ඔස්‌ට්‍රේලියාවෙන් ලැබුණු දැඩිසත්කාර ඇඳන් රේගුවේ හිරවෙලා

210

ඔස්‌ට්‍රේලියානු ආධාර ක්‍රමය යටතේ මෙරටට පරිත්‍යාග ලෙස එවනු ලබන දැඩිසත්කාර ඇඳන් ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය සහාය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයෙන් නොලැබීම නිසා ඔස්‌ට්‍රේලියාවේ එම ආධාර ක්‍රමයේ ආධාර ඉදිරියේදී මෙරටට නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු ජ්‍යෙෂ්ඨ විදේශ සේවයේ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ යටතේ අවසන් වරට ගෙනා දැඩිසත්කාර ඇඳන් 48ක් දැනට රේගුවේ සිරවී ඊට ගුදම් ගාස්තු ද දිනපතා එකතුවෙමින් පවතින බවත් මෙය නිදහස් කරගෙන අසරණ රෝගීන්ගේ ප්‍රයෝජනයට නොගැනීම විශාල අපරාධයක් බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.

හදිසි ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන්ට හදිසි ප්‍රතිකාර ලබාදිය යුතු ඇඳන් හිඟයක් පවතින බවත් පරිත්‍යාග ලෙස ඔස්‌ට්‍රේලියාවෙන් ලැබුණු මේ ඇඳන් තොගය නිදහස් කර නොගැනීම නිසා එම ඇඳන් අලුතින් විශාල මුදලක් ගෙවා මිලදී ගැනීමට රජයට සිදුවනු ඇති බවත් රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙවැනි පරිත්‍යාග භාර නොගැනීම විශාල ගැටලුවක් බවත් ඔහු කීය. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාට ද පැමිණිලි කිරීමට තමා කටයුතු කළ බවද එම හිටපු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

මේවා නිදහස් කර ගැනීම තවත් ප්‍රමාද වීමෙන් රේගු ගුදම් ගාස්තු තවත් වැඩිවනු ඇති බවද ඔහු සඳහන් කරයි.

මේ ඇඳන් 48 තුළ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග ලෙස ලැබී ඇති විශේෂ හදිසි ප්‍රතිකාර ඇඳක් පවතින බවද එම විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment