පිරිස සියයට 33ක ප‍්‍රමාණයකි.

එන්නත් මාත‍්‍රා දෙකක් ලබාගෙන තෙවැනි මාත‍්‍රාවවන බූස්ටර් එන්නත ලබා ගැනීමට බොහෝ දෙනා තුළ උනන්දුවක් නැත්තේ ඇයි දැයි කියා හේතු සොයා බැලීමේ දී හඳුනාගෙන ඇත්තේ තෙවැනි මාත‍්‍රාව ගැන බොහෝ දෙනා තුළ පවතින විවිධ මතය. තෙවැනි මාත‍්‍රාව ලබාගත් පසු හෘදයාබාධ ඇති වේ යැයි, මදසරු බවට පත් වේ යැයි ස්නායු ආබාධ මතු වේ යැයි ආදී මත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරයෑම නිසා බොහෝ තරුණ පිරිස් තෙවැනි මාත‍්‍රාව ගැනීමට මැලිකමක් දක්වති. ඒ අතර වැඩි හිටියන් ද ස්නායු ආබාධ සහ හෘදයාබාධ මතු වේ යැයි බියෙන් තෙවැනි මාත‍්‍රාව ගැනීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. මෙවැනි පසුබිමක දිනපතා ඉහළ යන නව ආසාදිතයන් අතර ඔමික්‍රොන් ප‍්‍රභේදය ආසාදනය වූවත් සියයට 95ක් පමණ ඇතැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. හෙතෙම මේ බැව් සනාථ කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී සිදු කළ ආසාදිතයන්ගේ ශ්ලේෂ්මලපටල ආශ‍්‍රිත ජාන පරීක්‍ෂාවන්ගේ ප‍්‍රතිඵල අනුවය.

ඔමික්‍රොන් යනු ඉතා වේගයෙන් පැතිරයන වෛරස ප‍්‍රභේදයක් බව හඳුනාගෙන ඇත. එය කොතෙක් ද යත් ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා සියයට 95ක වේගයෙන් පැතිර යන බව වාර්තා වේ. නමුත් මෙම ප‍්‍රභේදය නිසා ඇතිවන අපහසුතා අවමය. ඩෙල්ටා සහ කොවිඞ් 19 ප‍්‍රභේද මෙන් දැඩි අපහසුතා සහ මාරාන්තික බව අඩු බව ද හඳුනාගෙන ඇත. ඒනිසා රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවය ද අවම බවත් නිවසේ නිරෝධායනය වීම ප‍්‍රමාණවත් බවත් වෛද්‍යවරු පවසති.

කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නිරෝධායනය වන රෝගීන් සඳහා මෙතෙක් පැවැති දින 14ක නිරෝධායන කාලසීමාව දින 07 දක්වා අඩු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් 27 දා නිකුත් කර ඇත. ඒ අනුව පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඞ් රෝගීන් බවට වාර්තා වී නිවාසවල හෝ රෝහල්වල නිරෝධායනය වන පුද්ගලයන් කිසිදු ඖෂධයක් ලබා නොගෙන පැය 48 ක කාලයක් සිටියදී කිසිදු උණ රෝග ලක්‍ෂණයක් හෝ කොවිඞ් රෝග ලක්‍ෂණයක් වාර්තා නොවේ නම් ඔවුනට පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවක් සිදු කළ දින සිට දින 07 කට පසු නිරෝධායනයෙන් ඉවත් විය හැකිය.

එසේම එන්නත් මාත‍්‍රා තුනම ලබා සිටින පුද්ගලයකුගේ සමීප ආශි‍්‍රතයෙක් කොවිඞ් රෝගියෙක් වුවහොත් එන්නත් මාත‍්‍රා තුනම ගත් පුද්ගලයාට කොවිඞ් රෝග ලක්‍ෂණ මතුනොවේ නම් නිරෝධායනය වීමකින් තොරව සිය රාජකාරි කටයුතුවල නිරත විය හැකිය.

කෙසේ වෙතත් එම පුද්ගලයාට කොවිඞ් රෝග ලක්‍ෂණ මතුවේ නම් වහාම පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවකට යොමු විය යුතුය. එක් එන්නතක් හෝ දෙකක් ලබා සිටින පුද්ගලයන්ගේ හෝ එන්නත් ලබා නොගෙන ඇති පුද්ගලයන්ගේ ආශි‍්‍රතයෙක් කොවිඞ් ආසාදිතයෙක් වුවහොත් එවැනි පුද්ගලයන් දින 07 ක නිරෝධායනයට පසු සිදුකරන පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවකින් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වුණොත් නිරෝධායනයෙන් නිදහස් කළ හැකිය. කෙසේ වෙතත් ඔවුන් තුළ කොවිඞ් රෝග ලක්‍ෂණ මතුවුවහොත් වහාම පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවකට යොමුවිය යුතුය.එන්නත්කරණය සිදු කරනු ලබන්නේ කොවිඞ් 19 වෛරසය ඇතුළු ඉන් මතුවන ප‍්‍රභේදවලට එරෙහිව සිරුර තුළින් ප‍්‍රතිශක්තියක් ගොඩනැ`ගීමය. ඒ සඳහා පළමු එන්නතින් මාස 06ක පමණ ප‍්‍රතිශත්තියක් ද දෙවැනි එන්නතින් තවත් මාස 6ක පමණ ප‍්‍රතිශක්තියක් සිරුර තුළ ඇති කළ අතර තෙවැනි එන්නත හෙවත් බූස්ටරය මගින් එම ප‍්‍රතිශක්තිය තවත් වර්ධනය කරනු ලබයි.

ඒනිසා පූර්ණ එන්නතරකණයට ලක්වීම යනු එන්නත් මාත‍්‍රා තුනම ලබා ගැනීමය.

එන්නත් මාත‍්‍රා තුනම ලබාගත්ත ද කොවිඞ් වෛරසයේ යම් ප‍්‍රභේදයක් ආසාදනය වීමේ හැකියාව පවතී. එසේම එය ආසාදනය වුවද බරපතළ නොවන බව හඳුනාගෙන ඇත.

රෝගය බරපතළ නොවේ නම් ඒ සඳහා නිරෝධායනය ද දීර්ඝ කාලයක් පැවැතිය යුතු නැතැයි වෛද්‍ය මතය වී තිබේ.

මෙහි දී වඩාත් අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ සිදු කරන සෙම පටල පරීක්‍ෂාවේ දී ආසාදනය වී ඇති වෛරස ප‍්‍රභේදය ද නිසි ලෙස හඳුනාගැනීමට ය.

මන්දයත් අයි. ඞී. එච්. හි පිහිටි බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසන්නේ නැවත වරක් දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත්වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවකි. එසේම එම රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය ද වැඩිවන බවකි. ඒනිසා නැවත වරක් කොවිඞ් රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමේ අවදානමක් පවතින බවය.

ඔමික්‍රොන් නව ප‍්‍රභේදය වේගයෙන් පැතිර ගිය ද ඩෙල්ටා ප‍්‍රභේදය තවමත් සක‍්‍රීයව පවතී. එසේ නම් මේ රෝගීන්ට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය දැයි කියා නිශ්චිතව හඳුනාගත යුතුය.

එසේම ඔවුන් නිසි එන්නත් කරණයට ලක් වී ඇති දැයි කියා පරීක්‍ෂාවට ලක් කළ යුතුය.

බටහිර රටවලට කොවිඞ් වසංගතය තදින් පැතිර ගියත් ඔවුන්ගේ ආර්ථිකයට ඉන් බරපතළ ගැටලූ මතු නොවුණි. එසේම බටහිර රටවලට වැඩි හිටි ජනගහනය විශාල බරක්ව පැවතුණි. ඒනිසා කොවිඞ් වසංගතය තුළින් වැඩිහිටියන් වැඩි පිරිසක් මරණයට පත් වීම ඔවුන් හඬනඟා ප‍්‍රකාශ නොකළත් එය යම් වසන්තයක් බවට පත්ව තිබේ.

මේ වන විට කොළඹ හා ගම්පහ ඔමික්‍රෝන් මුල් කරගත් කොරෝනා වසංගතය පැතිරීම ශීඝ‍්‍රයෙන් සිදු වන ස්ථාන (හොට් ස්පොට්) වැඩි වශයෙන් පවතින දිස්ත‍්‍රික්ක බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ. මේ වන විට දිවයිනේ සෑම පළාතකටම පාහේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය පැතිර තිබිය හැකි නිසා අත්‍යවශ්‍යම කාර්යයක් සඳහා එළිමහනට ගියද මහජනතාව නාසය මුඛය හොඳින් ආවරණය වන ලෙස මාස්ක් පැළඳීම, එකිනෙකා අතර මීටරයකවත් දුරක් පවත්වා ගැනීම හා දෑත් නිතර සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදාගෙන හොඳින් පිරිසිදු කරගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් තුන අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව විශේෂඥ වෛද්‍යවරු පවසති. කොරෝනා එන්නත් ලබා ගත් නොගත් සියලූ දෙනා මෙම සෞඛ්‍ය පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු අතර විශාල පිරිස් වශයෙන් ඒකරාශී වීමෙන් වැළකිය යුතුය.

විවාහ මංගල්‍යය, අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථාවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය
මාර්ගෝපදේශ මාලාවට අනුකූලව සංවිධානය කිරීම මෙන්ම එවැනි අවස්ථාවන්ට සහභාගි වීමේදී සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම, බැංකු, සුපිරි වෙළෙඳසල්, සාප්පු, කඩ සහ සිනමා ශාලා වැනි පොදු ස්ථානවලට යෑමට සෙනඟ නොමැති අවස්ථාවක් තෝරා ගැනීම සුදුසු බව ඔවුහු කියා සිටිති. හෝටල් හා ආපන ශාලා වෙත ගොස් පිරිස් වශයෙන් ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීමද කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීමට මගපාදනු ඇති බව එම වෛද්‍යවරු සඳහන් කරති.

කොරෝනා වැළඳුණු විට අසාධ්‍ය තත්ත්වයට පත් වීම, රෝහල්ගතවීම හා මරණයට පත් වීමෙන් වැළකී සිටීම සඳහා කොරෝනා එන්නත් මාත‍්‍රාවන් දෙක මෙන්ම බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබා ගැනීම ද වැදගත් බව වෛද්‍ය මතය වී තිබේ.

අප වැනි රටවලට තවම වැඩිහිටියන් බරක් වී නැත. ඒනිසා වැඩිහිටියන් මරණයට පත්වීම අපට යම් ව්‍යයසනයක් බවට පත්ව ඇත. ඒනිසා කොවිඞ් රෝගය නිසා වැඩිහිටියන් මරණයට පත්වීම අප වැනි රටවලට විශාල පාඩුවකි.

මේ වනවිට වසර දෙකකට පසු රට යළි සාමාන්‍යකරණයට පත් වෙමින් ඇත. එහි දී බොහෝ දෙනාට සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අමතක වී යමින් පවතී. එහි ප‍්‍රතිඵලය වන්නේ නැවත වරක් කොවිඞ් වසංගතය රට තුළ ඇති වීමේ අවධානමක් මතුවීමය.

ඒනිසා අප කොයිකවුරුත් නිසි ලෙස මුව ආවරණ පැළඳීමට ප‍්‍රමුඛත්වය ලබාදිය යුතුය. කොවිඞ් 19 යේ සෑම ප‍්‍රභේදයක්ම ප‍්‍රධාන වශයෙන්ම අන් අයට පැතිර යෑමේ හැකියාව ඇත්තේ කෙළ බිඳිති මගිනි. ඒනිසා සෑමවිට ම මුව ආවරණ පැළඳ සිටීමට අවධානය යොමු කළ යුතුය.

මේ අතර පවතින ශීත සහ වියළි කාලගුණ තත්ත්වය සමග වෛරස රෝග ද පැතිර යෑමේ පසුබිමක් මතුව තිබේ. එවැනි වෛරස රෝග ද මේ වනවිට බොහෝ දෙනාට වැළඳී ඇති බව වාර්තා වේ. ඕනෑම වෛරසයක් සිරුරට ඇතුළු වූවිට ඊට එරෙහිව සිරුර ප‍්‍රතික‍්‍රියා කිරීමේ දී ඇඟපත වේදනාව උණ ඇතිවීම සාමාන්‍ය රෝග ලක්‍ෂණ බවට පත්ව තිබේ. ඒනිසා මතුව ඇත්තේ කොවිඞ් රෝගය ද එසේත් නැති නම් වෙනත් වෛරස උණක් දැයි කියා නිශ්චිතව හඳුනාගැනීමට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

සියලූ දෙනාම එන්නත් තුනම ලබාගෙන නිසි එන්නත්කරණයට යොමු වුවහොත් අපට නව සාමාන්‍යකරණයට අනුව දිවි ගෙවිය හැකිය. එනම් කොවිඞ් රෝගයට මුහුණ දෙමින් රට වසන්නේ නැතිව දිවි ගෙවීමය. එහි දී එන්නත් තුනම ලබා ඇත්නම් කොවිඞ් වෛරසය ආසාදනය වුවත් ඉන් බරපතළ තත්ත්වයක් ඇති නොවේ. එනම් මාරාන්තික නොවේ. අප සියලූ දෙනාම රෝගවලට බිය වන්නේ ඉන් බරපතළ තත්ත්වයක් උදාවීම සහ මරණය ඇතිවීමට ඇති හැකියාව අනුවය. නිසි ප‍්‍රතිශක්තිය ලබා ගැනීමට එන්නත් කරණයට යොමු වීමෙන් කොරෝනා ද සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව ලෙසින් පවත්වා ගෙන යෑමට හැකියාව උදාකර ගත හැකිය.

නිසි එන්නත්කරණයට යොමු වී සිටිය ද ඔමික්‍රොන් වැනි ප‍්‍රභේද ආසාදනය විය හැකි බව මේ වනවිට හඳුනාගෙන ඇත. එසේ ආසාදනය වුවද බරපතළ රෝග ලක්‍ෂණ මතු නොවන බවද එවැනි රෝගීන් සම්බන්ධව සිදු කර ඇති පරීක්‍ෂණ මගින් හෙළි වී තිබේ. එසේම නිසි ෙවෛද්‍ය උපදෙස් මත කටයුතු කර රෝගය සුව වූ පසු ඔවුනට එම ආසාදනය නිසා ද සිරුරේ ප‍්‍රතිශක්තිය වර්ධනය වනබව හඳුනාගෙන ඇත.

මෙවැනි කරුණු මත රෝගයට බිය නොවී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් එදිනෙදා කටයුතු කිරීමට මින් ඉදිරියට අප සෑම දෙනාට ම සිදුවේ. මේ වනවිට බටහිර බොහෝ රටවල් කොවිඞ් රෝගය හමුවේ අනුගමනය කරන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කර ඇත. එනම් රෝගය ආසාදනය වී බරපතළ රෝග ලක්‍ෂණ නැත්නම් නිරෝධායනයට ලක් නොවී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් එදිනෙදා කටයුතු කිරීමට අවසර දී ඇත.

එංගලන්තය එය කොරෝනා පළමු රැල්ලේ සිට අනුගමනය කළ ප‍්‍රතිපත්තියකි. ඔවුන් කොවිඞ් ආසාදිතයන් රෝහල් ගත කරනු ලැබුවේ බරපතළ රෝග ලක්‍ෂණ මතු වුවහොත් පමණි. ඇමෙරිකානු සහ ප‍්‍රංශය ද මෙම සෞඛ්‍ය ප‍්‍රතිපත්තියම අනුගමනය කරයි.

ඒ අනුව මින් ඉදිරියට අපට එම ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමට සිදුවනු ඇත. ඒනිසා නැවතවරක් නිරෝධායන මධ්‍යස්ථාන රටපුරා විවෘත නොකර රට හුදකලා නොකර ජන ජීවිතය ගත කිරීමට හුරු පුරුදු විය යුතුය. ඒ සඳහා දැනට ක‍්‍රියාත්මක එන්නත්කරණ වැඩ සටහනද ජනතාවට වඩාත් සමීප කිරීමට සෞඛ්‍ය අංශය ද පියවර ගත යුතුය. මෙතෙක් තෙවැනි එන්නත් මාත‍්‍රාව ලබාගෙන නොමැති පුද්ගලයන් සොයාගොස් එන්නත්කරණයට ලක් කිරීම වැනි පියවර ගත යුතුය. මේ දක්වා අප රටේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක වූයේ එවැනි පියවර සඳහා යොමු වූ බැවිනි. එම පියවර අනුගමනය කළේ යුද හමුදාවේ මැදිහත්වීමෙනි. මේ වනවිට යුද හමුදාව එන්නත්කරණ වැඩසටහනින් ඉවත්ව ඇත. ඒනිසා ප‍්‍රාදේශීය සෞඛ්‍ය අංශ ඔස්සේ එම වැඩසටහන ක‍්‍රියාත්මක කළහොත් දැනට බූස්ටර් එන්නත ලබා ඇති පිරිස වැඩිකර ගැනීමට හැකිවනු ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment