ඔමික්‍රෝන් ප‍්‍රභේදය එන්නත්වලින් පාලනය කරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

392

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොවිඞ් 19 ප‍්‍රතිශක්තිකරණ එන්නත්වලින් ද පාලනය කළ නොහැකි තත්ත්වයක් බව පර්යේෂණවලින් හෙළි වී ඇතැයි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

මෙය ඩෙල්ටා ප‍්‍රභේදයටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, විකෘති ප‍්‍රභේදයන් සහිත බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් වඩාත් ප‍්‍රවේසම් විය යුතු බව කොවිඞ් වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට ඊයේ (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවාය.

එම නිසා විදේශ රටවල සිට පැමිණෙන සෑම අයකුම පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ යුතු බව පවසන විශේෂඥ වෛද්‍යවරිය ජනතාව මැනවින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව ද සඳහන් කළ ඇය උත්සව සීමා කළ යුතු අතර පොදු ප‍්‍රවාහනය තුළ ද වගකීම් සහගත ලෙස ජනතාවට ගමන් කළ හැකි පසුබිමක් සකස් කළ යුතු බව ද ප‍්‍රකාශ කළාය.

වෛරසයෙන් උපරිම ලෙස ආරකෂා වීම සඳහා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සහ අවදානම් සහගත රෝග තත්ත්වයන් වලින් පෙළෙන්නන් කොවිඞ් 19 ප‍්‍රතිශක්තිකරණ තුන්වෙනි මාත‍්‍රාව අනිවාර්යයෙන් ගත යුතු බවත් ඒ තුළින් මරණයට පත් වීම හා අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment