ඔස්කාර් වේදිකාවේ නටපු ‘නාටු නාටු’

92

අධික වියදමක් දරමින් නිපදවා ඇති ඉන්දීය තෙළිඟු භාෂාමය චිත්‍රපටයක් වන‘ ආර් ආර් ආර් ’ චිත්‍රපටයේ අඩංගු ලොව පුරා මිලියන ගණනක ජනතාවක් නැරඹු ජනප්‍රිය ‘නාටු නාටු’ ගීතයට ඉකුත් සඳුදා (13දා) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් නගරයේ පැවැති 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි ඔස්කාර් සම්මානය හිමි විය. මෙම සම්මානය ඉන්දීය සිනමා පටයක් හෝ සිනමා පටයක ගීතයක් ඔස්කාර් සම්මානයෙන් පුද ලැබූ ප්‍රථම අවස්ථාව සේ සනිටුහන් වන අතර තෙළිඟු භාෂාව කථා කරන ඉන්දීය ප්‍රාන්තවල ජන සම්ප්‍රදාය හා සංස්කෘතිය හා බැඳුණු තනුවක් මුල් කරගෙන රචනා කර ඇති මෙම ගීතයේ ආකර්ශනීය ගී තනුව, ගීතයේ වේගවත් සංගීත රටාව හා ගීතය නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති නර්තන ශිල්පය යන සාධක එය ලොව පුරා වැඩි දෙනෙකුගේ අවදානය දිනා ගැනීමට සමත් විය.

ඔස්කාර් වේදිකාවේ නටපු 'නාටු නාටු'

ඔස්කාර් සම්මාන ලාභී මෙම ගීතයේ ‘නාටු’ යනු වාර්ගික /ජනවාර්ගික /ශුද්ධ නොකරන ලද යන අර්ථයන් ලබාදෙන වදනක් වුවද එහි සැබෑ අර්ථය වනුයේ අපට ආවේණික යමක් ආවේණික සංස්කෘතිය බව ගීතයේ රචක චන්ද්‍රබෝස් පවසා තිබේ. ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීමට පෙර මෙම ගීතය ඉකුත් ජනවාරි මාසයේ දී ඇමරිකාවේ පැවැති ගෝල්ඩන් ග්ලොබ්ස් සංගීත සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානයෙන් ද හොඳම ගීතයට හිමි ‘ක්‍රිටික්ස් චොයිස්’ සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

මෙම ගීතය ගායනා කරන ලද රාහුල් සිප්ලිගුන්ජ් හා කාලා බයිරවා යන ගායක දෙපළ ඔස්කාර් සම්මාන රාත්‍රියේ සම්මාන වේදිකාවේ දී ‘නාටු නාටු’ ගීතය සජීවීව ගායනා කරන ලද මොහොතේ දී සම්මාන උළෙලට සහභාගී වූ පිරිස අසුනින් නැඟිට අත්පොළොසන් දී එම ගීතය ඇගයීමට ලක් කර තිබේ. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා වන අංශය නියෝජනය කිරීම සඳහා නාටු නාටු ගීතය ඇතුළත් ‘ආර් ආර් ආර්’ චිත්‍රපටය ඉදිරිපත් කිරීමට ඉන්දීය සිනමා ජූරි සභිකයන් විසින් තීරණය කර තිබූ අතර එහෙත් එහි ඇතුළත් ‘නාටු නාටු’ ගීතය හොඳම ස්වතන්ත්‍ර ගීතය සඳහා වන ඔස්කාර් සම්මානය සඳහා තරග වැදීමට නිර්දේශ කිරීමට ඔවුහු පියවර ගෙන තිබිණි.

● ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment