ඔමික්‍රෝන් පැතිරෙන විට ෆයිසර් – මොඩර්නා කොටස් අගය ඩොලර් බිලියන 10කින් ඉහළට

245

2020 දී මොඩර්නා සමාගම පාඩු ලැබුවත් මේ වසරේදී ඩොලර් බිලියන හතක ලාභයක් ලබා තිබේ. ෆයිසර් සමාගම 2020 දී ඩොලර් බිලියන 9ක ලාභයක් ලබා ඇති අතර මේ වසරේදී ඩොලර් බිලියන 19ක් ලාභයක් ලබා ඇත. මෙය අති විශාලය. බි‍්‍රතාන්‍ය මාධ්‍ය විසින් හෙළිකර ඇති තොරතුරකට අනුව ෆයිසර් සමාගම එක් එන්නත් මාත‍්‍රාවක් නිපදවීමට ඩොලර් එකක් වැය කරන නමුත් අලෙවි කරන්නේ ඩොලර් තිහකටය.

 දකුණු අප‍්‍රිකාවෙන් පළමු වරට හමුවූ ඔමික්‍රෝන් ප‍්‍රභේදය පිළිබඳව එරට සෞඛ්‍ය බලධාරීන් නොවැම්බර් 24 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කරන ලද අතර මේ නිසා ලොවම භීතියට පත්විය. නමුත් මුලින් ප‍්‍රකාශ වූ ආකාරයට එය අනතුරුදායක නොවන බව හෙළිව තිබේ. එහෙත් මේ වනවිට ලෝකයේ රටවල් සීයකින් ඔමික්‍රෝන් අසාදිතයන් වාර්තාවී ඇති අතර පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් 6987ක් හමුවී ඇති අතර මරණ 162ක් සිදුව තිබේ. එසේම මේ වනවිට හමුවී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් ප‍්‍රමාණය 422කි. එම ආසාදිතයන්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයන් බව සඳහන් වෙයි. ඉන්දියාවට නැවත වරක් වසංගත ප‍්‍රහාරයක් එල්ලවීමේ අනතුර වැඩිවීම නිසා අගමැති නරේන්ද්‍ර මොදී සෙනසුරාදා දින ප‍්‍රකාශ කර සිටියේ ජනවාරි 03 වැනිදා සිට 15-18 අතර වයසේ පසුවන දරුවන්ට එන්නත ලබා දෙන බවයි. ශ‍්‍රී ලංකාව නම් මේ වයසේ පසුවන අයට එන්නත දී කාලයක් ගතවී අවසන්ය. ඉන්දියාවේ පරක්කුව කුමක්දැයි අප දන්නේ නැත. ඉන්දියාව තුළ මේ දක්වාත් බූස්ටර් මාත‍්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැුසක් දැඩි කනස්සල්ල පළ කර තිබූ අතර මේ නිසාම ලබන ජනවාරි 10 වැනිදා සිට බූස්ටර් එන්නත සෞඛ්‍ය අංශවලට ලබා දීමට කටයුතු කරන බව අගමැතිවරයා පවසා තිබිණි. ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ රටවල් රැුසක් බූස්ටර් මාත‍්‍රාව ලබාදීම ආරම්භ කර ඇති පසුබිමක ඉන්දියාව මෙතෙක් එම වැඩපිළිවෙළට යොමු නොවීම හේතුවෙන් ඉදිරියේදී අවදානම් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව විශේෂඥයන් මීට පෙර පෙන්වා දී තිබිණි.

 කොරෝනා ‘ඔමික්‍රෝන්‘ වෛරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ ‘ඇස්ට‍්‍රාසෙනිකා‘ ඖෂධ නිෂ්පාදන සමාගම පසුගිය සතියේ ප‍්‍රකාශ කර තිබිණි. ‘‘අද අප ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප‍්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනකා එන්නත ඒ අනුව යාවත්කාලීන වේවි‘‘ යැයි ඇස්ට‍්‍රාසෙනිකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනිකා‘ යනු ලොව පිළිගත් බි‍්‍රතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. කොරෝනා රෝගයට එරෙහිව ‘ඇස්ටාසෙනිකා‘ සමාගම නිපදවූ ‘ඔක්ස්ෆර්ඞ්-ඇස්ටාසෙනිකා‘ ප‍්‍රතිශක්තිකරණ එන්නත, ලොව වැඩි දෙනකුට ලැබුණු එන්නතකි. රුධිර කැටි ඇතිවීමේ අවදානමක් පෙන්නුම් කර ඇත්තේ ද මෙම එන්නතය. මහා බි‍්‍රතාන්‍යයේ වැඩි පිරිසකට ලබා දී ඇත්තේ ‘ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා‘ එන්නත සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්‘ එන්නතය. ‘ඔක්ස්ෆර්ඞ් එන්නත, ඉන්දියාවේ ‘සේරම්‘ ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවන්නේ ‘කොවිෂීල්ඞ්‘ යන වෙළෙඳ නාමය යටතේය. ‘‘ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කරගෙනයි අප අලූත් එන්නතක් නිපදවීම ආරම්භ කළේ. කෙසේ නමුත් මෙම අලූත් එන්නත ඔමික්‍රෝන්වලට පමණක් සීමා කරන්න අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඉදිරියේ දී බිහිවන සියලූ කොවිඞ් 19 විකෘති ප‍්‍රභේද අඩපණ කළ හැකි ආකාරයටයි අප මෙය නිපදවන්නේ‘‘ යැයි ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය සැන්ඩි ඩග්ලස් පැහැදිලි කර තිබේ.

 එන්නත් ගැන කතාකරද්දී වසංගතය නිසා අධික ලාභ ලබන ඖෂධ සමාගම් ගැනද කතා කළ යුතුය. දෙසැම්බර් මුලදී ලෝකයම ‘ඔමික්‍රෝන් නිසා නැවත වරක් සලිතවෙද්දී කොටස් මිළ ඉහළ ගියේ කවර සමාගම් වලද? ෆයිසර් හා මොඩර්නා එන්නත් නිපදවන සමාගම් වලය. මේ ගැන ඇමරිකානු සෙනට් සභික බර්නි සැන්ඩර්ස් දෙසැම්බර් 6 වැනිදා තැබූ ට්විටර් සටහනේ කියා තිබුණේ කවරක්ද? මෙය අසභ්‍යයි. පසුගිය සතියේ, ඔමික්‍රෝන් ප‍්‍රභේදය පිළිබඳ ප‍්‍රවෘත්ති පැතිරීමත් සමඟ ෆයිසර් සහ මොඩර්නා හි ආයෝජකයන් 8 දෙනකු ඩොලර් බිලියන 10 කින් පොහොසත් විය. මෙම ඖෂධ සමාගම් ඔවුන්ගේ එන්නත් ලෝකය සමඟ බෙදාගෙන අධික ලාභ ලබයි. මෙය ඔවුනගේ කෑදරකම නොවේද? ඇත්තෙන්ම මේ සමාගම් වසංගතය පාලනය වනු දැකීමට කැමතිද යන්න ප‍්‍රශ්නයකි. මන්ද පාඩු ලබන සමාගම් ලාභ ලැබුවේ මේ වූහාන් වෛරසය පැතිරීම නිසාවෙනි. 2020 දී මොඩර්නා පාඩු ලැබුවත් මේ වසරේදී ඩොලර් බිලියන හතක ලාභයක් ලබා තිබේ. ෆයිසර් සමාගම 2020 දී ඩොලර් බිලියන 9ක ලාභයක් ලබා ඇති අතර මේ වසරේදී ඩොලර් බිලියන 19ක් ලාභයක් ලබා ඇත. මෙය අති විශාලය. බි‍්‍රතාන්‍ය මාධ්‍ය විසින් හෙළිකර ඇති තොරතුරකට අනුව ෆයිසර් සමාගම එක් එන්නත් මාත‍්‍රාවක් නිපදවීමට ඩොලර් එකක් වැය කරන නමුත් අලෙවි කරන්නේ ඩොලර් තිහකටය. මොඩර්නා එන්නත් මාත‍්‍රාවක් අලෙවි කරන්නේ එය නිෂ්පාදනයට යන වියදම මෙන් පහළොස් ගුණයකට වැඩියෙන් බව කියවේ. ෆයිසර් සමාගම තම එන්නත එක් එක් රටවලට විවිධ මිල ගණන් වලට අලෙවි කරනු ලබයි. මේ ගැන ප‍්‍රශ්න කිරීමට කිසිවෙකු නැත. මොවුන්ට ඕනෑම බලවත් ආණ්ඩුවක් දණ ගැස්විය හැකිය. ඇමෙරිකානු ආණ්ඩුව ෆයිසර් සමාගමට ඩොලර් බිලියන ගණනක් එන්නත් පිළිබඳ පර්යේෂණ කිරීමට ලබා දී ඇතත් මිල තීරණයට සම්බන්ධ විය නොහැකිය. ලංකාවේ බූස්ටර් එන්නත ගන්නා අයත් මේ ගැන දැනුවත් විය යුතුය. ලංකා ආණ්ඩුව කොපමණ මුදලක් මේ සඳහා වැය කරන්නේ ද යන්න ගැනය. නැත්නම් බූස්ටරයද ගසාගෙන පුළුන් කැබැල්ල පාරට විසිකර ආණ්ඩුවට බනින අයද සිටිති. මෙරට කොරෝනා උවදුර පාලනය කළ හැකිවූයේ මේ එන්නත්කරණය නිසාය. ඒ ගැන ජනපතිවරයාට ස්තුතිවන්ත විය යුතුය. ඉන්දියාව එන්නත් නිපදවුවද තවමත් බූස්ටර් මාත‍්‍රාව ලබා නොතිබීම අනුව අපේ රටේ ආණ්ඩුව වඩා හොඳින් කටයුතු කර ඇති බව පැහැදිලි වෙයි.

 කොරෝනා වැළඳෙන බොහෝ දෙනා දැඩි ලෙස රෝගාතුර නොවන අතර සාපේක්ෂව ඉක්මනින් සුවය ලබති. නමුත් රෝගයෙන් සුවය ලැබීමෙන් පසුවත් සැලකිය යුතු පිරිසකට දිගු කාලීන ගැටලූ ඇති වී තිබේ. සමහර පුද්ගලයන් මුල් කාලයේදී එතරම් රෝග ලක්ෂණ නොපෙන්වුවත් දිගු කාලීන ගැටලූවලට මුහුණ දී තිබේ. භ‍්‍රාන්තිය, නින්ද නොයෑම, ඇසීම සහ පෙනීමේ වෙනස් වීම්, කෙටි කාලීන මතකය නැති වීම සහ කථන හා භාෂා ගැටලූ එම ලක්ෂණවලට ඇතුළත් වේ. තවත් සමහරුන්ගේ ආමාශ-ආන්ත‍්‍රයික හා මුත‍්‍රාශයේ ගැටලූ, ඔසප් වීමේ වෙනස්වීම් සහ සමේ තත්ත්වයන් වාර්තා වී ඇත. මෙම සමහර රෝග ලක්ෂණ කෙතරම් දරුණු ද යත්, බොහෝ දෙනකුට ස්නානය, සාප්පු යෑම සහ වචන මතක තබා ගැනීම වැනි කාර්ය කිරීමට ද නොහැකි වී ඇත. මේ කරුණු හෙළිවූයේ බි‍්‍රතාන්‍යයේ සිදු කළ අධ්‍යයනයකට අනුවය. කොරෝනා වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොරෝනා රෝගයෙන් පුරුෂයන්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් හෙළිව තිබේ. කොරෝනාවට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැයි හෝ නැතිව යනු ඇතැයි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතකදී ප‍්‍රකාශයට පත්කෙරුණු නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ කොවිඞ් රෝගය වැළඳුණු පුරුෂයන්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවන බව යි. කොවිඞ් ආසාදනය වී සුවවූ බෙල්ජියම් ජාතික පුරුෂයන් 120 දෙනකු සහභාගි කර ගෙන සිදුකළ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ, කොවිඞ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්ෂා කළ විට පර්යේෂණයට සහභාගි වූවන්ගෙන් 60%කගේ ශුක‍්‍රාණුවල චාලක හැකියාව අඩු වී තිබූ බව යි. කොරෝනා ආසාදනය වීමෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්ෂා කළ විට ශුක‍්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප‍්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් විය. මෙම අධ්‍යයනය මඟින් අනාවරණය කර ගත් තවත් කරුණක් නම් කොවිඞ් ආසාදනයෙන් පසු පුරුෂයන්ගේ ශුක‍්‍ර තරලයේ අඩංගු ශුක‍්‍රාණු ගණත්වය ද පහළ බසින වගයි. කොවිඞ් ආසාදනය වී මසක් තුළ පරීක්ෂා කළ විට, පර්යේෂණයට සහභාගි වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක‍්‍රාණු ප‍්‍රමාණය ද පහළ බැස ඇති බව නිරීක්ෂණය කෙරිණි. රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක‍්‍රාණු ගණත්වය අඩුවී තිබූ බව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක‍්‍රාණු ගණත්වය අඩුවූ බව ද පර්යේෂකයන් විසින් අනාවරණය කෙරිණි. මෙය ‘ෆර්ටිලිටි ඇන්ඞ් ස්ටේරිලිටි’ නම් සඟරාවේ පළවූ අධ්‍යයනයක් වන අතර බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ කර තිබිණි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment