ඔරිජිනල් ආසියානු උරුලෑ වසුරුවලට ඇති තැන කොපිකැට් උරුලෑ වසුරුවලට නැහැ

683

උරුලෑවා ගමන් ගත් මාර්ගය දුර්ගන්ධයෙන් යුක්ත වුණත් ආසියානු උරුලෑ විශේෂයකගේ (Paradoxurus hermaphroditus) මලපහ යොදා ගෙන නිෂ්පාදනය කරන කොපි ලූවාක් ( KOPI LUWAK) කෝපි කෝප්පයක මිල ගිනි ගණන් කිව්වොත් ඔබ මවිතයට පත් වෙනු ඇති. කොටින්ම ලංකාවේ මුදලෙන් රුපියල් 10,000 ක් පමණටත් වැඩි මුදලක් විය හැකි කොෆි ලූවාක් දිගු අතීතයකට හිමිකම් කියනවා. ‘‘civet coffe” යනුවෙන්ද මෙම කෝපි විශේෂය හඳුන්වනු ලබනවා.

18 වැනි සියවස මුල්භාගයේදී ලන්දේසීන්ට යටත්ව තිබූ ඉන්දුනීසියානු දූපත් කෝපි වගාව වෙනුවෙන් යොදා ගත්තා. අරාබි වෙළෙඳුන් හරහා ලැබුණ කෝපි වැවීමට විශාල ශ‍්‍රමිකයන් පිරිසක් ද යොදා ගෙන තිබුණ අතර කෝපි වතුවල වගාව කිසිදු ලෙසකින් පරිභෝජනය කිරීමට සේවකයන්ට අයිතියක් තිබුණේ නැහැ. මේ කෝපිවතුවල වගාවට හානි කරන ආසියානු උරුලෑවන් විසින් කෝපි ගෙඩි ආහාරයට ගෙන කෝපි වතු පුරාම මලපහ වපුරා තිබුණා. සේවකයන් විසින් උරුලෑ බෙටි එකතු කර ගෙන සෝදා වියළාගෙන කුඩු කර පානයට යොදා ගත්තා. කාලයත් සමග මේ මලපහ පරීක්ෂා කිරීමේදී සේවකයන්ට පෙනී ගියේ උරුලෑවන් විසින් ආහාරයට ගන්නා කෝපි ඇට අර්ධ වශයෙන් ජීර්ණය වන නිසා ඔවුන්ගේ මලපහ සමග පිටවෙන කෝපි ඇට ඉතා රසවත් පානයක් ලෙසින් යොදා ගත හැකි බවයි. මේ ක‍්‍රමවේදය හඳුනා ගැනීමත් සමග ඉන්දුනීසියාව ආශ‍්‍රිත ජාවා, සුමාත‍්‍රා, බාලි, සුලවෙයි, පිලිපීනය සහ නැගෙනහිර ටිමෝරය වැනි රාජ්‍යයන්හිත් KOPI LUWAK ජනපි‍්‍රය පානයක් බවට පත් වුණා.

  • මෙච්චර ගණන් ඇයි…?

උරුලෑවන්ගේ මලපහ යොදා ගෙන නිෂ්පාදනය කරනවා නම් මේ කෝපි මෙච්චර මිල අධික ඇයි කියලා ඔබට හිතෙන්න ඇති. අපි සාමාන්‍ය කෝපි වගාවකින් ලබා ගන්නා ඇටවලින් සකස් කර ගන්නා කෝපි පානයට වඩා මෙහිදී අනුගමනය කරන ක‍්‍රමවේදයේ ඇති සංකීර්ණ තත්ත්වය නිසාම කෝපිවලටත් ඉහළ මිලක් නියම වී තිබෙනවා. මෙම සතුන් ආහාරයට ගැනීමේදී හොඳින් ඉදුණු සහ නීරෝගී කෝපි ඇට තෝරා ගන්නවා. ඒ වගේම ආහාර ජීරණ කි‍්‍රයාවලියේදී එකතු වෙන විවිධ එන්සයිම සහ බහිස‍්‍රාවීය කි‍්‍රයාවලියේදී විවිධ ජෛව රසායනයන් සංයෝග වීම නිසා අමුද්‍රව්‍ය ලෙසින් යොදා ගන්නා උරුලෑ මලපහ යොදා ගත් KOPI LUWAK රසයෙන් සහ පෝෂණ ගුණයෙන් ඉහළ බවට ගෝලීය වශයෙන් ද පිළිගැනීමක් තිබෙනවා.

ඒ වගේම සාමාන්‍ය ක‍්‍රමයට කෝපි අස්වැන්නක් ලබා ගෙන නිෂ්පාදන කි‍්‍රයාවලියකට භාජනය වෙන කෝපිවලට වඩා මෙම උරුලෑ මලපහ ක‍්‍රමානුකූලව සහ පිරිසිදුව එක්රැස් කිරීම පහසු නැහැ. ඒ වෙනුවෙන් විශාල ශ‍්‍රමයක් අවශ්‍ය වෙනවා වගේම වැඩි කාලයක් ගත වෙනවා. ශ‍්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු වැටුප් වේතනත් සමග සංසන්දනය කරන විට කෝපි වගාවකින් අස්වැන්න ලබා ගැනීම තරම් පහසු නැහැ. පිලිපීනයේ කෝපි සහිත උරුලෑ වසුරු එකතු කරන්නන් වෙනුවෙන් ගෙවන මිල කිලෝග‍්‍රෑම් එකකට ඇමරිකානු ඩොලර් 20 කට ආසන්නයි.

ඔරිජිනල් ආසියානු උරුලෑ වසුරුවලට ඇති තැන කොපිකැට් උරුලෑ වසුරුවලට නැහැ
  • මලපහ වුණත් සුලබ නැහැ…

උරුලෑවන්ගේ වුණත් මලපහ ලබා ගැනීම අපි හිතන තරම් සරල කාර්යක් නොවෙයි. ඒ නිසාම ගිනිකොන දිග ආසියාවේ මෙම සතුන් කූඩු කර ගෙන වසුරු ලබා ගැනීමේ කි‍්‍රයාවලියක් අනුගමනය කරනවා. එහෙත්… කූඩුගත සතුන්ගේ හැසිරීම් රටාවන් මෙන්ම ඔවුන්ට කෝපි ආහාරයට ලබා දෙන නිසා උරුලෑ ගති පුරුදු පිළිබඳව ඇති වෙන වෙනස්කම් නිසා ආසියාතික උරුලෑවන් වඳ වීමේ තර්ජනයකටත් මුහුණ පා සිටිනවා. මේ සිදුවීම නිසා බොහෝ සත්වවේදීන්ගේ අවධානය කොෆි ලූවාක් වෙත යොමු වී තිබෙනවා. වරක් මෙම කෝපි බටහිර රටවල ප‍්‍රචාරණය කිරීමට මහත් සේ උනන්දුවක් දැක්වූ ටෝනි වයිල්ඞ් විසින්ම දැන් ලූවාක් කෝපි වෙනුවෙන් තහංචි පනවා තිබෙනවා. ආසියාතික උරුලෑවන්ට හිරිහැරකාරී ලූවාක් කෝපි ප‍්‍රචාරණය වෙනුවට ඔහු විසින්ම මෙම කෝපි වෙනුවෙන් මහජනතාව දක්වන ආකර්ෂණය නැවැත්වීමට Cut the Crap” යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

  • කොපිකැට් KOPI LUWAK

ලූවාක් කෝපි වෙනුවෙන් වූ ඉල්ලූම පිරිමසන්නට සරිලන උරුලෑ වසුරු නොමැති නිසා ආසියානු උරුලෑ වසුරු වෙනුවට ඔවුන්ගේ වසුරුවලට සමාන ජීරණ කි‍්‍රයාවලියක් කෘතිම ලෙසින් යොදා ගත් KOPI LUWAK කෝපි නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවධානයක් දැක්වීමට පටන් ගත්තා. ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් එවැනි කි‍්‍රයාවලියක් යොදා ගනිමින් නිෂ්පාදනය කළ කොපිකැට් KOPI LUWAK කෝපි වෙනුවෙන් පේටන්ට් බලපත‍්‍ර පවා නිකුත් කරනු ලැබුවා. වියට්නාම සමාගම් විසින් ආසියානු උරුලෑවාගේ ආහාර ජීරණ කි‍්‍රයාවලිය අනුකරණය කරමින් යොදා ගත් එන්සයිමයක් යොදා ගත් බවට සඳහනින් කොපිකැට් KOPI LUWAK සන්නාමයක් වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබෙනවා.

කොහොම වුණත් ආසියානු උරුලෑවාගේ ඔරිජිනල් වසුරුවලින් නිෂ්පාදිත KOPI LUWAK කෝපිවලට ඇති ඉල්ලූම කෘතිම ලෙසින් නිෂ්පාදනය කරන කොපිකැට් KOPI LUWAK කෝපි වෙනුවෙන් නොමැති බව නම් දැන් පැහැදිලිව දකින්න ලැබෙනවා. 2014 වසරේදී ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය, පිලිපනය, වියට්නාමය, තායිලන්තය සහ ඉතියෝපියාව යන රටවල් සියල්ල එකතුව කෝපි කිලෝග‍්‍රෑම් 127 ක් පමණ ප‍්‍රමාණයක් පරිභෝජනය කළ බැව් වාර්තා වෙනවා. කෝපි රස බැලීමේ විශේෂඥයින් පවා පෙන්වා දෙන්නේ කෝපිවලින් ඔය කියන තරම් රසයක් ගැන නම් වාර්තා නොවන බවයි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment