ඔමික්‍රෝන් BA5 දොරකඩටම  ඇවිත්

250

* ඉක්මනින් බෝවෙනවා

* ප්‍රතිශක්තිය මගහරිනවා


– විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර


● සිව්වැනි එන්නත ඉක්මනින් ලබා ගන්න

● ගැබිනි මව්වරුන් ප්‍රවේශමෙන්

● අනිවාර්යයෙන් ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න

● දින දෙකට මරණ 08ක්: රෝගීන් 226 පනී

● දරුවන් අතරේ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙයි

● අවුරුදු 20 ට වැඩි ලක්‍ෂ 8ක්: 60 ට වැඩි ලක්‍ෂ 10ක් තුන්වැනි මාත්‍රාව ලබාගෙන නැහැ


ශ්‍රී ලංකාව තුළ පැතිරයමින් පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය ඔම්ක්‍රෝන් BA5 උප ප්‍රභේදය බවට හඳුනාගෙන ඇති බවත්, එය දැනට පවතින ඉක්මනින් බෝවන හා ප්‍රතිශක්තිය මගහරින කොවිඩ් වෛරස් ප්‍රභේදයක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තීන් හා සෛල ජෛව පිළිබඳ අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය.

පවතින තත්ත්වය තුළ ඉදිරියේදී කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යා හැකි අවදානමක් ඇතැයි ද ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් පැතිරයමින් පවතින ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් ඇතිකරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

දැනට පවතින ඔමික්‍රෝන් BA5 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවේ ද රෝගීන් ඉහළ යා හැකි බවත් මේ නිසා නිරන්තරයෙන් ම මුව ආවරණ පැළඳීම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම අනුගමනය කරන ලෙස ද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ගත වූ දින දෙක තුළ (29, 30) කොවිඩ් ආසාදිත රෝගීන් 226 දෙනකු හඳුනාගත් බවත්, එම දෙදින තුළ කොවිඩ් ආසාදිත මරණ 8 ක් වාර්තා වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

කොවිඩ් ආසාදිත දරුවන් 10 දෙනකු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්‍ෂ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට දරුවන් අතරේ කොවිඩ් රෝගය සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවත්, තම දරුවන් මෙම රෝගයෙන් වළක්වා ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බවත් හෙතෙම කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් සිව්වැනි එන්නත් මාත්‍රාව තවමත් ලබාගෙන නොමැති නම් හැකි ඉක්මණින්ම එම එන්නත ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොවිඩ් සිව්වැනි මාත්‍රාව මේ වනවිට 19,000 කට අධික පිරිසක් ලබාගෙන ඇතැයි ද දැනට මෙම එන්නත කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී, කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් තුළදී සහ දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුළදී ලබාගත හැකි බව ද ඒ මහතා පැවසීය.

මේ වනවිට කොවිඩ් පළමු එන්නත් මාත්‍රාව මිලියන 17 කට අධික පිරිසක් ද, කොවිඩ් දෙවැනි එන්නත් මාත්‍රාව මිලියන 14 1/2 කට අධික පිරිසක් ද, කොවිඩ් 3 වැනි එන්නත් මාත්‍රාව මිලියන 8 කට අධික පිරිසක් ද ලබාගෙන ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මේ අතර අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් රෝගීන් 56 දෙනකු ප්‍රතිකාර ලබන බව එහි වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

පවතින ඉන්ධන අර්බුධය හමුවේ වුවත් එම රෝගීන් වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය උපරිමයෙන් සේවාව සපයන බවද පවතින තත්ත්වය හමුවේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩවීමක් දක්නට ලැබෙන නිසා ඒ සඳහා රෝහල සූදානම් බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර කොවිඩ් එන්නත කොළඹ නගර සීමාවේද ලබාදීම ආරම්භ කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ‘දිවයින’ ට ඊයේ (31දා) පැවසීය.

මෙම එන්නත උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් ද, බොරැල්ල කැම්බල් පිටියේද දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ලබාදෙන බව ද ඒ මහතා කීය.

අවුරුදු 20 ට වැඩි ඕනෑම කෙනෙකුට දෙවැනි තුන්වැනි, සිව්වැනි කොවිඩ් එන්නත් මාත්‍ර ලබා ගත හැකි බවත්, ලබා දෙන්නේ ෆයිසර් එන්නත බවත් හෙතෙම කියා සිටියේය.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ගැබිනි මව්වරුන් මේ දිනවල විශේෂයෙන් පරිස්සම් වන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඉල්ලා සිටී.

විශේෂයෙන් පිරිස් ඒකරාශී වන ස්ථානවලට යෑමෙන් හා අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙස ද ඇය සියලුම ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලා සිටී.

කොවිඩ් තුන්වැනි මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇත්තේ දිවයිනෙන් ම සියයට 52 ක පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය.

ඉන් සියයට 48 ක සංඛ්‍යාවක් කොවිඩ් එන්නත් තුන්වැනි මාත්‍රාව ලබාගෙන නැතැයි ද හෙතෙම කියා සිටියේය.

කොවිඩ් දෙවැනි එන්නත් මාත්‍රාව ලක්‍ෂ 25 කට අධික පිරිසක් ලබාගෙන නොමැති බව ද හේ කීය.

කොවිඩ් දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන තුන්වැනි එන්නත් මාත්‍රාව ලබා නොගත් අවුරුදු 20 ට වැඩි ලක්‍ෂ 8 කට අධික පිරිසක් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

එසේම තුන්වැනි මාත්‍රාව ලබා නොගත් අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් ද ලක්‍ෂ 10 කට අධික පිරිසක් ද සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් එන්නත ලබා නොගෙන සිටීම ඉතාම අවදානම් බව ද හෙතෙම කීය.

ඒ නිසා අවුරුදු 60 ට වැඩිහිටියන්, ගැබිනි මව්වරුන්, ඇදුම, වකුගඩු රෝගවලින් පෙළෙන අය අනිවාර්යයෙන් ම එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බව ද හෙතම කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්‍ෂණ ද අඩුකර ඇතැයි ද හේ කීය.

ඒ නිසා දිනකට කරන පී.සී.ආර්. පරීක්‍ෂණ, ඇන්ටිජන් පරීක්‍ෂණ ප්‍රමාණය වැඩිකළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

එසේම මේ වනවිට රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද කොවිඩ් වෛරසයට ගොදුරු වෙමින් ඇතැයි ද හේ කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment