ඔස්‌ට්‍රේලියාව ගෙදර යවා ඉන්දියාව අවසන් සටනට එයි

528

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය
කල් දැමුණු ශ්‍රී ලංකා – කොදෙව් අවසන් පූර්ව තරගය අද

නමන් ඕජා සහ ඉර්ෆාන් පතාන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම ඊයේ (29 වැනිදා) සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්‌ට්‍රේලියානු ලෙජන්ඩ් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.

අයහපත් කාලගුණය හේතුවෙන් පෙරේදා (28 වැනිදා) පන්දු වාර 17කදී මුළු ලකුණු 136කට නතර කෙරණු ඔස්‌ට්‍රේලියා ඉනිම ඊයේ පන්දු වාර 20 අවසානයේදී මුළු ලකුණු 171ක් බවට පරිවර්ථනය කිරීමට කැමරන් වයිට් සහ බ්‍රැඩ් හෙඩින් සමත්විය. ඒ අනුව හිමි වූ ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඉන්දීය ලෙජන්ඩ් පිතිකරුවෝ පන්දු වාර 19.2කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත් වූයේ තරගාවලියේ හෙට (01 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබමිනි.

ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් වැඩි කාර්යය භාරයක් ඉටුකළ නමන් ඕජා පන්දු 62කදී නොදැවී ලකුණු 90ක්

රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගිනි. තරගයේ අවසන් පන්දු 12 තුළදී ලකුණු 24ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දුන් ඉර්ෆාන් පතාන් 19 වැනි පන්දු වාරයේ පළමු පන්දු 3 ටම හයේ පහර 3ක් එල්ල කරමින් ඉන්දීය ඉනිම ජයග්‍රහණයට කිට්ටු කළේය. ඒ අනුව තරගයේ අවසන් පන්දු වාරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 3ක අභියෝගයක් එල්ල වෙද්දී බ්‍රෙට්ලීට එරෙහිව එම පන්දු වාරයේ දෙවැනි පන්දුවටත් හයේ පහරක් එල්ල කරමින් පතාන් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළේය. ඉර්ෆාන් පතාන් පන්දු 12කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් මුළු ලකුණු 37ක් රැස් කළේය.

ඔස්‌ට්‍රේලියානු ලෙජන්ඩ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කිරීමට බෙන් ඩන්ක් සමත්විය. ඒ පන්දු 26කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් මුළු ලකුණු 46ක් රැස් කරමිනි. ෂේන් වොට්සන් ලකුණු 30ක් සහ ඇලෙක්ස් ඩූලන් ලකුණු 35ක් රැස් කරමින් ඔස්‌ට්‍රේලියා පළමු කඩුල්ලට ලකුණු 60ක සාර්ථක ආරම්භයක් එක් කළේය.

මේ අතර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙවත් ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ බටහිර ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වීමට තීරණය කර තිබුණ ද පෙරේදා අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමුණු මෙම ඉන්දියා – ඔස්‌ට්‍රේලියා තරගය ඊයේ පැවැත්වීම හේතුවෙන් එම තරගය අදට කල් දැමීමට සංවිධායකයන් තීරණය කර තිබේ. ඒ අනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අනෙක් කණ්ඩායම තේරීම වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගයට වර්ෂාවෙන් බාධ එල්ලවුවහොත් අවසන් මහා තරගයට යන කණ්ඩායම තේරීම වෙනුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

ලකුණු සටහන

ඔස්‌ට්‍රේලියා ලෙජන්ඩ් කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 171යි. (ෂේන් වොට්සන් 30, අලෙක්ස් ඩූලන් 35, බෙන් ඩන්ක් 46, කැමරන් වයිට් 30, බ්‍රැඩ් හෙඩින් 12, යූසුෆ් පතාන් 36/2, අභිමන්්‍යූ මිතුන් 25/2)

ඉන්දියා ලෙජන්ඩ් කණ්ඩායම පන්දු වාර 19.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 175යි. (නමන් ඕජා (නොදැවී) 90, ඉර්ෆාන් පතන් (නොදැවී) 37, යුවරාජ් සිං 18, ෂේන් වොට්සන් 16/2).

advertistmentadvertistment
advertistmentadvertistment