ඔය කියන කාන්තාව ළඟ සල්ලි දාල තියන බව ඔප්පු කළොත් මම මේ දේශපාලනය නවත්වනවා – දූෂණ විරෝධී සංවිධානයේ වසන්ත සමරසිංහ

151

මුළු රටම ඔහුව දන්නේ දූෂණයට එරෙහිව අවි අමෝරා ගන්නා ප්‍රතිමල්ලවයා ලෙසය. මෑත ඉතිහාසයේ ඔහු කතා නොකළ නම් ගම් සහිතව හෙළි නොකළ කිනම් තරාතිරමක වංචා දූෂණයක් නැති තරම්ය. විසි වසරකට වැඩි කාලයක් පුරා ස්වකීය දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහු උර මත තැබූ කාර්යභාරය වන්නේද දූෂණයේ සහ දූෂිතයන්ගේ සළුපිළි ඉරා දැමීමය. එහෙව් ක්‍රියාදාමයක නිරතව සිටින දූෂණ විරෝධී සංවිධානයේ වසන්ත සමරසිංහ තිලිණි ප්‍රියමාලිගේ වංචනික ආයෝජනවලට හසුව ඇතැයි සමාජ මාධ්‍යයේ සැරිසැරූ නාම ලේඛනයක් පදනම්ව චෝදනා ලබන විට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට මේ රටේ පුරවැසියන්ට ඇති අයිතිය පැහැදිලිය. මේ පෙළගස්වන්නේ එයයි.

දූෂණ විරෝධී සංවිධානයේ මේ රටම හඳුනන වසන්ත සමරසිංහ තිලිණි ප්‍රියමාලි ළඟ මුදල් ආයෝජනය කරලා. එහෙම ප්‍රචාරය වෙද්දි ඇත්තටම මිනිස්සුන්ට මොනවා හිතෙනවා වෙන්න පුළුවන්ද? දැන් ඔබට කියන්න තියෙන්නෙ මොනවද?

මේක හිතාමතා කරපු සැළසුමක් කියල දැන් හොඳටම පැහැදිලියි. ඔය රාජපක්ෂලාගේ අසූචි බුදිමින් සමාජ මාධ්‍යවල වැඩ කරන කීප දෙනෙක් එකතුවෙලා ඇත්ත හොරු රැල ගැන සමාජයේ කතාවක් ඇති වෙන එක වළක්වන්න කරපු වැඩක් තමයි මේක. ගවේෂණය කළා කියල අපේ නමුත් ගාවල නිර්මාණය කරපු නම් ලිස්ට් එකක් තමයි ඔය එළියට දාල තියෙන්නෙ. දැන් බලන්න මේ ගැන සමාජයේ කතාබහ හැදෙන්නෙ අපි ගැන. එතන සල්ලි දාල ජාවරම් කරපු ඇත්ත පිරිස ගැන නෙමෙයි. අපි මේ ගැන සී. අයිත ඩී. එකට පැමිණිලි කළා. අපි ඉල්ලුවේ මේ ගැන වහාම පරීක්ෂණයක් කරල ඇත්තටම මේ තිලිණි ප්‍රියමාලි ළඟ ආයෝජනය කළා කියන අයගේ නම් ලිස්ට් එක එළියට දාන්න. ඔවුන්ට ඒක කරන්න පුළුවන්නේ. එතකොට වැඩේ ඉවරයි.

ඉතින් මේ නම් ඇතුළත් ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ එකක් බවනෙ කියන්නෙ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නාම ලේඛනයක් නිකුත් කළා කියල අද වෙනකන් පිළිඅරගෙන තියෙනවද… නෑ. අපි සී.අයි.ඩී. යට පැමිණිලි කරන්න ගියාම එහෙනම් එයාල කියනවනෙ ඔයාලගේ නමුත් මේකෙ තියනවා කියල. හැබැයි ඔය ගවේෂණශීලී මාධ්‍යවේදී කියල තමන්ම නම හදාගත්ත රාජපක්ෂ රෙජීමයේ කණ්ඩායම තමයි එහෙම කියන්නෙ. හොඳටම පැහැදිලියි අපිව මේකට ගාවන්නෙ ඇයි කියල. මේකට කිසිම සම්බන්ධයක් නැති චරිත මේ දූෂිතයන් එක්ක ගාව ගත්තම ඇත්ත දූෂිතයෝ ටික බේරෙනවා. සී.අයි.ඩී. යට වගකීමක් තියෙනවා දැන්වත් ඇත්තටම කවුද මෙවැනි විශාල මුදලක් තිලිණි ප්‍රියමාලි ළඟ ආයෝජනය කළේ කියල නම් ටික හෙළිකරන්න. එහෙම නොකරන තාක් සී.අයි.ඩී. යත් අනියමින් කරන්නේ මේ හොර රැලට අවශ්‍ය දේ. අනික මට සල්ලි තිබුණත් තිලිණි ප්‍රියමාලි වගේ කෙනෙක් ළඟ මුදල් ආයෝජනය කරන්න තරම් වසන්ත සමරසිංහ අඳබාල තත්ත්වයක නෑ. මට උසස් පෙළට විද්‍යාව උගන්වපු ගුරුවරු විශ්වවිද්‍යාලයේදී උගන්වපු ගුරුවරු මට හොඳට ආර්ථික විද්‍යාව උගන්වලා තියෙන්නෙ.

ඔබේ නමත් එතන තියනවා කියා කියනකොට ඒ සමගම තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා සමග ඔබ එකට ඉන්න ඡායාරූපත් පළවෙනවා. ඉතින් මිනිස්සුන්ට සැක හිතෙනවනේ ?

ඔය ඡායාරූපය ගත්ත විදිය මම කියන්නම්. ජාතික ජනබලවේගයේ අපි පසුගිය සැප්තැම්බරයේ ලෝක සංචාරක දිනයට සමුළුවක් කළා සංචාරක ක්ෂේත්‍රයේ වැඩකරන අයගේ තොරතුරු ගන්න. අපිට ඕන වුණේ අපේ සංචාරක වැඩපිළිවෙළට ක්ෂේත්‍ර තොරතුරු

ලබාගැනීම. ගලධාරී හෝටලයේ තිබුණ මේ සමුළුවට රටේ ඉන්න විවිධ පුද්ගලයන් සහභාගි වුණා. එතෙන්ට මේ ඉසුරු නැමති පුද්ගලයත් ආවා. ඔහු ආවේ අනාරාධිතව. අපි ඇහුවාම ඔහු කිව්වේ ගෲප් එකක තිබුණ විවෘත ආරාධනාවක් දැකල ටුවරිසම් ගැන ඉන්ටරස් නිසා සමුළුවට ආවා කියල. හැබැයි මේ සමුළුව ඉවර වෙන්නත් කලින් ඔහු පිටත් වුණා. ඒ පිටත් වෙන අවස්ථාවේදී ඔහු මට කිව්වා ඔබතුමා එක්ක ඡායාරූපයක් ගන්න කැමතියි කියල. ඒක සරල කාරණයක්. කව්රු හරි ඡායාරූපයක් ගන්න ඒ වගේ අවස්ථාවක කතා කළාම බෑ කියන්න හේතුවක් නෑ. එහෙම ඡායාරූපවලට ඉන්න දැන හැඳුනුම්කම් අවශ්‍ය නෑ. ඔය තියෙන්නෙ එහෙම ගත්ත ඡායාරූපය. ඊට කළින් මම ඔහුව දන්නෙවත් නෑ. මම දන්නෙ නෑ ඔහු ඒක මතු අරමුණක් ඇතිව ගත්තද. නැත්නම් සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවකදී ගන්න ඡායාරූපයක් වගේ ගත්තද කියල.

ඇත්තටම ජීවිතේ මොනයම් හෝ අවස්ථාවක මොනයම් හෝ අවශ්‍යතාවයකට තිලිණි ප්‍රියමාලි සහ ඔබව හමුවෙලා තියෙනවද ?

තිලණි ප්‍රියමාලි කියල මේ විදියේ කෙනෙක් ඉන්නවා කියල දැනගත්තෙත් මේක වුණාට පස්සෙ. ඒක දැනගත්තෙත් සමාජ මාධ්‍යවල මේ ගැන පළවෙද්දි. අපි එක රුපියලක් හරි ඔය කියන කාන්තාව ළඟ දාල තියනවා කියල ඔප්පු කළොත් මම මේ දේශපාලනය නවත්වනවා.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ මේ රටේ තිබෙන පක්ෂ අතරින් මූල්‍ය ශක්තිය අතින් ධනවත්ම පක්ෂය. මේ සිදුවීමත් එක්ක කාට හරි හිතෙන්න පුළුවන් ජ.වි.පෙ. මුදල් තිලිණි ප්‍රියමාලි ළඟ ආයෝජනය කළා කියලා ?

ජනතා විමුක්ති පෙරමුණට ආයෝජනය කරන්න ඕන නම් ඒක කරන්නෙ රටේ තිබෙන පිළිගත්ත බැංකුවක. පක්ෂය තිබෙන මුදල් මොනයම් හෝ ක්ෂේත්‍රයක ආයෝජනය කරන්නෙ ජනතාව වෙනුවෙන්. අපි කරන්නෙ ජනතාව සමග දේශපාලනයක්. ජනතාව ආයෝජනය වෙනුවෙන් පක්ෂය මුදල් ආයෝජනය කළත් ව්‍යාපාරික පරමාර්ථ ඇතිව පක්ෂය මුදල් ආයෝජනය කරන්නෙ නෑ. අනික ඔය කියන තැන්වල මුදල් දාන්න තරම් ජවිපෙ ය අඳබාල තත්ත්වයට වැටිල නෑ. අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එන වැටුප පවා පක්ෂයට ඇවිත් එතනින් තමයි ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ සුබසිද්ධිය සඳහා වියදම් කරන්නෙ. ඒවා මේ කට වචනයට කියනවා නෙමෙයි. ඒ කරන වියදම්වල පැහැදිලි වාර්තා අපි ළඟ තියෙනවා. ඔය තිලිණි ප්‍රියමාලි කියන කාන්තාව ළඟ මුදල් දාල තියෙන්නෙ මීට පෙරත් දූෂණ චෝදනා ලබපු දූෂිතයෝ. ඩීල් දාල, කොමිස් ගහල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදුවලට අහු වෙන්නෙ නැතිව හොයපු කළු සල්ලි තමයි මේ තියෙන්නෙ කියල අපි විශ්වාස කරනවා. තිලිණි එක්ක මේ කළු සල්ලි ජාවාරම කරනකොට ඒක කරන්නෙම වංචනිකව නීත්‍යානුකූල මාර්ගවලින් සල්ලි හොයපු නැති අය. මේ වටේ ඉන්නෙ චෞර වළල්ලක්. මේ වංචාව තනි කාන්තාවකට විතරක් කරන්න බෑ. ඒක පිටිපස්සෙ ඇයට ආරක්ෂාව දෙන කට්ටියක් ඉන්න ඕන.

ඉතින් කවුද මේ ඇයගේ වංචනික ක්‍රියාවලට හයිය දෙන පිරිස ?

තිලිණි දැන් සී.අයි.ඩී. යට කට උත්තර දීල තියනවා මේ මුදල් ආයෝජනය කළේ ජානකී සිරිවර්ධන කියන කාන්තාව එක්ක කියල. ජානකී කියන්නෙ ක්‍රිස් ගනුදෙනුවට සම්බන්ධ ක්‍රිස් එකේ ලංකාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය. ක්‍රිස් ගනුදෙනුවෙදි නාමල් රාජපක්ෂට නඩු දැම්මෙ මම. මේ ගනුදෙනුව හොයාගෙන යද්දි හම්බන්තොටයි නුවරඑළියයි හොස්පිට්ල් දෙක හදපු සල්ලි ඇස්කොන් මෙඩිකල් එකයි ඊ.එල්. ප්‍රොජෙට් එකෙනුයි සල්ලි ආවා කියල අපිට අහුවුණා. තිලිණි ප්‍රියමාලි කියන්නෙ ජාලයක කොටසක් කියල අපි විශ්වාස කරන්නෙ. තව දෙයක් කියන්නම්, මීට වසර තුනකට කලින් අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ කෝටි තුනහමාරක ජීප් එක විකුණල දෙන්නම් කියල අරන් ගියේ මේ කාන්තාව. ජීප් එක විකුණල හාමුදුරුවන්ට සල්ලි දුන්නෙ නෑ. ඒකට එරෙහිව ඇයට නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි, තිලිණිගෙන් සල්ලි අරන් දෙන්නම් කියල හාමුදුරුවන්ව වැළැක්කුවේ රාජපක්ෂවරු. ඔන්න අවසානයේ හාමුදුරුවන්ට සල්ලි හම්බවුණේ නැති පාර දැන් මාස කීපයකට කලින් සී.අයි.ඩී. යට පැමිණිලි දාල තියෙනවා. එහෙමයි මේ සම්බන්ධය. තිලිණි ප්‍රියමාලි මේ ගනුදෙනු කළේ ක්‍රිස් කාල්ටන් එකේ ජානකී සිරිවර්ධනගේ කාර්යාලයේ එහා පැත්තෙ කාර්යාලයේ ඉඳලනෙ.

සල්ලි දාපු ඔය කියන ලේඛනය ව්‍යාජ එකක් නම් ඇයි ජනතා විමුක්ති පෙරමුණේ ඔබ ඇතුළු තිදෙනෙක්ගෙ නම් පමණක් මේකට අරන් තියෙන්නෙ?

නෑ අපි තුන්දෙනාගේ විතරක් නෙවෙයි, සමගි ජන බලවේගයේ පවා මේවට කිසි සම්බන්ධයක් නැති කීප දෙනෙක්ගේ නම් මේ ලිස්ට් එකට දාල තියෙනවා. එහෙම කිසි චෝදනාවක් නැති නම් දාපුවාම අන්තිමට මේ හොරු රැලගෙ නම් එකෙ තිබුණත් ඒ නම් ලිස්ට් එක බොරු එකක් වෙනවනෙ. ඒක තමයි මේක නිර්මාණය කරන්න හේතුව. අනික මේ දූෂිත කවුරුවත් මේ මුදල් ගැන පැමිණිලි කරන්න සී. අයි. ඩී. යට එන්නෙ නෑ. ඇයි එහෙම පැමිණිලි කළොත් දේශීය ආදායම් එකට අහු නොවුණ මේ කළු සල්ලි උපයාගත්ත විදිය හොයන්න ගන්නවා. ඒක නිසා අර දඬුවම් මුදලාලි ළඟ, සක්විති ළඟ, ගෝල්ඩන් කී වගේ තැන්වල සල්ලි දාල අන්තිමේට පැත්තකට අතපිහදා ගන්න වුණ දේ තමයි සල්ලි දාපු අයට වෙන්නෙ. හැබැයි මුදල් ගත්ත ඒවා වියදම් කරපු මේ චෞර වළල්ල ගොඩ.

චෝදනාවක් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය රටේ විවිධ ආයතන සහ සමාගම්වල වෘත්තීය සමිතිවලට බැහැල ආයතනවල වෘත්තීය සමීති ගැටලු ඇතිකරල අන්තිමේදී හාම්පුතාල එක්ක ඩීල් දාල මුදල් උපයනවාය කියල. මිනිස්සු අතර තිබෙන මේ සැකයට ඔබට පිළිතුරක් තියෙනවද?

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරීව තිබෙන ආයතන තමයි මේ රටේ වැඩියෙන්ම ලාභ උපයන ආයතන බවට පත්වෙලා තියෙන්නෙ. ඒ ආයතනවල තමයි වැඩ කරන සේවකයන්ට වසරකට දෙක තුනක් බෝනස් හම්බවෙන්නෙ. සේවකයන්ගෙ සුබ සාධක වැඩසටහන් හොඳට කෙරෙන්නෙ. වෘත්තීය සමිති වෙනුවෙන් පෙනී ඉඳල අයිතිකාරයෝ එක්ක ඩීල් දානවනම් එහෙම වෙන්න පුළුවන්ද ? අනික වසර ගාණක් විවිධ ආයතනවල ස්ථාවරව තිබෙන වෘත්තීය සමිති තියෙන්නෙ අපිට. අපට වඩා පැරණි පක්ෂවල තිබෙන වෘත්තීය සමිති කඩා වැටිල ඒවයෙන් සේවකයන් ඈත් වෙලා අපේ වෘත්තීය සමිති එක්ක සමාජිකයන් එක්වෙන්නයි හේතුව මොකක්ද. හාම්පුතාල එක්ක ඩීල් දානවනම් සේවකයෝ අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් එක්ක ඉන්නවාද. අපිට එහෙම පහත් විදියට පක්ෂයට මුදල් උපයන්න අවශ්‍යතාවක් නෑ. පක්ෂයක් විදියට ජවිපෙ විතරයි සෑම වසරකම මැතිවරණ කොමසාරිස්වරයාට අපේ වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දෙන්නෙ.

ජ.වි.පෙ. තුළ ඔබේ ක්‍රියාශීලීත්වය තියෙන්නෙ දූෂණ හෙළිදරව් කිරීම. ඔබගේත් නම ගාවපු මේ දූෂණ ක්‍රියාවලිය යට යෑමට නොදී එහි ඇත්ත ඇති සැටියෙන් එළියට එන්න නම් දැන් මොකක්ද කළ යුතු වන්නේ ?

දැන් තිලිණි සී.අයි. ඩී. යට කියල තියනවනේ මේකෙ මුදල් ආයෝජනය කළේ ජානකී එක්ක කියල. සී. අයි. ඩී. යට හරි ලේසිනෙ දැන්. මේ තොරතුර පිටිපස්සෙ ගිහින් සල්ලි දැම්මෙ කවුද, ආයෝජනය කළේ කවුද කියල හොයන්න පුළුවන්නෙ. මේ සල්ලි ගොඩක් අරන් තියෙන්නෙ බැංකු හරහානෙ. එකවුන්ට් ටික චෙක් කළානම්, දුරකථන අංක චෙක් කළානම් ඒවා ගළපල ඔක්කොම හොයාගන්න බැරිද. ඒකයි දැන් කරන්න ඕන. අනික ඔය ගවේෂණශීලී මාධ්‍යවේදියෝ කියල ෆේස්බුක් එක කරන කෙනා මේ තොරතුරුවලට වගකියන්න එපැයි. දැන් ඒ අය ඇවිත් කියන්න ඕන මේ ලිස්ට් ආවේ කොහෙන්ද කියල.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment