ඔව්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩු තිබුණා – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

333

නව බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, රටේ උද්ධමනය, විදෙස් සංචිත ප්‍රමාණය සහ පොලී අනුපාතය පිළිබඳ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මහ බැංකුව සම්බන්ධයෙන් ජනතාවට තිබෙන්නේ එතරම් හොඳ දැක්මක් නෙමෙයි. මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් කියා තිබෙනවා මුදල් අච්චු ගැහුවට උද්ධමනය ඉහළ යන්නේ නැහැ කියලා. ජාත්‍යන්තරයේ විදෙස් මුදල් සංචිත ලංකාවේ නැහැයි කියලා කියන විට ඒ අයම කිව්වා නැහැ ඕන තරම් විදෙස් මුදල් සංචිත තිබෙනවා කියලා. නමුත් ඔබතුමා මහ බැංකු අධිපති වුණාට පසුව ජනතාවට විශ්වාසයක් ඇති වන විදිහට කතා කළා. විදෙස් සංචිත තිබෙන බවට එදා කළ බොරුව රටට හෙළිදරව් කළා. අද මේ කතා කරන්න යන නව බදු සංශෝධනය ගැන සෘජු ප්‍රතිපත්තිමය කාරණයක් තිබෙනවාද නැද්ද කියන කාරණය ගැන අපට ලොකු දැනුමක් නැහැ. නමුත් ඔබතුමා රාජ්‍ය මූල්‍ය ආරක්ෂා කරගෙන, මහජනතාවට උද්ධමනයකින් තොරව, විදෙස් සංචිත ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය තුළ තැන්පත් කරගෙන ජනතාවට අවශ්‍ය සුබසාධන සහිත ස්ථාවර රාජ්‍යයක් ගොඩනගන්න පූර්ණ දායකත්වයක් දෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරියෙක් කියලා මම හිතනවා.

ප්‍රශ්නය – වත්මන් බදු සංශෝධනය පිළිබඳව ඔබතුමාට කියන්න තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – මහ බැංකු අධිපතිවරයා වශයෙන් රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ මුලින්ම පැහැදිලි කළ යුතුයි. මුළු රටේම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව විදේශ විනිමය සංචිත පවත්වාගෙන යන්න, උද්ධමනය කොහොමද පාලනය කරන්නේ කියන එක පිළිබඳ මහ බැංකු අධිපතිවරයා වශයෙන් වගකීමක් තිබෙනවා.

මේ සම්බන්ධව කටයුතු කරනකොට රාජ්‍ය මූල්‍ය ප්‍රධාන වගකීම තියෙන්නෙ මුදල් ඇමැතිතුමාට,භාණ්ඩාගාරයට සහ පාර්ලිමේන්තුවට තමයි. නමුත් මේ දෙක ඉතාම සම්බන්ධයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථාවරව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක නිසා රටේ මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් තිබෙනවා. රජය ඇතුළුව පුද්ගලික අංශයත් රටේ මූල්‍ය ඇතුළත් වෙනවා. මේ සියල්ලේම පාලනය මහ බැංකුව සතුව තිබෙනවා. ඒක ඉතාම වැදගත් කාර්යයක්. එයින් උද්ධමනය පාලනය කරන්නත් ආර්ථිකය ස්ථායිව තියාගන්නත් පුළුවන්.

පහුගිය කාලය තුළ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් අඩුපාඩු තිබුණා. ඒක මං කියන්නෑ පහුගිය අවුරුදු දෙකේ පමණක් වුණා කියලා. දශක ගණනාවක් තිස්සේ රජයක් විදියට රජයේ ආදායම සහ වියදම සංසන්දනය කරනකොට හැමතිස්සෙම රජයේ විශාල වශයෙන් වියදම වැඩියි ආදායමට වඩා. එතකොට අපි දකින්නේ අයවැය හිඟයක් පවතින බව නේ. කාලයක් තිස්සේ පවතින මේ හිඟය මූල්‍යනය කරන්නේ ණය ලබාගැනීමෙනුයි. ණය ලබාගැනීම ප්‍රශ්නයක් නෑ. නමුත් ණය ලබාගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. රජයක් විදිහට දීර්ඝකාලීනව අපිට සිදු වුණේ විදේශීයව හා දේශීයව ණය ලබගන්නයි.

හැබැයි පහුගිය 2019 න් පස්සේ රටේ ක්‍රියාත්මක කළ බදු ආදායම් ප්‍රතිපත්තිය නිසා විශාල වශයෙන් ආදායම් අඩු වුණා. ඒ නිසා අයවැය හිඟය වැඩි වුණා. සියයට හය හත වගේ තිබුණ අයවැය හිඟය 2020 හා 2021 දී සියයට 11 දක්වා වැඩි වුණා. එය මේ වසරටත් බලපා තිබෙනවා. කලින් අපට අවස්ථාව තිබුණ විදේශවලින් ණය අරගෙන අයවැය හිඟය පාලනයකින් ගෙන යන්න. මෙය මූල්‍යනය කරන්න අසීරු තත්ත්වයකට දැන් පැමිණ තිබෙනවා. බදු ආදායම් නැති කරගත්ත නිසා විදේශවලින් ණය දෙන අය ණය දීමට මැලිකමක් දක්වනවා. ඒ හේතු නිසා රටට විදේශ මුදල් ණය ගන්න හැකියාව නැති වුණා. 2020 ඉඳලම ණය ගන්න නොහැකි තත්ත්වයක් තිබුණා. කලින් හිටපු මහ බැංකු අධිපතිවරුන් ප්‍රතිපත්තියක් ලෙස රජයේ විශාල අයවැය හිඟය නැවැත්වීමට උත්සාහ කළේ මුදල් අච්චු ගැසීම තුළිනුයි.

එලෙස කෙටිකාලීනව කරන එක එහෙම ලොකු අවුලක් නෑ. කොවිඩ් කාලේ ගොඩක් රටවල් මේ වැඩේ කළා. 2020, 2021, 2022 අවුරුදුවල එක දිගටම එලෙස මුදල් අච්චු ගැසීම කරගෙන ගියා. විදේශීය ණය ගන්න බැරි නිසා එම වසරවල මුදල් සම්පූර්ණයෙන්ම අච්චු ගැහුවා. ඒ නිසා උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගියා.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ වැරදි නිසා රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ උද්ධමනයට සහ සංචිතවලට විශාල බලපෑමක් එල්ලවෙලා. ඒ නිසා අද මේ රට වැටුණු තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ඒකෙ ප්‍රතිඵල තමයි උද්ධමනය සියයට හැත්තෑවට වැඩිවෙලා තියෙනවා. ආහාර උද්ධමනය 95% ට වැඩිවෙලා. දෙසීයට තිබුණ විදේශ විනිමය අනුපාතය තුන්සිය හැටපහට ගියා. රටේ තිබුණ සංචිත සම්පූර්ණයෙන් නැතිව බින්දුවටම වැටුණා. රටට ණය ගෙවා ගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. පාර්ලිමේන්තුවට සත්‍ය තත්ත්වය හෙළි කරලා ජනතාවට ඒක තේරුම් කරලා දීලා තියෙන අමාරු කාලයක් වෙන්න පුළුවන්. මේ වගේ ආර්ථික ප්‍රපාතයකට, අර්බුදයක තියෙන අවස්ථාවකදී ගොඩ ඒම පහසු කාර්යයක් නොවෙයි.

ඉතාම වේදනාකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒව තමයි පහුගිය දවස්වල සිදු වුණේ. මහ බැංකුවට පොලී අනුපාත වැඩි කරන්න සිදු වුණා. උද්ධමන සියයට 70 නම් පොලි අනුපාතය අඩුවෙන් තියා ගන්න බෑ. ප්‍රධාන හේතුව විශාල උද්ධමනයයි. උද්ධමනය තියෙනකොට ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න බෑ. සියලුම නිෂ්පාදනවල මිල වැඩිවෙලා තියෙන්නෙ. එතකොට බඩු මිල වැඩි වෙනවා. මේකෙන් ගොඩ යන්න කලින් වුණ වැරැදි නිවැරැදි කරන්න ඕන.

ප්‍රශ්නය – ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යභාරයක් කරනවා. මුල ඉඳන්ම ඔබතුමා ඒ ස්ථාවරයේ හිටියා. වර්තමාන රජයත් පෙරට වඩා වැඩි මට්ටමකින් අයිඑම්එෆ් ක්‍රියාදාමයට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් ඊට අනුකූලතාවයක් දක්වනවා. ජනාධිපතිතුමගේ ප්‍රකාශය තුළ මේ සම්බන්ධයෙන් යම්කිසි ධනාත්මක කරුණු කාරණාත් ප්‍රමාණයක් ඉදිරිපත් කළා. මේ බදු සංශෝධනයත් එක්ක මේ අයි.එම්.එෆ්. ක්‍රියාදාමයන් එක්ක අපිට ඉදිරියේදී මේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳගෙන ඉස්සරහට යෑමේ යම්කිසි මාර්ගයක් විවෘත වෙලා තියෙනවා කියලා ඔබතුමා හිතනවද?

පිළිතුර – අනිවාර්යයෙන්ම ඇත්තටම මම දකින්නෙ මේ වෙලාවේ තියෙන එකම මාර්ගය තමයි මේක. මේ වැනි තත්ත්වයක් නොතිබුණා නම් අපිට වෙනත් ක්‍රමවේද උත්සාහ කර බලන්න තිබුණා. නමුත් අපේ සංචිත හොඳටම අඩු වුණාට පස්සේ අපට කිසිම කෙනෙක් ණය දෙන්නේ නැහැ.

සාමාජික රටක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පමණයි අපට අයිතියක් තියෙන්නේ මේ වගේ වේලාවක ණය මුදලක් ඉල්ලීමට. ඒ වගේම ජාත්‍යන්තර අරමුදලේ මැන්ඩේට් එක තියෙන්නෙත් මේ වගේ අවස්ථාවක දී රටවලට උදව් කිරීමටයි. නමුත් තිබෙන බරපතළම ප්‍රශ්නය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය දෙන්න නම් තිරසාර භාවයක් පවතින්න ඕන. අවුරුදු ගණනක් තිස්සේ ලංකා රජය දහසය වතාවක් ගිහිල්ලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ඉල්ලගෙන. එවැනි අවස්ථාවලදී අප ඉදිරිපත් කරන වැඩපිළිවෙළට ඔවුන් එකඟ නම් මුදල ලබාදෙනවා. මේ අවස්ථාවේදී තිබෙන සංකීර්ණ තත්ත්වය නම් කාර්ය මණ්ඩල ගිවිසුම අපි අත්සන් කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදී.

නමුත් අපට එය ක්‍රියාත්මක කරන්න බැහැ ණය කළමනාකරණය වනතුරුම. ඒ නිසා අපි ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළේදී පසුගිය සතියේ අපි හොඳ ප්‍රගතියක් ලබාගත්තා. අපිට ණය ලබාදුන් පාර්ශ්වකරුවන්ට ඒ කියන්නේ ජපානය, චීනය හා ඉන්දියාව වැනි අයගෙන් සහතිකයක් ලබාගන්න ඕන අපි මේ ඉදිරියට ගෙවීමට තිබෙන ණය ගෙවීමට සහනයක් ලබා ගැනීමට. අන්න ඒ සහතිකය ලබාදුන්නොත් පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණයක් ලබාදෙන්න පුළුවන් වෙන්නේ.

ප්‍රශ්නය – වර්තමානයේ මුදල් ඇමැතිවරයා ජනාධිපතිවරයායි. ඔබතුමා කියන විදිහට ස්වාධීනත්වයට වත්මන් රජයේ ජනාධිපතිවරයා යටතේ බලපෑමක් තිබෙනවාද?

පිළිතුර – දැනට තිබෙන මුදල් නීතිය යටතේ වුණත් මහ බැංකුවට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. එතනදි ස්වාධීනව ක්‍රියාකරන්නේ අධිපතිවරයාට වුවමනා ලෙස නොවෙයි. ජනතාවට වගවීම සිදු වන ආකාරයටයි. පාර්ලිමේන්තුවට ජනතාවට වගවීමක් මහ බැංකුවට තිබිය යුතුයි. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ මුදල් ලේකම්වරයා හොඳ අවබෝධයක් ඇතුවයි වැඩකටයුතු සිදු කරමින් ඉන්නේ. මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය අතර හොඳ අවබෝධයක් නොමැතිව ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ.

ප්‍රශ්නය – මධ්‍යම පංතියේ ලක්ෂයට වඩා වැටුප් ලබන, පුද්ගලයකුට මේ වන විට ආසන්න වශයෙන් රුපියල් විසිදාහක පමණ බදු මුදලක් බදු ප්‍රතිපත්තිය හරහා ගෙවීමට සිදු වෙනවා. එසේ බදු ගෙවද්දි ඔහු මිලදී ගන්නා භාණ්ඩවලට යම් බදු මුදලක් ගෙවන්නත් සිදුව තිබෙනවා. ජනතාව මෙම බදු ගෙවයි. රට ආර්ථික අර්බුදයෙන්ගො ඩගන්න පුළුවන් කියන එක පිළිබඳ ජනතාවට සහතිකයක් තිබෙනවා ද?

පිළිතුර – රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබා ගන්නා අයට රුපියල් විසිදාහක පමණ බදු ලෙස ගෙවීමට සිදුවෙනවා. ඒවා ඍජු බදුයි. නමුත් අපේ රටේ තවමත් වැඩියෙන් තිබෙන්නේ වක්‍ර බදුයි. ඉහළ ආදායම් ලබන කෙනාගේ සිට පහළම ආදායම ලබන කෙනාට වක්‍ර බදුවල බර පැටවෙන්නේ. අපේ බදු ව්‍යුහයේ තිබෙන වැරැද්දක් තමයි වක්‍ර බදු සියයට 80ක් තිබෙනවා. ඍජු බදු සියයට 20යි තිබෙන්නේ. ඒ නිසා ඍජු බදු වැඩි කළ යුතුයි. පසුගිය වසර තුනේම අපගේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට අටකට අඩුයි.

ලෝකයේ රටවල් දිහා බැලූ විට ඉරානය හා වෙනිසියුලාව හැර අඩු බදු ආදායමක් තිබෙන්නේ ලංකාවටයි. ඉහත රටවල් දෙකට බදු ආදායම අවශ්‍ය නොවන්නේ තෙල් ආදායම තිබෙන නිසයි. නමුත් අපට ඒ කිසි දෙයක් නැහැ. ඒ නිසා අපට කෙටිකාලීනව ආදායම් උපයා ගැනීමට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ බදු අය කරන්න වෙනවා. තියෙන බදු ව්‍යුහය තුළ වැඩි කරන්න පුළුවන් දේ තමයි වක්‍ර බදු වැඩිකිරීම. නමුත් එහිදී පහළ ආදායම් ලබන අයට එය ඉතා තදින් දැනෙනවා. ඒ නිසා මහ බැංකුව යෝජනා කරන්නේ වක්‍ර බදු සියයට 60 දක්වා අඩු කර ඍජු බදු සියයට 40 දක්වා වැඩි කළ යුතුයි කියලා. ඒ දිශාවට යන විට පළමු පියවර තමයි උපයන විට ආදායමෙන් බදු අය කිරීම. මෙය බැලූ විට පසුගිය කාලයේ වැඩකරන ජනතාව මිලියන අටකට වැඩියෙන් ඉන්නවා. නමුත් බදු ගෙවන්නේ දෙලක්ෂ පනස් දහසක් පමණයි. බදු ගෙවන ප්‍රමාණය බැලූ විට අසාධාරණ ව්‍යුහයක් තිබෙනවා. ලක්ෂ දෙකහමාරක් නම් තිබෙන්නේ බදු ෆයිල් ආදායම් ලැබෙන අය තමන්ගේ කාර්ය භාරය කර නැහැ. ඉදිරියට යන විට මේ තියෙන බදු ප්‍රතිපත්තිය සියයට 9 සිට සියයට 14 ට යා යුතුයි. රටේ ආර්ථිකය ලබන වසරේ ස්ථාරව වුණොත් බදු වැඩිවෙනවා. ආර්ථිකය ස්ථාවර වන විට ආයතන ලාභ ලබන්න පුළුවන්. එවිට ආදායම් බදු ප්‍රමාණය ඉහළ දැමිය හැකියි. එවිට ලක්ෂයක් උපයනවිට තිබෙන බදු ප්‍රමාණය ලක්ෂ එකහමාරක් උපයනවිට දක්වා ඉහළ දැමිය හැකියි. මැදි ආදායම් අයගේ බදු ඉවත් කරන්න නම් බදු නොගෙවන අයගේ බදු ලබාගැනීම ශක්තිමත් කර ගත යුතුයි. මිලියන 8.5ක් වැඩකරන ජනතාව ඉන්නවා නම් මිලියන 5ක්වත් බදු ගෙවිය යුතුයි කියන අදහසකයි මම ඉන්නේ. එවිට බදු සාධාරණ ලෙස බෙදී යනවා. වක්‍ර බදු තවත් අඩු කළ හැකියි. අඩු ආදායම්ලාභීන්ට සහන දෙන්න පුළුවන්. වැඩි ආදායම් ලබන අය තමන්ගේ දායකත්වය නිවැරැදිව කරනවා නම් සියලු ජනතාවට හොඳක් වෙනවා. අලුත් බදු ක්‍රමය හැමෝටම අමාරුයි. නමුත් බදු ගෙවීම වැඩි කිරීම තුළින් අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදෙන්න රජයට හැකියාව තිබෙනවා.

දැනට කර තිබෙන ඉදිකිරීම්වලට ගෙවන්නවත් රජයට හැකියාව නැහැ. මේ බදු ලබා දුන්නොත් තමයි ඒ ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සැවොම මෙයට දායක විය යුතුයි. එවිට අඩු ආදායම් ලාභීන්ට ලොකු බරක් වෙන්නේ නැහැ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් ධනුෂ්ක රාමනායක සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදි.
චන්දිම ටයිරසී බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment