ඔමික්‍රෝන් ගැන නිශ්චිත දත්ත නැතැයි එංගලන්ත විශේෂඥයෝ පවසති

168

දකුණු අප‍්‍රිකාවේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් බහුතරය ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් බව හෙළි වී තිබීම නිසා එම වෛරසය ඩෙල්ටා වෛරසයට වඩා දරුණු නොවන බව තීරණය කිරීමට තරම් ප‍්‍රමාණවත් දත්ත ලැබී නොමැති බව ඔමික්‍රෝන් තර්ජනයට මුහුණ දී සිටින එංගලන්තයේ සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

 එංගලන්තයේ වොර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් ටිල්ඩෙස්ලි පවසනුයේ ඇතැමුන් ‘ඔමික්‍රෝන්’ වෛරස් ප‍්‍රභේදය ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය තරම් දරුණු නොවන බව පැවසුවද එය තහවුරු කිරීම සඳහා මෙතෙක් ලැබී ඇති දත්ත ප‍්‍රමාණවත් නොවන බවයි. ‘‘තවමත් ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය පිළිබඳව ලැබී ඇති දත්තවල දැඩි අවිනිශ්චිතභාවයක් දක්නට තිබේ. තවමත් ලෝකයටම පිළිගත හැකි පරිදි ‘ඔමික්‍රෝන්’ වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිරෙන්නේද?, එම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ විට දරුණු ප‍්‍රතිවිපාක ඇති වන්නේද? හා එන්නත්වලින් එය මර්දනය කළ නොහැකිද? යන්න පිළිබඳව නිශ්චිත දත්ත ලැබී නොමැත.’’ මහාචාර්යවරයා පවසා තිබේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඞ්රෝස් ඇඩනම් ගෙබ්‍රේයේසුස් පවසනුයේ දැනට ලැබී ඇති මූලික දත්තවලට අනුව ‘ඔමික්‍රෝන්’ වෛරස් ප‍්‍රභේදය එක් පුද්ගලයෙකුට කිහිපවතාවක් ආසාදනය විය හැකි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි වෛරස් ප‍්‍රභේදයක් බව හෙළි වී ඇති බවයි. තවමත් මෙම වෛරස් ප‍්‍රභේදයේ නිශ්චිත හැසිරීම පිළිබඳව නිගමනයකට එළඹීමට තරම් ප‍්‍රමාණවත් දත්ත ලැබී නොමැති බවද වෛද්‍ය ගෙබ්‍රේ යේසුස් පවසා තිබේ. මේ අතර ෆයිසර් එන්නත් නිපදවන ෆයිසර් බයෝන්ටෙක් සමාගම පවසා ඇත්තේ ෆයිසර් එන්නතෙන් මාත‍්‍රා තුනක් ලබාගැනීමෙන් ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදයට එරෙහිව ප‍්‍රමාණවත් ප‍්‍රතිදේහ ප‍්‍රමාණයක් නිපදවාගත හැකි බවයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment