ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රකෝටිපතියකුගෙන් ෆේස්බුක් සමාගමට එරෙහිව  අපරාධ නඩුවක්

406

ඔස්ටේ‍්‍රලියානු ජාතික ප‍්‍රකෝටිපතියකු වන ජෝන් ඇන්ඩෲ ෆොරෙස්ට් විසින් තමාගේ ඡායාරූපය ව්‍යාජ අයුරින් දැන්වීම්වලට යොදා ගැනීම් වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හිමි ‘‘මෙටා’’ සමාගමට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ. බටහිර ඔස්ටේ‍්‍රලියාවේ මහෙස්ත‍්‍රාත් අධිකරණයක පනවා ඇති මෙම නඩුව ලබන මාර්තු මස 28 වැනිදා විභාග කිරීමට නියමිතව තිබේ.

ෆොරෙස්ට් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේද ‘‘මෙටා’’ සමාගමට එරෙහිව සිවිල් නඩුවක් පවරා තිබේ.

‘‘මෙටා’’ සමාගම විසින් ඩිජිටල් මුදල් ඒකක භාවිතය ව්‍යාප්ත කිරීමෙන් ඔස්ටේ‍්‍රලියානු මුදල් විශුද්ධිකරණ නීති රීති උල්ලංඝනය කර ඇති බව ෆොරෙස්ට් විසින් මෙහිදී චෝදනා කර ඇත. මෙය එම සමාගමට එරෙහිව ගෝලීය වශයෙන් ගොණු කෙරුණු ප‍්‍රථම අපරාධ නඩුව සේ සැළකේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ අයිතිකරුවන් වන ‘‘මෙටා’’ සමාගම විසින් මෙම නඩුව සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නැතත් එවැනි ව්‍යාජ දැන්වීම් පළ කරන්නන් සිය මාධ්‍ය ජාලයෙන් ඉවත් කර තැබීමට සමාගම සෑම විටම කැපවීමෙන් කටයුතු කරන බව පමණක් පවසා තිබේ. ඇමෙරිකානු ඩොලර් කෝටි 1750ක පමණ වත්කමකට හිමිකම් කියන පතල් කර්මාන්තකරුවකු වන ෆොරෙස්ට් ‘‘ෆොර්ටෙස්ක්‍යු මෙටල්ස්’’ නමැති පතල් සමාගමෙහි අයිතිකරු වේ. ඔහුට අනුව 2019 වසරේදී ප‍්‍රථමවරට සිය ඡුායාරූපය යොදා ගනිමින් සකස් කරන ලද ව්‍යාජ දැන්වීමක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයක පළ වී ඇති අතර මෙටා සමාගම එම දැන්වීම් පළ වීම් වැළැක්වීමට කිසිදු පියවරක් නොගැනීමෙන් සාපරාධී අයුරින් නොසැළකිලිමත් බව ප‍්‍රදර්ශනය කර තිබේ. ෆොරෙස්ට් ඇතුළු වෙනත් ක්ෂේත‍්‍රවල ජනප‍්‍රිය චරිත යොදා ගනිමින් ව්‍යාජ ආයෝජනයන් ප‍්‍රවර්ධනය කිරීමේ දැන්වීම් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තවමත් නීති විරෝධී අයුරින් ප‍්‍රදර්ශනය කෙරෙන බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment