ඔමික්‍රෝන් ඉහළ නැගීම හමුවේ තවත් භයානක ප‍්‍රභේදයක් බිහිවීමේ පෙරනිමිති පෙනෙනවා

135

* ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ශාඛාව අනතුරු අඟවා

ඉතා ශීඝ‍්‍රයෙන් ලොව පුරා ඉහළ යමින් පවතින ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙන් තවත් භයානක නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් බිහිවීමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ශාඛාව විසින් පෙරේදා (04දා) අනතුරු අඟවා තිබේ .

ලොව පුරා ලැව් ගින්නක් සේ පැතිර යන ”ඔමික්‍රෝන් ” ප‍්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා මාරාන්තික බවින් අඩු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන ප‍්‍රභේදයක් බවට ඇතැම් අධ්‍යයනවලදී අනාවරණය වී තිබීම හේතුවෙන් මෙම ප‍්‍රභේදයේ පැතිරීමෙන් පසු කොරෝනා වසංගතය නිමාවට පත් වී ජන ජීවිතය සාමානය තත්ත්වයට පත් වනු ඇති බවට ඇතැම් විශේෂඥයන් විසින් පසුගිය දිනවලදී අනාවැකි පළ කර තිබිණි. කෙසේ වුවද එය එසේ නොවන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථාවන් පිළිබඳ නිලධාරී කැතරින් ස්මෝල්වුඞ් පවසනුයේ ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින ”ඔමික්‍රෝන් ” ආසාදිතයන්ගේ සංඛ්‍යාව එම අනාවැකිවලට විරුද්ධ තත්ත්වයක් ඇති කරනු ඇති බවයි.

”ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය තවත් පැතිරීම වේගවත් වන තරමට එය ආසාදනය වන පිරිස වැඩි වී වෛරස් ප‍්‍රභේදයේ පිටපත් නිපදවීමේ ක‍්‍රියාවලියද වැඩි වේ. ඒ හරහා නව වෛරස් ප‍්‍රභේදයක් බිහිවීමේ හැකියාවද වැඩියි. දැන් ”ඔමික්‍රෝන් ”ප‍්‍රභේදය දරුණු බව හා එයට මරණ සිදු කළ හැකි බව හෙළි වී තිබේ. එමගින් ඇති කරන මරණ සංඛ්‍යාව ඩෙල්ටා ප‍්‍රභේදයෙන් ඇති වන මරණ සංඛ්‍යාවට වඩා තරමක් අඩු විය හැකියි. එහෙත් මීළඟට බිහි වන කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ ස්වරූපය කිසිවෙකුටත් කිව නොහැකියි යැයි ස්මෝල්වුඞ් සඳහන් කර තිබේ.

කොරෝනා වසංගතය ඇරඹීමෙන් පසු මේ වන තෙක් යුරෝපයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2021 වසරේ අවසන් සතිය වූ ඉකුත් සතියේදී පමණක් එම ආසාදිතයන් මිලියන පහකට අධික සංඛ්‍යාවක් යුරෝපයෙන් වාර්තා වී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment