ඔමික්‍රෝන් ළමයින්ට හැදුනාම සංකූලතා හුඟක් අඩුයි  

231

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් හේමන්ත හේරත්

2019 අග කොටසේදී චීනයේ වුවාන් නගරයෙන් මතු වූ කෝවිඞ් 19 වෛරසය මේ වන විට විවිධාංගීකරණය වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඩෙල්ටා වෛරසය ඉතා භයානක ලෙස ව්‍යාප්ත විය. මේ දිනවල බහුලව ඇත්තේ ඔමික්‍රෝන් වෛරසයයි. මේ වෛරසයේ ස්වභාවය පැතිරීම සහ එමගින් මනුෂ්‍ය ශරීරයට වන බලපෑම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා සමඟ කළ සාකච්ඡාවකි.

⋆ ඔමික්‍රෝන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළොත්

ඔමික්‍රෝන් කියන්නේ කොවිඞ් වෛරසයේ ප‍්‍රභේදයක්. කොවිඞ් රෝගයේ ඇති සියලූම රෝග ලක්‍ෂණ ඔමික්‍රෝන් වෛරස වැලදීමෙන් ඇති වෙනවා. ඔමික්‍රෝන් වෛරසයේ ආක‍්‍රමණශීලී තත්ත්වයේ ප‍්‍රමාණය අනුව පුද්ගලයන්ට රෝග ලක්‍ෂණ පමණක් නොවේ සංකූලතා ද ඇති වන්නට පුළුවන්. රෝගීන් මිය යෑමටත් පුළුවන්. මේ දක්වා දැකපු ඩෙල්ටා ප‍්‍රභේදයට සාපේක්‍ෂව මේ ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ ආක‍්‍රමණශීලීභාවය අඩුයි. ඒ නිසා උදාහරණ වශයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප‍්‍රභේද වැලදුනහොත් ඔමික්‍රෝන් රෝග ලක්‍ෂණ ඩෙල්ටාවලට වඩා ටිකක් අඩුයි කියන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නෑ සියලූ දෙනාටම ඒක අදාළ වෙනවා කියලා. ඒක තීරණය වෙන්නේ ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ තියෙන ආක‍්‍රමණශීලීභාවය මතයි. ප‍්‍රතිශක්තිය දුර්වල පුද්ගලයකුට වැලඳුනහොත් ප‍්‍රශ්න ඇති වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ප‍්‍රතිශක්තිය ප‍්‍රබල පුද්ගලයකුට වෛරසය වැලඳුනහොත් ප‍්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

⋆ Covid -19 (කොරෝනා) සහ ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ ව්‍යාප්තියේ අලූත් තත්ත්වය කොයි වගේද?

දැනට දෛනිකව 1000 ඉක්මවා වාර්තා වෙනවා. නමුත් වාර්තා වන රෝගීන්ට සාපේක්‍ෂව වාර්තා නොවන ආසාදිත පුද්ගලයන් විශාල වශයෙන් ඉන්නවා. එනිසා වැදගත්ම දේ වන්නේ තමන්ගේ ආරක්‍ෂාව සඳහා සෞඛ්‍ය ආරක්‍ෂිත හුරු පුරුදු 100% අනුගමනය කිරීමයි. ඒ කියන්නේ රෝග ලක්‍ෂණ පෙන්වන පුද්ගලයන් මෙන්ම රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයන් යම් ප‍්‍රතිශතයක් මේ පරිසයේ ඉන්නවා.

⋆ වයස් කාරයන් අනුව, ස්ත‍්‍රී පුරුෂභාවය අනුව ගත් කළ ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ කොරෝනා මරණ ප‍්‍රමාණය ගැන අදහසක් කිව හැකිද?

අද දින වන විට සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව 16267 වනවා. එයින් 9174 පිරිමි පුද්ගලයන් වන අතර 7093 ගැහැණු අයයි. එමෙන්ම කොවිඞ් මරණ අනුපාතය කාණ්ඩ අනුව ගත් කළ 1.32% වයස අවුරුදු 30 අඩු මරණ හා 22.46% අවුරුදු 30-59 අතර 76.22% වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් ලෙස වාර්තා වෙනවා.

⋆ මෙම ඔමික්‍රෝන් රෝගය දැනට කොපමණ රටවල් ප‍්‍රමාණයක පැතිරිලා තියෙනවද?

දැනට අපිට සංඛ්‍යාලේඛන නැහැ. රෝගය පැතිරීම බොහොම වේගයෙන් වෙනස් වෙනවා. අන්තිමට මම බලන කොට රටවල් 80ක විතර පැතිරිලා තියනවා කියලා තිබුණේ. මේ වෙන කොට රටවල් 150 ඉක්මවා ගිහින් තියනවා.

⋆ ආජන්ටිනාවේ කරපු පරීක්‍ෂණයකින් තහවුරු වෙලා තියෙනවා නේද දින 14 කින් පසුවත් වෛරසය එම රෝගියාගේ ඇඟේ තියනවා කියලා. එහි සත්‍ය අසත්‍යය තාවය මොකක්ද?

ප‍්‍රවෘත්තියක් ලැබුණු පමණින් අපට තීරණවලට එළඹෙන්න බැහැ. සාමාන්‍යයෙන් විද්වත් කමිටුවකින් මේවා බලලා ඒ අයගේ තොරතුරු කිරා මැන බලමින් තමා අවසාන නිගමනවලට එන්නේ. මේ දක්වා තහවුරු කර ඇති දත්ත වලින් දැනට ඒක අපට පිළිගන්න බැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.

⋆ ලංකාව තුළ මේ වන විට බහුතරයකට මෙම රෝගය ආසාදනය වෙලා තියනවා කියලා අදහසක් සමාජය තුළ තියෙනවා නේද?

විවිධ ආයතනයවල සහ ශ‍්‍රමිකයන් රැස්වන තැන්වල විශාල ලෙස ආසාදිතයන් ඉන්නවා. කියලා මතයක් සමාජ ගත වෙලා තියෙනවා. ඒකෙ සත්‍ය අසත්‍යතාවය මොකක්ද? ඒකට හේතුව මෙම ඔමික්‍රෝන් වෛරසය මෘදු නිසා හරියට පරීක්‍ෂා කරගන්න බැහැ. රෝග ලක්‍ෂණ තියෙන සියලූ දෙනාම ඔමික්‍රෝන්ද, කියලාවත් දන්නෙ නෑ. කොවිඞ්ද කියලයි බලන්නේ. කොවිඞ් රෝගීන් වෙන්නත් පුළුවන්, සාමාන්‍ය වෛරස් උණක් වෙන්නත් පුළුවන්, ඩෙංගු වෙන්නත් පුළුවන්. මේ නිසා පරීක්‍ෂණ කරගන්න අයගෙන් විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ කොවිඞ්ද, ඔමික්‍රෝන්ද කියලා. කොවිඞ් රෝගීන් සීයක් ගත්තොත් අද තියෙන තත්ත්වය අනුව 90 ක්ම විතර ඔමික්‍රෝන් වෙන්න පුළුවන්. දැනට තියෙන සාම්පල් ටෙස්ටින් නිසා කාර්යාලවල උණ රෝගීන් හිටියොත් ඒ සියලූ දෙනාටම කොවිඞ්ද ඔමික්‍රෝන්ද කියලා කල් ඇතුව කියන්න බැහැ. තමන්ට කොවිඞ් කියලා සැක හිතෙනවා නම් රෝහලට ඇතුළත් වෙලා එයට අදාළ පරීක්‍ෂණ ටික කර ගැනීම තමා වැදගත් වෙන්නේ.

⋆ විශේෂයෙන් මෙම රෝගය ළමයින් අතර පැතිරෙනවා වැඩිද?

එහෙම නම් දෙයක් නැහැ. ළමයින් අතර පැතිරුණත් මේ නිසා ලොකු සංකූලතා ඇති වන්නට තියෙන ඉඩකඩ අඩුයි. මෑත කාලයේ මරණ දෙකයි සිදු වුණේ. එම මරණ දෙකත් වෙනත් රෝගවලින් පෙළුණු අවුරුදු 30ට අඩු පුද්ගලයන්. ඒ හේතුව නිසා අඩු වයසේ ඉන්න අයට සංකූලතා අඩුයි. ඒ අය අතර පැතිරෙනවා කියලා විශේෂ දෙයක් නෑ. පැතිරෙන්නට ඉඩ තියෙන අවස්ථාවල තමයි පැතිරිලා තියෙන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන අවස්ථාවලදී තමයි පැතිරිලා තියෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් මේක කොහෙත්ම පැතිරෙන්නේ නැහැ.

⋆ බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති වෙනවා කියලා සමාජයේ දුර්මතයක් තියෙනවා නේද?

මම හිතනවා ඒක හුඟ දෙනෙක් බැහැර කරලා තියෙන්නේ ඒ නිසා තමයි. දවසකට පනස්දාහ ඉක්මවලා තුන්වන මාත‍්‍රාව ලබා ගන්න ජනතාව ඉස්සරහට එනවා. ඒකෙන් තේරෙනවා මුලදී තිබුණ දුර්මතවලින් ජනතාව දැන් බැහැර වෙලයි කියලා.

සුජානි ඉන්දිකා

advertistmentadvertistment
advertistmentadvertistment