ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදයට මුහුණ දීමට මුළු ලොවම සූදානම් විය යුතුයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

209

‘‘ඔමික්‍රෝන්” වෛරස් ප‍්‍රභේදයට මුහුණ දීමට මුළු ලොවම සූදානම් විය යුතුයි දැනට පැතිර යන ‘‘ඩෙල්ටා” ප‍්‍රභේදයට වඩා ශීඝ‍්‍රයෙන් පැතිර යන එන්නත්කරණය හරහා මර්දනය කළ නොහැකි සේ සැළකෙන ‘‘ඔමික්‍රෝන්” නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයට මුහුණ දීමට මුළු ලොවම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වන විට ලොව පුරා රටවල් 23ක පැතිර ගොස් ඇති මෙම නව වෛරස් ප‍්‍රභේදය පැතිර යන රටවල් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන අතර ළඟදීම එය මුළු ලොවම ආක‍්‍රමණය කිරීමේ හැකියාව වැඩි බව සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඞ්රෝස් ඇඩනම් ගෙබ්‍රේයේසුස් පවසයි. දැනට වාර්තා වී ඇති රටවල් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවකට මෙම ප‍්‍රභේදය පැතිර ගොස් තිබිය හැකි බවටද ඔහු අනතුරු අඟවා තිබේ.

මෙතෙක් දැනට සොයාගෙන ඇති ‘‘ඩෙල්ටා” ප‍්‍රභේදයට වඩා මාරාන්තික හා දරුණු සංකූලතා මතුවන බව අනාවරණය වී නොමැති වුවද ‘‘ඔමික්‍රෝන්” ප‍්‍රභේදයේ වෙනත් කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ට වඩා වැඩි වශයෙන් විකෘතිතා හටගෙන තිබීම නිසා එය ඩෙල්ටා ප‍්‍රභේදයටත් වඩා මාරාන්තික, වේගයෙන් පැතිරෙන හා දරුණු රෝගී තත්ත්වයක් ආසාදිතයන් තුළ ඇති කිරීමේ අවදානමක් පවතින බව පෙනී යන බව බටහිර විද්‍යාඥයෝ පවසති. කෙසේ වුවද මේ පිළිබඳව නිශ්චිතව හඳුනාගැනීම සඳහා ලොව පුරා රටවලින් වාර්තා වී ඇති මෙම ප‍්‍රභේදය ආසාදනය වූවන් සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කළ යුතුව ඇති බව විද්‍යාඥයෝ පවසති. එංගලන්තය ඇතුළු රටවල් තුන්වැනි එන්නත් මාත‍්‍රාවක් හෙවත් බූස්ටර් මාත‍්‍රාවක් ලබා දීමෙන් මෙම නව වෛරස් ප‍්‍රභේදයට සාර්ථක ලෙස මුහුණ සිය හැකි බව විශ්වාසය පළ කර ඇතත් එය මෙතෙක් විද්‍යාත්මකව තහවුරු වී නොමැති බව පර්යේෂකයෝ පවසති. මේ වන විට ‘‘ඔමික්‍රෝන්” වෛරස් ප‍්‍රභේදය පැතිරීම වැළක්වීම සඳහා බොහෝ රටවල් විදේශීය රටවල සිට සිය රටවලට සංචාරකයන් ගෙන්වීම සීමා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment