ඔමික්‍රෝන් ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා 70 ගුණයක වේගයකින් පැතිරේ

164

මේ වන විට ලොව පුරා රටවල් 77කට පමණ පැතිර ගොස් ඇති නව ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලැව් ගින්නක් මෙන් සමාජය තුළ පැතිර යන බවත් එයට මාරාන්තික ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා 70 ගුණයක වැඩි වේගයකින් පැතිරෙන බව හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර ගියද එය ඩෙල්ටා ප‍්‍රභේදයෙන් ඇති කරන තරම් දරුණු රෝගී තත්ත්වයක් ඇති නොකිරීමට ඉඩ ඇති බව අවිනිශ්චිත අයුරින් ප‍්‍රකාශ කර ඇති හොංකොං පර්යේෂකයෝ වෛරස් ප‍්‍රභේදය දරුණු රෝගාබාධ ඇති නොකරන තත්ත්වයක් උද්ගත වුවද එය ශීඝ‍්‍රයෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිර යන බැවින් වැඩි පිරිසකට ආසාදනය වූ විට දරුණු රෝගාබාධ තත්ත්වයක් වර්ධනය වී වැඩි ආසාදිතයන් පිරිසක් මියා යෑමේ හැකියාව පවතින බව අවධාරණය කර තිබේ. මේ අතර එංගලන්තයේ ‘ඔමික්‍රෝන්’ වෛරස් ප‍්‍රභේදය ලැව් ගින්නක් සේ පැතිර යෑම හේතුවෙන් ඊයේ (16දා) උදෑසන අවසන් වූ පැය 24ක කාලය තුළදී එරටින් කොරෝනා ආසාදිතයන් 78,610 දෙනකු වාර්තා වී තිබිණි. මෙම ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීම හේතුවෙන් මෙම නත්තල් දිනය වන විට එංගලන්තයේ මිලියනයක් පමණ දෙනා කොරෝනා ආසාදනය වැළඳීමෙන් හා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වීමෙන් නිරෝධායනයට යොමු වී සිටිනු ඇති බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. මේ අතර කොරෝනා එන්නත්කරණය හරහා පමණක් මෙම ප‍්‍රභේදය ආසාදනය වීමෙන් වැළකී සිටිය නොහැකි අතර එන්නත්කරණයට සමගාමීව කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත්ද නිසි ලෙස අනුගමනය කිරීමට සෑම රටක්ම පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

විදෙස් පුවත් සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment