ඔව් මම චින්තකගේ පුතා….

554

පීතෘ ටෙලි නාට්‍යයේ ශානකගේ චරිතයට පන පොවන තරුණයා ඔබට අලුත් කෙනෙක්. ඔහු ගෙවින් අභිශේක්. රංගන ශිල්පී චින්තක කුලතුංග ගෙවින්ගෙ තාත්තා. පිය උරුමයෙන් රංගනයට පැමිණි ගෙවින් මුලින්ම ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නෙ ‘ඉස්කෝලෙ කාලෙ’ ටෙලි නාට්‍යය හරහා. රංගන ශිල්පියෙක් වුණත් ගෙවින්ගෙ ආසාව තිබුණෙ අධ්‍යක්‍ෂවරයෙක් වෙන්න. ඒ වෙනුවෙන් විදේශගත වන ඔහුට නැවත ලංකාවට එන්න සිද්ධ වෙනව. ඒ ඇයි?. ගෙවින්ගෙන්ම අහල බලමු.

අධ්‍යාපනය ලැබුවෙ මොන වගේ අරමුණකින්ද?

ඇත්තටම මම අධ්‍යාපන කටයුතු කළේ නාට්‍ය හා රංගකලාව විෂයයට යොමුවෙන්න හිතාගෙනමයි. සාමාන්‍ය පෙළ විභාගයටත් කළේ නාට්‍ය හා රංගකලාව විෂයයමයි.

කලාවට යොමු වෙන්නෙ?

පාසල් කාලයේදීම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීල ගෙදර ඉන්න කාලෙම මට පළමුවැනි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. පාසල් කාලයෙන් පස්සෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණත් චිත්‍රපට අධ්‍යක්‍ෂණය ගැන ඉගෙනගන්න මම ඔස්ටේ්‍රලියාවට ගියා. නමුත් එහි අවසානයක් දකින්න කලින් සුගත් දේවප්‍රිය මහත්මයාගේ ‘සුළඟ මහමෙරක්’ නාට්‍යයට සම්බන්ධ වෙන්න මට නැවත ලංකාවට එන්න සිදු වුණා. එතනදි කොරෝනා වසංගතය නිසා නැවත යන්න ලැබුණෙ නැහැ.



ප්‍රේක්‍ෂකයා ඔබව හඳුනාගන්නෙ?

මම රට යන්න කලින් ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණ, ලක්මිණි අමරදේව අධ්‍යක්‍ෂණය කළ ‘ඉස්කෝලෙ කාලෙ’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. මෙතනදි තමයි ප්‍රේක්‍ෂකයා මුලින්ම මාව හඳුනාගන්නෙ. මෑතකාලීනව ආනන්ද අබේනායක මහත්මයාගේ පීතෘ ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නවා.

කොහොමද පීතෘ හා සම්බන්ධ වෙන්නෙ?

ආනන්ද අබේනායක මහත්මයාම තමයි පීතෘ වෙනුවෙන් මට මේ ආරාධනය කරන්නෙ. පිටපත් රචක නාමල් ජයසිංහ මහත්මයා සහ ආනන්ද මහත්මයා බොහෝ දෙනෙක් මේ චරිතය වෙනුවෙන් තෝරා ගන්න උත්සාහ කළත් අවසානයේ මාව සම්බන්ධකර ගන්නව.

පීතෘ හි ඔබේ චරිතය?

එතනදි විශ්වවිද්‍යාල තරුණයකුගේ චරිතය තමයි මට ලැබෙන්නෙ.

සරසවි සිසුවාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනව. නමුත් මගතොටදි බොහෝ දෙනෙක් මාව හඳුනා නොගන්න තත්ත්වයක් තමයි තියෙන්නෙ. මොකද ඒ නාට්‍යයේ රූගතකිරීම් අවසානයේ මම කොණ්ඩයයි රැවුලයි කැපුවා.

ඔබට ආනන්ද අබේනායක සමග වැඩකරන්න ලැබෙනව?

ඇත්තටම එතුමා සමග වැඩ කරන එක, නාමල් මහත්මයාගේ

පිටපතකට සම්බන්ධ වන එක මම පාසල් කාලයේ පටන් දැකපු හීනයක් සැබෑ වීමක්. මේ හරහා මගේ රංගන ජීවිතය ලොකු පිම්මකින් ඉදිරියට ගියා කියල කියන්න පුළුවන්.

වේදිකාවේ තතු?

මම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නෙ බුද්ධික දමයන්ත මහත්මයාගේ ‘අපි තමයි හොඳම’ නාට්‍ය හරහා. ඉන් පස්සෙ රංගනය පිළිබඳව වැඩිදුර ඉගෙනීම සඳහා සෝමලතා සුබසිංහ මහත්මියගේ ප්ලේ හවුස් රංගායතනයට සම්බන්ධ වෙනව. එතනදි කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහගමගේ, ප්‍රසන්නජිත් අබේසූරිය වැනි ප්‍රවීණයන් මුණගැහෙනව. ඔය අතර සෝමලතා මහත්මියගෙ ‘විකෘති’ නාට්‍යයට මාව තෝරාගන්නව. එහි දර්ශනවාර පනහකට පමණ රංගනයෙන් එකතුවෙලා තියෙනව.

ආරාධනා?

ඇත්තටම මට නිර්මාණවලට ආරාධනා බොහෝමයක් එනව. ඒ අතරින් ගොඩක් ඒව ‘මෙගා’ නාට්‍ය. පිටපත බලල මට සතුටු වෙන්න බැරිනම් ඒ නිර්මාණ භාර ගන්නෙ නැහැ. දැනටත් හතළිහක් පනහක් විතර එහෙම ප්‍රතික්‍ෂේප කරල තියෙනව.

ගෙවින් මෙගා නළුවෙක් වෙන්න සූදානම් නැහැ?

ඔව් ඇත්තටම නැහැ. මොකද එකම චරිතයක් අවුරුදු තුනහතරක් කරනකොට වෙන චරිතයක් කරන්න ඉඩක් නැහැ වගේම මගේ හැකියාවන් ඩැඩිකරගන්න අභියෝගයක් නැහැ කියලයි මම හිතන්නෙ.

ඔබේ පියාත් රංගන ශිල්පියෙක්?

ඔව්. මගේ තාත්තා චින්තක කුලතුංග. ඔහු රංගන ශිල්පියෙක් සහ නාට්‍ය නිෂ්පාදකවරයෙක්. තාත්තා ජනප්‍රිය වුණේ ‘චාතූර්යා’ ටෙලි නාට්‍යයෙන්. ක්‍ෂේත්‍රයේ දක්‍ෂ රංගන ශිල්පියෙක් වන ඔහුගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගන්නව.

තාත්තා නිසා පුතාට ලැබෙන අවස්ථා වැඩියි?

මගේ තාත්තා කා අතරත් හිත දිනාගත් රංගන ශිල්පියෙක් නිසා ක්‍ෂේත්‍රයේ අයගෙන් මට පිළිගැනීමක් තියෙනව. නමුත් තාත්තා නිෂ්පාදකවරයෙක් වුණාට ඔහුගේ නිර්මාණයක ප්‍රධාන චරිතයක් මම තවම කරල නැහැ.

පීතෘ චරිතය ගැන ඔහුගේ ප්‍රතිචාරය?

ඇත්තටම ඒ චරිතය ගැන ඔහු පුදුම වෙලා ඉන්නෙ. මොකද මගේ එවැනි පරාසයක් තාත්තා මින් පෙර දැකල තිබුණෙ නැහැ.

ආදර යෝජනා එන්නෙ නෑ කිව්වොත් ඒක බොරුවක්?

රසික රසිකාවියන් මට කතා කරනව. ඒ ගරුත්වය ඔවුන් දීලා ඔවුන් සමග ගනු දෙනු කරනව. ඒ හැරුණම ඉන් එහා දෙයක් නැහැ. මොකද මම වැඩිය මිනිසුන් අතර ගැවසෙන කෙනෙක් නෙමෙයි.

ඔබේ වෘත්තිය?

මගේ වෘත්තිය රංගනය කියන්න මම කැමතියි. නමුත් මම පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්නෙ.

තාත්තයි පුතයි එකට රඟපෑ අවස්ථාව?

ලක්මිණි අමරදේව මහත්මයාගේ ‘ඉස්කෝලෙ කාලෙ’ නාට්‍යයේදී තාත්තටයි මටයි එකට රඟපාන්න අවස්ථාවක් ලැබුණ. ඒ නාට්‍යයේදී මගේ තාත්තාට රඟපෑවෙ මගේ තාත්තමයි.

සිනමාව ගැන අදහස?


මගේ බලාපොරොත්තුව සිනමා රංගන ශිල්පියෙක් වීම. දැනටමත් මට ආරාධනා එනව. මගේ තාත්තත් චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඊට අමතරව සනත් ගුණතිලක මහත්මයා ඔහුගේ ඊළඟ චිත්‍රපටයට ආරාධනා කළා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල තියෙනව.


ගෙවින් රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක්?


චිත්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳව ඉගෙනගන්නව වගේම කටහඬ පරීක්‍ෂණ කටයුතුත් සිදුකරනව. ඒ අතර ගීතයක් දෙකක් කරල තියෙනව. ඒවා ඉදිරියේදී ජනගත කරන්න බලාපොරොත්තු වෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment