ඔමික්‍රෝන් වසංගත රැල්ලට උතුරු කොරියාව සම්ප්‍රදායික ප්‍රතිකාරවලට යොමුවෙයි

192

දරුණු ‘ඔමික්‍රෝන්’ වසංගත රැල්ලකට මුහුණ පා සිටින උතුරු කොරියාවේ රජය මෙතෙක් කොරෝනා එන්නත්කරණයට ලක් කර නොමැති සිය ජනතාව උණ රෝගයෙන් පෙළෙන්නේ නම් එය සුව කරගැනීම සඳහා සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට පියවර ගෙන තිබේ.

මේ වන විට උතුරු කොරියාවෙන් මිලියන දෙකකට අධික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව බටහිර මාධ්‍ය පවසයි. ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිර ගියද තවමත් රට පුරා පැතිර යනුයේ එම වෛරස් ප්‍රභේදය බවට නිල වශයෙන් පිළිගැනීමට අකමැත්තක් දක්වන උතුරු කොරියානු බලධාරීහු අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන රෝගීන් සඳහා ඉඟුරු හෝ මී පැණි යෙදූ තේ හා විලෝ නමැති කොළ විශේෂයෙන් තැනූ පානයක් ලබා ගන්නා ලෙස රාජ්‍ය මාධ්‍ය හරහා ජනතාවට නිර්දේශ කරන බව වාර්තා වී ඇත. උණුසුම් පානයන් ලබා ගැනීමෙන් කැස්ස, උගුරේ වේදනාව, ඉදිමීම වැනි රෝග ලක්ෂණ සමනය කර කොරෝනා ආසාදිතයන්ට යම් සහනයක් ගෙන දීමට සමත් වුවද එය කොරෝනා වැනි වෛරස් ආසාදනයකට ලබා දෙන ස්ථීර ප්‍රතිකාරයක් නොවන බව වෛද්‍ය මතය වී තිබේ. කෙසේ වුවද වෙනත් රටවලින් වෛද්‍ය ආධාර හා කොරෝනා එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති උතුරු කොරියානු බලධාරීහු ජනතාවට ‘ඔමික්‍රෝන්’ කොරෝනා ආසාදනයේ රෝග ලක්ෂණයක් වන උගුරේ රිදීම සුවපත් කරගැනීම සඳහා ලුණු වතුරෙන් උගුර සේදීමට භාවිත කිරීමට ලුණු ටොන් දහසක තොගයක් උතුරු කොරියාවේ අගනුවර වන ප්යෝන්ග්යැන්ග් නගරය වෙත යැවීමට පියවර ගෙන තිබේ. උණ රෝග ලක්ෂණය පෙන්නුම් කරන රෝගීන් සඳහා ඇතැම් බටහිර වේදනා නාශක බෙහෙත් ලබා ගන්නා ලෙස ජනතාවට නිර්දේශ කිරීමට එරට රජයේ රුපවාහිනිය විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment